Ads 468x60px

.

කොස්‌ලන්ද හල්දුම්මුල්ල මීරියබැද්ද වතුයායේ තුන්සීයකට අධික පිරිසක්‌ පණ පිටින්ම... වැළලෙයි


කොස්‌ලන්ද හල්දුම්මුල්ල මීරියබැද්ද වතුයායේ ඊයේ (29 දා) උදැසන 7.30 ට පමණ සිදුවූ අතිබිහිසුණු නායයැමක්‌ හේතුවෙන් එම ගම්මානයේ විසූ 300 කට අධික අහිංසක ජීවිත රැසක්‌ පණ පිටින් වැළලී ගිය පුවත ඊයේ අප ඉතා සංවේගයෙන් යුතුව වාර්තා කලා.

2004 දෙසැම්බර් 26 වැනි දින සිදුවූ සුනාමි ඛේදවාචකයෙන් පසුව සිදුවූ දරුණුතම ස්‌වාභාවික ආපදාව මෙය වෙයි. සුනාමියට පෙරත් පසුත් මෙතරම් විශාල ස්‌වාභාවික
ඛේදවාචකයන් අසන්නට නොලැබුණු බව වාර්තා වේ.

මීරියබැද්ද වතුයායේ අසරණ වතු කම්කරුවෝ තමන් සෑම දිනකම දුටු මීරියබැද්ද කන්ද තමන්ගේම මාරයා වී තමන්ගේම සොහොන බවට

පත්වේ යෑයි මොහොතකට හෝ නොසිතන්නට ඇත.

නමුත් මේ විපතින් බේරුණු අහිංසක ගම්වැසියන්ගේ සහ ඥතීන්ගේ විලාපය මීරියබැද්ද කන්දේ වැදී දෝංකාර දුන්නද මේ වන විපත සිදුකළ කන්ද ඒ දෙස නිහඬව බලාසිටිනු විනා කුමක්‌ කරන්නද?

මීරියබැද්ද කන්ද එක්‌වරම මහා හඬක්‌ නංවමින් මහා දිය දහරාවක්‌ සමග ඇදී ආ පස්‌ කඳුවලින් නිවැසියන් සහ ගේදොර යට විය.

අලුයම පිබිදී වෙනදා මෙන් සුපුරුදු පරිදි දරුවන් පාසල් කරා පිටත්ව යැමටත්, වැඩිහිටියන් රැකියා සඳහා පිටත්ව යැමටත් ලහි ලහියේ සූදානම් වෙමින් සිටියදී මහා දිය කඳත් සමග පැමිණි පස්‌කඳුවලින් යටවූයේ ඔවුහු කාටත් හොර රහසේය.

නාය යැමෙන් නිවාස 150 ක්‌ පමණ සම්පූර්ණයෙන් විනාශවී ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්‌ථානය සඳහන් කරයි.

ඊයේ පස්‌වරුව වනවිට පුද්ගලයන් දස දෙනකුගේ මළ සිරුරු හමුවී තිබූ අතර තුවාල ලැබූ පුද්ගලයන් තිදෙනකු රෝහලට ඇතුළත් කර ඇති බවද එම මධ්‍යස්‌ථානය සඳහන් කළේය.

නාය යැමෙන් විපතට පත්වූ පුද්ගලයන් 283 දෙනකුට කොස්‌ලන්ද ද්‍රවිඩ මහා විද්‍යාලයේ නවාතැන් පහසුකම් සලසා ඔවුන්ට අවශ්‍ය සහන සැලසීමට අදාළ අංශ පියවර ගෙන තිබිණි.

නායයැමේ අවදානම තවදුරටත් පැවැතිය හැකි බැවින් හල්දුම්මුල්ලේ පාසල් 10 ක්‌ ලබන සඳුදා තෙක්‌ වසා දමා ඇත. හානි වූ නිවාස අතර නිල නිවාස තුනක්‌ කඩ කාමර තුනක්‌ හා කෝවිලක්‌ වූ බව වාර්තාවේ.

පස්‌ කඳු වලට යටවී තිබී කෝවිලේ පූජකවරයාගේ මළ සිරුර ද හමුවී ඇත. ප්‍රදේශයේ කිලෝ මීටර් 3 ක පමණ ප්‍රමාණයක්‌ නාය යැමට ලක්‌ව ඇතැයි ආපදා කළමනාකරණ ඇමැති මහින්ද අමරවීර මහතා පැවැසීය.

මෙම සිද්ධිය සැළවීමත් සමග ආපදා කළමනාකරණ ඇමැති මහින්ද අමරවීර ඌව පළාත් ප්‍රධාන ඇමැති ශෂීන්ද්‍ර රාජපක්‍ෂ යන මහත්වරු නාය යැම සිදුවූ ස්‌ථානයට පිටත්ව ගියහ.















මෑත ඉතිහාසයේ වැඩිම ජීවිත හානි සිදුවූ සිද්ධිය

මෑත ඉතිහාසයේ එකම ස්‌ථානයකදී සිදුවූ ආපදාවකින් වැඩිම ජීවිත හානි සිදුවූ සිද්ධිය මෙම නායයැම බව ආපදා කළමනාකරණ අමාත්‍යංශයේ නිලධාරියෙක්‌ පැවසීය.

පසුගිය 2004 වසරේ දෙසැම්බර් මස 26 වැනිදා සිදුවූ සුනාමි ව්‍යසනයෙන් රටපුරා දහස්‌ ගණනකගේ ජීවිත අහිමි වූ අතර ඊට පෙර 2003 වර්ෂයේදී ඇති වූ ගංවතුරෙන් හා නායයැම්වලින් රත්නපුර, කෑගල්ල කළුතර, ගාල්ල, මාතර ඇතුළු දිස්‌ත්‍රික්‌ක කිහිපයක පුද්ගලයන් තුන්සියයකට වැඩි පිරිසකට ජීවිත හානි වාර්තා වූ බවද හෙතෙම කීය.

එහෙත් එකම සිද්ධියකදී එකම ස්‌ථානයක වැඩිම ජීවිත හානි ප්‍රමාණය වාර්තා වන්නේ මෙම කොස්‌ලන්ද ප්‍රදේශයේ සිදුවූ නායයැමේ සිද්ධියෙන් වීම විශේෂත්වයක්‌ බවද හෙතෙම කියා සිටියේය.


හමුදාවේ 450 ක පිරිසක්‌ සිරුරු සොයා මෙහෙයුම්

නාය යැමෙන් විපතට පත් වූවන් මුදා ගැනීම සහ අතුරුදන් වූවන් සෙවීම සඳහා යුද හමුදාවේ 450 ක ගෙන් සමන්විත සහන සේවා භට කණ්‌ඩායමක්‌ සහ ගුවන් හමුදාවේ 50 ක ගෙන් සමන්විත භට කණ්‌ඩායමක්‌ ඒකාබද්ධ මෙහෙයුමක්‌ ක්‍රියාත්මක කර ඇතැයි යුද හමුදා ජනමාධ්‍ය අධ්‍යක්‍ෂ බ්‍රිගේඩියර් ජයනාත් ජයවීර පැවැසීය.

පොලිසියේ සහ විශේෂ කාර්ය බළකායේ ද සහාය ඇතුව මෙම සහන සේවා කණ්‌ඩායම් දැඩි දුෂ්කරතා මධ්‍යයේ මෙම ගලවා ගැනීමේ මෙහෙයුමෙහි නිරතව සිටින බවද හෙතෙම පැවසීය.

ඊයේ (29 දා) උදෑසන සිද්ධිය සැලවූ මොහොතේම දියතලාව පළමුවැනි ගැමුණු හේවා රෙජිමේන්තුවේ 250 ක ගෙන් පමණ සමන්විත හමුදා භට කණ්‌ඩායමක්‌ එම ස්‌ථානයට ගොස්‌ අතුරුදන් වූවන් සෙවීමේ කටයුතු ආරම්භ කර ඇත. ඉන් අනතුරුව තවත් 200 ක පමණ යුද හමුදා සහ 50 ක පමණ ගුවන් හමුදා භට පිරිසක්‌ද එම ස්‌ථානයට ගොස්‌ එම මෙහෙයුමට සම්බන්ධ වූ බවද බ්‍රිගේඩියර් ජයවීර පැවසීය.

යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් දයා රත්නායකගේ උපදෙස්‌ මත මධ්‍යම ආරක්‍ෂක සේනා ආඥපති මේජර් ජෙනරාල් මනෝ පෙරේරා සිද්ධිය වූ ස්‌ථානයට ගොස්‌ ගලවා ගැනීමේ හා සහන සේවා කටයුතු මෙහෙයවන අතර එතැනින් අවතැන් වූවන් සඳහා කඳවුරු 02 ක්‌ පිහිටුවීමටද කටයුතු යොදා ඇත.

මේ අතර ආපදා කළමනාකරණ මධ්‍යස්‌ථානයේ අධ්‍යක්‍ෂ ජනරාල් මේජර් ජෙනරාල් ලෙනාඩ් මාර්ක්‌ මහතා ද ඊයේ (29 දා) එම ස්‌ථානයට ගොස්‌ සහන සේවා කටයුතු මෙහෙයවීමට පියවර ගෙන තිබූ අතර, ආපදා කළමනාකරණ මධ්‍යස්‌ථානයේ බදුල්ල දිස්‌ත්‍රික්‌ සහකාර අධ්‍යක්‍ෂවරයාට අමතරව මොනරාගල සහ රත්නපුර දිස්‌ත්‍රික්‌ සහකාර අධ්‍යක්‍ෂවරුන් ද සහන සේවා කටයුතු කඩිනම් කිරීමට පියවර ගෙන තිබිණි.

බදුල්ල දිසාපතිවරයා ප්‍රමුඛ දිස්‌ත්‍රික්‌කයේ සිවිල් බලධාරීන් ඇතුළුÊරාජ්‍ය ආයතන නියෝජිතයන් ද සහන සේවා කටයුතුවල නිරතව සිටින අතර, ශ්‍රී ලංකා රතු කුරුස සංවිධානය හා වර්ල්ඩ් විෂන් යන රාජ්‍ය නොවන සංවිධාන ද විපතට පත් වූවන්ට සහන සේවා සැලසීමට ඉදිරිපත් වී සිටිති.

අතුරුදන් වූවන් සෙවීමේ ඒකාබද්ධ මෙහෙයුම සඳහා අවශ්‍යතාව පරිදි තවත් යුද හමුදා භට පිරිස්‌ යෙදවීමට සීරුවෙන් තබා සිටින බව ද බ්‍රිගේඩියර් ජයවීර වැඩිදුරටත් පැවැසීය.


විපතට පත්වූවන්ට කඩිනමින් සහන සලසන්න
- ජනාධිපති


හල්දුම්මුල්ල, මීරියබැද්ද ගම්මානයේ ඊයේ උදේ සිදුවූ ඛේදවාචකයෙන් විපතට පත් ජනතාවට සහන සැලසීමට සෑම පියවරක්‌ම ගන්නා ලෙස ජනාධිපති මහින්ද රාජපක්‌ෂ මහතා ඊයේ අදාළ අංශවලට උපදෙස්‌ දී තිබේ.

මේ පිළිබඳව ජනාධිපති කාර්යාලය නිකුත් කර ඇති නිවේදනයේ මෙසේද දැක්‌වේ.

සිද්ධිය සැළවූ වහාම එම ජනතාව මුදා ගැනීමේ කටයුතු සහ සහන සැලසීමේ කටයුතු කඩිනමින් සිදුකරන ලෙස අදාළ අංශ දැනුවත් කළ ජනාධිපතිවරයා විපතට පත් තම සහෝදර වතු ජනතාව පිළිබඳව සොයා බැලීමට අමාත්‍ය තොණ්‌ඩමන් මහතාද ගුවන් මගින් එම ස්‌ථානයට කඩිනමින් පිටත් කර හැරීමට පියවර ගත්තේය.

ත්‍රිකුණාමලයේ පැවැත්වෙන නිල කටයුතු රැසකට ඊයේ සහභාගි වී සිටි ජනාධිපතිවරයා එම සියලු ස්‌ථානවලදී මෙම සිදුවීම පිළිබඳ දැඩි කනගාටුව ප්‍රකාශ කළේය.

එමෙන්ම ආපදා කළමනාකරණ අමාත්‍ය මහින්ද අමරවීර, ඌව පළාත් ප්‍රධාන අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්‌ෂ, රාජ්‍ය ආරක්‌ෂක හ නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් ගෝඨාභය රාජපක්‌ෂ යන මහත්වරුන්ට සහ ආරක්‌ෂක අංශවලට ජනාධිපතිවරයා උපදෙස්‌ දුන්නේ එම ජනතාවට සහන සැලසීම වෙනුවෙන් ගත හැකි සෑම ක්‍රියාමාර්ගයක්‌ම ගන්නා ලෙසයි.


භේද නොතකා එක්‌වෙමු
- විපක්‍ෂ නායක


හල්දුම්මුල්ල, මීරියබැද්ද ගම්මානයේ ඊයේ උදෑසන සිදුවූ ඛේදවාචකයෙන් විපතට පත් ජනතාව වෙනුවෙන් කළ හැකි උපරිමය කිරීමට එක්‌වන මෙන් ලක්‌වැසි ජනතාවගෙන් ඉල්ලා සිටින බව විපක්‍ෂ නායක හා එජාප ජාතික නායක රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ (29 දා) උදේ නිකුත් කළ විශේෂ නිවේදනයක දැක්‌වේ.

සිද්ධියෙන් මියගිය අය පිළිබඳව සොව පළ කරමින් වික්‍රමසිංහ මහතා නිකුත් කර ඇති නිවේදනයේ මෙසේද දැක්‌වේ.

හල්දුම්මුල්ල මීරියබැද්ද ගම්මානයේ සිදුවූ ඛේදවාචකය පිළිබඳව තවමත් නිවැරැදි තොරතුරු ලැබී නොමැත. මේ සම්බන්ධයෙන් මා ඊයේ පෙරවරුවේ පාර්ලිමේන්තුවෙන් විමසා සිටි අවස්‌ථාවේදී ද හෙළිවූයේ තවමත් ඒ පිළිබඳ සියලු තොරතුරු වාර්තා වී නොමැති බවය. මේ ප්‍රකාශය නිකුත් කරන අවස්‌ථාවේදී ද නාය යැමෙන් සිදුවී ඇති විපත්තිය පිළිබඳ පූර්ණ තොරතුරු අනාවරණය වී නොතිබිණි.

අප වෙත ලැබෙමින් පවතින තහවුරු නොකළ ආරංචි මාර්ග අනුව ජීවිත විශාල ප්‍රමාණයක්‌ මේ ඛේදවාචකයට ගොදුරු වී ඇති බව සැලය. එය අති මහත් සංවේගයට කරුණකි. මේ අවස්‌ථාවේ අප සියලු දෙනාගේම යුතුකම වන්නේ ජාති, ආගම්, පක්‌ෂ ආදී සියලු භේද පසෙකලා විපතට පත් සහෝදර ජනතාව වෙනුවෙන් අපට කළ හැකි උපරිමය සිදු කිරීමය. ඒ සඳහා එක්‌වන මෙන් සියලු ශ්‍රී ලාංකිකයන් වෙත ආයාචනා කර සිටිමි.
 
Related Posts with Thumbnails