Ads 468x60px

.

දිවයින පුරා පිහිටි "මර උගුල් වලට" හසුවී මියයෑමේ පරම අයිතිය සියලුදෙනාට සම සමව ලැබීමට නම්


පෙබරවාරි 2 වැනිදා-ඉරිදා-ගම්පහ, බටුවත්ත දුම්රිය හරස් මාර්ගයේදී රජරට රැජන ශීඝ්‍රගාමී දුම්රියේ කැබ් රියක් ගැටීම නිසා එකම පවුලේ සිවුදෙනකු එතැනදීම මරුමුවට පත්වූ අතර, තවත් සාමාජිකයන් දෙදෙනකුගේ දිවි ගැලවිණි. 

ඉකුත් වසරේ කුරුණෑගල අඹන්පොළ හරස් මාර්ගයේදී එකම පවුලේ සිවුදෙනකු ජීවිතක්‍ෂයට පත්වූයේ ඔවුන් ගමන්ගත් ත්‍රිරෝද රිය යාල්දේවි දුම්රියේ ගැටීම නිසාය. 

පාපැදියක ගමන් ගත් තරුණයන් දෙදෙනකුට දිවි අහිමි වූයේ බේරුවල බංගලාවත්ත දුම්රිය හරස් මාර්ගයේදී රුහුණු කුමාරි දුම්රියට බිලිවීමෙනි. හරස් මාර්ගවලදී දුම්රියේ ගැටී අහිමි වූ ජීවිත හා විනාශ වූ දේපොළ ගැන
දිගින් දිගටම ලිවීම පල රහිතය.

පසුගිය කාලයේ දිවයිනේ මහාමාර්ග පමණක් නොව අතුරු මාර්ගද නවීකරණය කෙරිණි. එපමණක් නොව අධිවේගී මාර්ග, ගුවන් මාර්ග ඉදිකෙරුණු අතර තවදුරටත් ඉදිකිරීම් සිදුවෙමින් පවතී. 


අනුමත සැලැසුම්ද ගණනාවකි. එහෙත් දිවයින පුරා ඇති දුම්රිය හරස් මාර්ග බොහොමයක ආරක්‍ෂිත ගේට්ටු නැත. මේ දුම්රිය හරස් මාර්ග ජනතාවට මරුකපොලු වී තිබේ.

දුම්රිය හරස් මාර්ගවලට ආරක්‍ෂිත ගේට්ටු නොමැතිකම ඉකුත් රාජපක්‍ෂ ආණ්ඩුවේ හෝ චන්ද්‍රිකා ආණ්ඩුවේ ප්‍රශ්නයක් නොවේ. ඊට පෙර පැවැති ප්‍රේමදාස ආණ්ඩු කාලයේදීද පැවැති ප්‍රශ්නයකි. 


දුම්රිය හරස් මාර්ගයකදී සිදුවූ දරුණුතම දුම්රිය අනතුරක් වූ අහුන්ගල්ල දුම්රිය - බස් රථ ගැටුමෙන් පසු එවකට ජනාධිපති ධුරය දැරූ රණසිංහ ප්‍රේමදාස නියෝග කළේ ස්ථිර ගේට්ටු දැමීමට මුදල් ප්‍රතිපාදන නොමැති නිසා තාවකාලික පිළියමක් ලෙස සියලුම අනාරක්‍ෂිත දුම්රිය හරස් මාර්ගවලට (උණ) බම්බු ගේට්ටු සවි කරන ලෙසය. 

එය, දුම්රිය හරස් මාර්ග අනතුරු වළක්වා ගැනීමට ගත් වෑයමකි. එහෙත් ප්‍රේමදාසගේ "බම්බු විසඳුම" ලෙස ඊට උපහාසාත්මක ප්‍රතිචාර දැක්වූ එවකට සිටි විපක්‍ෂය 1994 වසරේ ආණ්ඩු බලය දිනාගත් පසු අඩුම ගණනේ බම්බු ගේට්ටුවක්වත් අලුතෙන් දැමීමට පියවර ගත්තේ නැත.

අනතුරක් සිදුවූ විට අදාළ ස්ථානයට ගේට්ටුවක් සවිකරනවා හැරෙන්නට දුම්රිය හරස් මාර්ගවලට ආරක්‍ෂිත ගේට්ටු සවිකිරීමේ සැලැසුම්ගත වැඩපිළිවෙළක් දුම්රිය බලධාරීන්ට තිබුණේ නැත.

දිවයින පුරා පිහිටි අනාරක්‍ෂිත දුම්රිය හරස් මාර්ග මේ වන විට මගී ජනතාවට ඇටවූ මරු උගුල් බවට පත්වී තිබේ. මේ ප්‍රශ්නය සම්බන්ධයෙන් බලධාරීන් දක්වන නොසැලකිල්ල භයානකය. 


හදිසි කටයුත්තක් ලෙස සලකා අනාරක්‍ෂිත දුම්රිය හරස් මාර්ගවල ගේට්ටු සවි කිරීම වහාම ඇරැඹිය යුතුය. ප්‍රමුඛතා ලැයිස්තුවක් සකස් කර ඒ අනුව නිශ්චිත කාල වකවානුවකදී ගේට්ටු සවි කිරීමට අදාළ ප්‍රදේශවල පළාත් පාලන ආයතනවල දායකත්වයද ලබාගෙන අවශ්‍ය පියවර ගත යුතුය.

ඇතැම් අවස්ථාවලදී පෞද්ගලික අංශයේ හා සමිති සමාගම්වල සහයෝග යද ලබාගත හැකි වනු ඇත. අවශ්‍යතාව උපරිමව තිබේ. නැත්තේ වුවමනාවක් හා සැලැස්මක් නැතිකම පමණි.

බලධාරීන්ට ඒ සඳහා වෙහෙසිය නොහැකි නම් කළ යුත්තේ ජනතාව ගෙන් කොටසකට අසාධාරණයක් සිදුනොකර දැනට සවිකර ඇති ගේට්ටු හා විදුලි සීනු ටිකද ගලවා දැමීමය. එවිට දිවයින පුරා පිහිටි මේ "මර උගුල් වලට" හසුවී මියයෑමේ පරම අයිතිය සියලුදෙනාට සම-සමව ලැබෙනු ඇත.

දුම්රිය බලධාරීන් පවසන්නේ විදුලි සංඥා හෝ විදුලි සීනු හා ලාම්පු සවිකිරීම, ගේට්ටු සවිකිරීමට වඩා ප්‍රයෝජන බවය. එහි සත්‍යතාවක් ඇති නමුත් ද්විත්ව දුම්රිය මාර්ග ඇති හරස් මාර්ගවල සීනුව නාදවීම ප්‍රමාණවත් නොවන බව නොබෝදා සිදුවූ ගම්පහ, බටුවත්ත දුම්රිය අනතුරින් වඩාත් පැහැදිලි විය. 


ජනතාවගේ නොසැලකිල්ල අනතුරුවලට ප්‍රධාන හේතුවක් බව දුම්රිය බලධාරීහු පවසති. එදා මෙදාතුර වැඩිම ජීවිත සංඛ්‍යාවක් විනාශ වූ දරුණුතම හරස් මාර්ග අනතුර වන්නේ පොල්ගහවෙල, යාංගල්මෝදර දුම්රිය - බස් රථ ගැටුමයි. 

ඊට හේතුව ආරක්‍ෂිත ගේට්ටුව වසා තිබියදී බස් රථය දුම්රිය මාර්ගය හරහා ධාවනය කිරීමය. ඒ අනතුර, පැහැදිලිවම රියැදුරාගේ අමනකම හා නොසැලකිලිමත්භාවය මත සිදුවූවක් බව පැහැදිලිය.

නීති කැඩීමට ජනතාව තුළ බිය සැක නැත. ඒ තරමට රට තුළ විනය පිරිහී ගොස් තිබේ. රියැදුරන් විනයගරුක වන්නේ රියැදුරු බලපත්‍ර ලබාගන්නා තුරු පමණි. නීතිය හා විනය කඩකරන ආකාරය ගැන අවබෝධයක් ඇතිකර ගැනීමට මාර්ගවල වාහන ධාවනය කරන අයුරු බලාසිටීම ප්‍රමාණවත්ය. 


එවැනි පසුබිමක අනතුරුවල වගකීම රියැදුරන්ට පවරා අත පිසදා ගැනීමට බලධාරීන්ට නොහැකිය. මේ මරුකපොලුවලට නොපමාව ගේට්ටු නොදමන්නේ නම් වටිනා ජීවිත කොපමණ සංඛ්‍යාවක් මේ මර උගුලේ වැටේදැයි කියන්න රාජකීය අනාවැකිකාරයන්ටවත් නොහැකි වනු ඇත.

රාගම බිහිසුණු රිය අනතුරේ සංස්කරණය නොකළ ඡායාරූප
 
Related Posts with Thumbnails