Ads 468x60px

.

පිරිමියෙකු වීමේ හීනය සැබෑ නොවූ නිසා වස බී දිවි නසාගන්නට හැදු නිරෝෂා


එක්තරා ඖෂධ වර්ගයක් අධිමාත්‍රාවකින් පානය කොට සිය දිවි නසා ගැනීමට තැත්කළ තරුණයෙක් රෝහල් ගත කිරීමෙන් පසු මූලික වෛද්‍ය ප්‍රතිකාරවලින්  අනතුරුව මානසික රෝග වාට්ටුවට යොමු කර තිබුණා.

මේ පුද්ගලයා අවුරුදු විස්සක අයෙක්. ඔහුගේ කාඩ්පතේ නම සඳහන්ව තිබුණේ මුල් අකුරු දෙකක් සමග වාසගමයි. මුල් අකුරු වලින් කියැවෙන ඔහුගේ නම පිළිබඳව විශේෂඥ මනෝ වෛද්‍යවරයා විමසුවා. එහිදී ඔහු කීවේ කාන්තාවකගේ නමක්. 

මීට අමතරව ඔහු පිරිමියකු මෙන් රළු හඬකින් කතා කළත් ඔහුගේ ගමන බිමන තුළින් සහ තවත් විවිධ ඉරියව් තුළින් පළ වූයේ කාන්තා ස්වරූපයක්. නමුත් ඔහු  ඇඳ සිටියේ පිරිමියකු මෙන් කලිසම සහ
කමිසයයි. පැළඳ තිබුණේත් පිරිමි පාවහන් යුගළක්.

සිය දිවි නසා ගැනීමට තැත් කළ හේතුව පිළිබඳ වෛද්‍යවරයා  ඔහුගෙන් විමසා සිටියා.


“ගෑනු ළමයෙක් එක්ක මගෙ එෆෙයාර් එකක් තිබුණා. ඒත් ඒ ගර්ල්ගෙ දෙමව්පියො මට අකමැති  වුණු නිසා ගර්ල් වෙනස් වුණා. මට එයා නැතුව ජීවත් වීමක් ගැන හිතන්නවත් බෑ. ඒකයි මං ජීවිතේ නැති කරගන්න හිතුවෙ.” තරුණයා කීවේ දුක්මුසුව.


කොහොම වුණත් වෛද්‍යවරයාට මේ තරුණයා පිළිබඳ සැකයක් තිබුණා. ඒ අනුව වෛද්‍යවරයා විසින් ඔහු පරීක්ෂා කර බලද්දී මේ තරුණයකු නොව තරුණියක බව අනාවරණය කරගත හැකි වුණා. පෙම්වතිය අතහැර ගොස් තිබුණේත් මේ පුද්ගලයා තරුණියක බව ආරංචි වීම නිසයි.


මේ තරුණිය නිරෝෂා. සාමාන්‍ය පවුලක එකම දරුවා ඇයයි. නිරෝෂාගේ වයස අවුරුදු දොළහක් පමණ වන විට ඇය නිතරම  ප්‍රිය කළේ පිරිමියකු මෙන් අඳින්නටයි. ඇය රූපලාවන්‍යාගාරයකින් තම කොණ්ඩයත් පිරිමියකු බඳුවම ඉතා කෙටි වනසේ කපා ගත්තා.


ඇය අධ්‍යාපනය ලැබුවෙ මිශ්‍ර පාසලක. මේ නිසා ඇය මිතුරු වී සිටියේ සම වයසේ පිරිමි ළමයින්  සමගයි. සෙල්ලම් කළේත් ඔවුන් එක්ක.  නිතරම ‘කොල්ලන් පිරිවරාගත් කෙල්ලක්’ යනුවෙන් ඇය ගුරුවරුන්ගේ පවා අප්‍රසාදයට ලක්ව සිටියා. 


නිතර පිරිමි ළමයින් සමග කරට කර ගැවසීම සම්බන්ධයෙන්  විරෝධය දක්වලා ගුරුවරුන් නිරෝෂාට කිහිප වරක්ම අවවාද කර තිබුණත් ඇය ඒ කිසිවක් තැකීමට ලක් කළේ නෑ.

අවුරුදු දාහතරේදී නිරෝෂා වැඩිවිය පත් වුණා. මේ පිළිබඳව නිරෝෂාගෙ තිබුණෙ තදබල අකමැත්තක්. තමා පිරිමියකු බවත්, වැරදිමකින් ගැහැනු ශරීරයක් ලැබි ඇති බවත් තදින්ම විශ්වාස කළ ඇය පිරිමියකු වීමට දැඩිව අධිෂ්ඨාන කර ගත්තා.


සාමාන්‍ය පෙළ විභාගයද අසමත් වූ නිරෝෂා ඉන්පසු නිවසින් පැන ගියේ පිරිමියකු ලෙස පෙනී සිටිමින් සමාජයේ  ජීවත් වීමේ අපේක්ෂාව ඇතිවයි. නිරෝෂා පැමිණියේ කොළඹට. 


රැකියාවක් සොයමින් එහෙ මෙහේ ඇවිද්දත් ඇයට රැකියාවක් සොයා ගැනීම අපහසු වූයේ ඇගේ වයස දහ අටට අඩු වීම නිසයි. මේ හේතුව නිසා යළි ගෙදර පැමිණියත් ඇය දිගටම ජීවත් වූයේ පිරිමියකු ලෙසින්මයි. මේ නිසා නිතරම වගේ ඇය දෙමාපියන්ගේත් දෝෂ දර්ශනයට ලක් වුණා.

කලක් ගත වන විට නිරෝෂාට එක්තරා ප්‍රසිද්ධ ආයතනයක කම්කරු  රැකියාවක් ලැබුණා. එහිදීත් ඇය පෙනී සිටියේ පිරිමියකු ලෙසිනුයි. නම ලෙස භාවිත කළේ මුල් නම් දෙකේ මුල්අකුරු දෙක සමග වාසගමයි.


එකට වැඩ කරන අනෙක් කම්කරුවනුත් නිරෝෂා පිරිමි කෙනෙකු ලෙසිනුයි දැන සිටියෙ. පිරිමින් සමග එක්වී හරි හරියට වැඩ කළත් නිරෝෂාගේ ගැහැනු ලක්ෂණද මුළුමනින්ම නැතිවී ගොස් තිබුණෙ නෑ. 


ඇය පිරිමියකු බව සිතා ඇය ලිංගික ඇසුරකට ‍පොළඹවා ගන්න සෙසු පිරිමින් වරින් වර උත්සාහ දරා තිබුණා. නමුත් තමා පිරිමියෙක් යන හැඟීම දැඩිව සිත දරා සිටි නිරෝෂාට පිරිමින් සම්බන්ධයෙන් ලිංගික හැඟීම් ඇතිවූයේ නෑ. ඒ නිසා ඇය ඒ පිරිමින්ව මගහැරියා මේ කාලයේදී තමයි ඇයට එක් තරුණියක මුණ ගැසෙන්නෙ. 

ඇය පිළිබඳ නිරෝෂාගේ සිතේ ආදරයක්  ඇති වුණා. එය සමලිංගික ආදරයක් නෙවේ. හේතුව ඇය එකහෙලාම විශ්වාස කළේ තමා පිරිමියෙක් කියලමයි. කෙසේ වුවත් නිරෝෂා තම පෙම්වතිය සමග කායික සම්බන්ධතා ඇතිකර ගත්තෙ නෑ. එවිට තමාගේ ගැහැනු අංග පෙම්වතියට හෙළි වේවි යැයි නිරෝෂා බිය වුණා.

ඉන්පසු ඇය ප්‍රසව හා නාරිවේද වෛද්‍යවරයකු හමු වුණා. ඒ තම  ගර්භාෂය ඉවත්කර ලිංගේන්ද්‍රියද වෙනස් කර ගත හැකිද යන්න සොයා බලන්නටයි. ඇයට විශේෂයෙන් ගර්භාෂය ඉවත්කර ගැනීමට ලොකු වුවමනාවක් තිබුණා. 


ඒ මාසිකව සිදුවන ඔසප් වීම නතර කර දමන්නටයි. නමුත් නාරිවේද විශේෂඥ වෛද්‍යවරයා ඔහුට එකඟ වුණේ නෑ. මේ අතර තමයි නිරෝෂාගේ පෙම්වතියට ඇය ගැහැනු කෙනෙක්  බව ආරංචි වී තිබුණේ.

නිරෝෂාට තිබුණෙ මානසික  ආබාධයක්. මෙය හඳුන්වන්නේ ට්‍රාන්ස්සෙක්ෂුවලිසම්  ලෙසින්. ස්ත්‍රී පුරුෂ භාවය හඳුනා ගත නොහැකි රෝගය  නමින් තිබෙන මානසික රෝග කාණ්ඩයට අයත් එක් රෝගයක් වන්නේ මෙයයි. මේ තත්ත්වය ඇති වන්නේ ශරීරයේ පවතින දෝෂයක් නිසා නොවෙයි. මෙය මානසික ආබාධයක්. 


ඊට මනෝ වෛද්‍ය ප්‍රතිකාර ලැබිය යුතුයි. නිරෝෂාටත් තවම මනෝ වෛද්‍ය ප්‍රතිකාර ලබා දෙනවා. මේ අයට විරුද්ධ ලිංගිකයකු වීමේ තදබල වුවමනාවක් තිබුණත් ඔවුන්ගේ ස්ත්‍රී පුරුෂ භාවය සම්පූර්ණයෙන් වෙනස් කරන්න බෑ. කලක් ගත වූ පසුව ඇතැම් විට නැවත මුලින් තිබූ ස්ත්‍රී ලක්ෂණ ඇති කර ගන්න කැමැත්තක් ඇති වෙන්නටත් බැරිකමක් නැති නිසා ඒවා රෝගියාට පහදා දී පරිස්සමින් තීරණ ගත යුතු වෙනවා.
 
Related Posts with Thumbnails