Ads 468x60px

.

මර්වින්ගේ පුංචි කක්‌ක බාල්දි වලට නොදෙවනි මාලකගේ කක්‌කුස්‌සි වලවල්.

බම්බලපිටියේ 'නයිට්‌ ක්‌ලබ්' එකකදී ස්‌කොට්‌ ජාතිකයකුට සහ ඔහුගේ පෙම්වතියට පහරදී තුවාල සිදුකළ බව කියන මාලක සිල්වා වැලිකඩ මහ උළුගෙදරට ගාල් කිරීමේ පුවත ඇසූ අප තුළ මාලකගේ පියා වන මර්වින් සිල්වා ඇමැතිතුමා ගැන ලොකු දුකක්‌ ඇතිවිය. 

ඉතා හොඳ සිංහල බෞද්ධයකු වන, රට වෙනුවෙන් මරාගෙන මැරීමට සූදානම් මර්වින් සිල්වාගේ මේ පුතා සිය පියාගේ නම ක්‍රමානුකූල ලෙස විනාශ කරමින් සිටින්නේ කාගේ කොන්ත්‍රාත්තුවක්‌ ඉටු කරන්නට දැයි වහාම සෙවිය යුතුය. 

සිය දේශපාලන ජීවිතයේදී බොහෝ දුක්‌ විඳ තැනකට පැමිණි මර්වින් සිල්වා ඇමැතිතුමා ඒ ගමනේ අතරමගදී පුංචි පුංචි කක්‌ක බාල්දිවලට කර ගැසුවද මාලක මේ කෙටි කාලයට කරගැසූ කක්‌කුස්‌සි වලවල් තරම් අවුලක්‌ කර ගත්තේ නැත. තරුණ මාලකට නයිට්‌ ක්‌ලබ් සම්බන්ධයෙන් අසාත්මිකතාවක්‌ තිබෙන බව පෙනෙයි. 

නයිට්‌ ක්‌ලබ්වල සිදුවන ගුටි කෙළිවලට ඔහුගේ නම සම්බන්ධ විය. ඔහු නිතරම 'නයිට්‌ ක්‌ලබ්' යන්නේ ආරක්‍ෂකයන් පිරිවරාගෙනය. ජනාධිපති පුත්‍රයා වන නාමල් රාජපක්‍ෂටවත් ඔහුට තරම් ආරක්‍ෂකයන් නැත. 

වතාවකදී මාලක නයිට්‌ ක්‌ලබ් එකක "බර්ත්ඩේ පාටියක්‌" සමරන්නට ගොස්‌ එතැන සිටි සෙසු අයට පහර දුන්නේය. ඊළඟ වතාවේදී ඔහු ජයික
හිල්ටන් කා පාර්ක්‌ එකේදී බුද්ධි අංශ නිලධාරියකුට අම්බානකට ගුටි දුන්නේය. 

මාලක සමග සිටි පිරිස ඒ මනුස්‌සයාගේ ගිනි අවිය පැහැරගෙන ගොස්‌ පසු දා රියෑදුරකු අත පොලිසියකට යෑවීය. ඉන් පසු තවත් හබයකදී කිසියම් පිරිසක්‌ විසින් කට උත්තර නැතිවන පරිදි මාලකට පහර දුන්නේය. 

මර්වින් සිල්වා ඇමැතිතුමා පසුව කීවේ එම පිරිස තම දරුවා උස්‌සන්නට පැමිණි බවය. මිනිසකු විසින් තව මිනිසකු නිකම්ම උස්‌සනු ලබන්නේ නැත. මෙය 88 - 89 භීෂණය නම් එසේ කීවාට කමක්‌ නැත. 

මාලක කුඩු ජාවාරම්කාරයකු නම් හදිසි ඉස්‌සිල්ලකට ලක්‌විය හැකි නමුත් ඔහු කුඩු ජාවාරම්කාරයෙක්‌ වන්නේද නැත. එසේනම් මේවා "ලොකු ලොකු" දෙමාපියන්ගේ "ලොකු ලොකු" දරුවන් අතර ඇති කරගත් හබ විය යුතුය. 

මාලක ස්‌කොට්‌ ජාතිකයකුට පහරදීමේ සිද්ධිය සුදු අධිරාජ්‍යවාදීන්ට එල්ල කළ ප්‍රහාරයක්‌ ලෙස සලකා සතුටු වීමට ගාල්ලත් මාතරත් අතර සිටින දේශප්‍රේමීන්ට පුළුවන. වරකාපොලත්, නුවරත් අතර සිටින දේශප්‍රේමීන්ටද පුළුවන.

එහෙත් කොළඹ තිබෙන සංචාරක අමාත්‍යාංශය මේ ගැන කලබල විය යුතුමය. මන්ද, ඒ ස්‌කොට්‌ ජාතිකයා සහ ඔහුගේ පෙම්වතිය ලංකාවට පැමිණි සංචාරකයන් නිසාය. 

තංගල්ලේ ප්‍රාදේශීය සභාවේ සභාපති ඇතුළු ස්‌ත්‍රී දූෂක මැරයන් විසින් බ්‍රිතාන්‍ය ජාතික කුරාම් ෂෙයික්‌ මරා ඔහුගේ පෙම්වතිය දූෂණය කළ විට ලංකාවට යන විට ප්‍රවේසමින් කටයුතු කරන්නැයි බ්‍රිතාන්‍ය රජය තම රට වැසියන්ට අනතුරු ඇඟවීමක්‌ කළේය.

එවැනි අනතුරු ඇඟවීමක්‌ කළ විට මුළු මහත් යුරෝපයම ලංකාව භයානක රටක්‌ බවට කට කතා පතුරුවා හරින්නට පටන් ගනී.

මාලක සිල්වා ස්‌කොට්‌ ජාතිකයාට සහ ඔහුගේ පෙම්වතියට පහර දී ඇත්තේ ආලිංගන නැටුමකදී හටගත් කතාවත් දුර දිග යැමෙනි. එම යුවළට පහරදුන් මාලක, ඔවුන් තමන්ට පහරදුන් බවට පොලිසියේ පැමිණිල්ලක්‌ කර රෝහල්ගත විය. මෙය ඉතා ලාභ උපක්‍රමයකි. 


අන්තිමේදී රෝහලෙන් රිමාන්ඩ් කූඩුවට යැමට මාලකට සිදු විය. කුඩා වියේදී මුලින්ම හඬන්නේ ගුටි කෑ එකා නොව ගුටි දුන් එකාය. 

සිය පුතා නයිට්‌ ක්‌ලබ් ගොස්‌ තව කෙනකුට පහර දුන් බව ප්‍රසිද්ධ වූ විට මර්වින් සිල්වා වැනි සිංහල බෞද්ධයකුට ඇති විය හැකි ලඡ්ජාව සහ පීඩනය ගැන අලුතින් කිව යුතු නැත. ඇමැති වුණත්, රජ වුණත් අවසාන විග්‍රහයේදී මේ සියලුම දෙනා දෙමාපියෝය. යාචක මව තුළ ඇති වන දුකත් මවු බිසවක තුළ ඇතිවන දුකත් එක සමානය. 

මාලක සම්බන්ධයෙන් මතු වී තිබෙන ප්‍රශ්නය ජාතික අර්බුදයක්‌ නොවූවත් එය මෙරට ජාතික දේශපාලනයේ ප්‍රතිරූපයට හානි කරන සිද්ධියකි. මේ අර්බුදයෙන් මාලක සිල්වා බේරා ගැනීමට කළ හැකි දේවල් තුනක්‌ තිබේ. 

එක්‌කෝ මාලක නයිට්‌ ක්‌ලබ්වලට යැම තහනම් කරන උසාවි නියෝගයක්‌ ගත යුතුය. නැත්නම් මේ රටේ නයිට්‌ ක්‌ලබ් සියල්ල වැසිය යුතුය. එහෙමත් නැතිනම් මාලක කාමරයකට දමා දොර වැසිය යුතුය.
 
Related Posts with Thumbnails