Ads 468x60px

.

රියෑදුරෝ යනු බූරුවෝ යයි සිතන පොලිසිය


කොළඹ ආමර් වීදිය හන්දියේ කොළපාට ලයිට්‌ වැටී ඇති අවස්‌ථාවේ එක්‌ රියෑදුරකු තම රථය දකුණට හරවාගෙන පාර මැදට යද්දීම 'රතු ලයිට්‌' වැටී ඇත. එහෙත් ඒ බව පිළිනොගත් රථවාහන පොලිස්‌ රාළහාමි ඒ පුද්ගලයාට රුපියල් 1000 ක දඩ කොළයක්‌ දී ඇත. 

සති අන්ත පත්‍රයක පළ වූ පුවතකට අනුව කොළඹ ජම්පටා වීදියේ හරස්‌ පාරක 'නෝ පාකින්' තැනක රථය නවතා තැබී යෑයි ඒ රියෑදුරුට රුපියල් 500 ක්‌ දඩ ගසා ඇත. එම සිද්ධිය වී ඇත්තේ රාත්‍රි 8.30 ට පමණය.

ඒ පිළිබඳව විමසීමට එම රියෑදුරා පොලිසියට (ජම්පටා) ඊට පසු දින ගිය අවස්‌ථාවේ ලොක්‌කා කියා ඇත්තේ "නෝ පාකින්" තැනක පාර මැද්දේම රථය නතර කර තිබූ බවකි. රියෑදුරකු බැරිවීමකින් හෝ "නෝ පාකින්"

තැනක රථයක්‌ නැවැත්වුවද, පාර මැදම තම රිය නවත්වා ඉන් බැස යාවි යෑයි සිතන්නට පුළුවන්ද? රියෑදුරෝ යනු බූරුවෝ නොවෙති. 

සමහර විට පොලිසිය එසේ සිතනවා ඇත. ඊටත් වඩා එම සිද්ධියේ වැදගත් වන්නේ ඒ අසලකවත් "නෝ පාකින්" බෝඩ් එකක්‌ නොතිබීමයි. මේ සිද්ධියට මුහුණදුන් රියෑදුරා ඊට පසුදා දහවල් කාලයේ එතැනට ගොස්‌ විපරම් කර බලද්දී ඊට යාර 100 කටත් වඩා දුර තැනක "නෝ පාකින්" බෝඩ් එකක්‌ තබා තිබෙනු දැක ඇත.

ඊයේ උදේ බලන විට එය ටිකක්‌ පෙනෙන තැනක තබා තිබෙනු දැකිය හැකි විය.

පොලිසිය මේ අන්දමට හිතුමතේ ඒකපාර්ශවිකව තම තීරණයේම එල්බගෙන තම තීරණය නිවැරැදිම තීරණය යෑයි සලකා කටයුතු කරන්නේ නම් රියෑදුරන්ට ඉතින් දෙවියන්ගේම පිහිට හැර වෙන පිහිටක්‌ නැත. ඕනෑම රියෑදුරකු නීති විරෝධී ලෙස මාර්ග නීති කඩා පොලිසියේ දඩයකට යටත්වීමේ කිසිම වරදක්‌ අපි නොදකිමු. 


එහෙත් අසාධාරණ ලෙස පොලිසියට කොමිස්‌ ලබාගැනීමේම පරමාර්ථයෙන්ම රියෑදුරන් පිට බොරු චෝදනා දමා දඩ ගසන්නේ නම් ගමේ භාෂාවෙන් කියන විදියට එය උන්ට හෙණ හතම ගහන අපරාධයකි.

ආමර්වීදියේ "රතු එළිය" වැටුණු විට එම අවස්‌ථාවට මුහුණදුන් රියෑදුරා ගේ කතාන්දරය දුටු මගියෙක්‌ මෙවැනි බොරු චෝදනා ගොතන පොලිස්‌ නිලධාරීන්ට රියෑදුරන්ගේ ශාපය නොමසුරුවම ලැබෙනු ඇතැයි කියා තිබේ. 


සමහර විට "නාහෙට අහන්නේ නැති" රියෑදුරකුට මෙවැනි බොරු චෝදනාවක්‌ එල්ල කළොත් ඒ මිනිසා තම රථය ආපසු හරවාගෙන ඇවිත් පොලිස්‌කාරයාගේ බෙල්ල උඩින්ම යෑව්වද එය පුදුමයක්‌ නොවනු ඇත. ඊට පසුව සිදුවන දේ ගැන ඔහු පසුව සිතනු ඇත.

ආමර් වීදිය හන්දියේ සිදු වූ සිද්ධියේ තවත් වැදගත් කරුණක්‌ පත්‍රයේ දුටුවෙමි. එහිදී මෝටර් රථ රියෑදුරා "පොලිස්‌කාරයාට" මහත්තයා කියා කතා කළ විට "මං මහත්තයා නෙවි... මම රාළහාමි කෙනෙක්‌" යෑයි ඔහු කියා තිබේ. 


ඒ කරුණින්ම ඔහුගේ උගත් "මහත්මා" ගතිය ඉස්‌මතු වී පෙනේ. ඉතින් මෙවැනි පුද්ගලයන්ට මහත්තයා කියා කතා කරනවාට වඩා "පොලිස්‌ කාරයා" යෑයි කියාම කතා කිරීම සුදුසු නොවේද? කොස්‌තාපල් පුඤ්ඤසෝම අපට ද මෙහිදී මතක්‌වන්නේ නිරායාසයෙනි.

මෙම වැකියට පාදක වී ඇත්තේ මෑතකදී සිදුවී අපට වාර්තා වූ සිද්ධීන් දෙකකි. එහෙත් පත්‍රයට වාර්තා නොවෙන මෙවැනි අසාධාරණ පොලිස්‌ දඩවලට යටත් වෙන කෙතරම් නම් රියෑදුරන් පිරිසක්‌ මේ රටේ සිටිනු ඇත්ද? 


ඒ සියලුම රියෑදුරන්ගෙන් අප ඉල්ලා සිටින්නේ කළුගල්වල ඔළුගෙඩි ගසා ගැනීමට තරම් අප බූරුවන් නොවෙන බැවින් උන්ට ඔබලාගේ ශාපයම ලෝබ නැතිව පූජා කරන ලෙසිනි. පොලිසියේ දෙවිවරුන් සිටින බව ලීවේත් අපමය.

මෙම වැකිය සියලුම පොලිස්‌ නිලධාරීන්ට අදාළ නොවේ.
 
Related Posts with Thumbnails