Ads 468x60px

.

රට පුරා නෝන්ඩි වී කොරහත් බිඳ ගත් පසු - ඉතින් තව මොනවාද?


පසුගිය ආණ්‌ඩුව පැවැති සමයේදී නම කැත කරගත් පාර්ලිමේන්තු මන්ත්‍රී වරුන් සහ ඇමැතිවරුන් දසදෙනකුට පමණ මීළඟ මහමැතිවරණයට තරග කිරීමේ අවස්‌ථාව අහිමි වීමට ඉඩ ඇතැයි ශ්‍රීල.නි.ප ප්‍රකාශකයකු පැවැසී යෑයි දැන ගන්නට තිබේ. 

මේ අයගෙන් කොටසක්‌ මෛත්‍රී ජනාධිපතිතුමාගේ ගුණ ගායනා කරමින් ඔහුට 'සෙට්‌' වීමට හදන බවත්, තවත් කට්‌ටියක්‌ හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාට 'සෙට්‌' වීමට හදන බවත් එම ප්‍රකාශකයා තවදුරටත් පවසා තිබේ.

මෙය ඉතා පරණ කතාවකි. පැරදුන නායකයා අතහැර අලුත් නායකයාට සෙට්‌ වීමේ ප්‍රවණතාව රාවණ රජ කාලයේදීත් සිදුවිය. ශ්‍රී වික්‍රම රාජසිංහ රජ කාලයේදීත් සිදු විය. අදත් සිදු වේ. හෙටත් සිදුවන්නේ ය. 


2000 - 2002 රනිල් වික්‍රමසිංහගේ එ.ජා.ප. ආණ්‌ඩුවේ සිටි හොරුන් ගෙන් භාගයක්‌ පසුගිය කාලයේදී මහින්ද රාජපක්‍ෂට හේත්තු වූහ. ඔවුන් ආවේ නිකම්ම නොව 'ජනාධිපතිතුමාගේ දැත් සවිමත් කිරීමට ය' යන බැනර් එක ද රැගෙන ය. එහෙත් ඒ වන විට මහින්ද රාජපක්‍ෂ අත් පණ
නැති වීමේ රෝගයකින් පෙළෙමින් සිටියේ නැත. 

මහින්ද රාජපක්‍ෂ වටකරගත් ඒ හොරුන්ගෙන් සමහරු අතට හසුවන හැම දෙයක්‌ම සොරකම් කරගෙන, රජයේ නාලිකාවලට ටෙලිනාට්‍ය පාස්‌ කර දෙනු පිණිස ටෙලි නාට්‍ය නිෂ්පාදකයන්ගෙන් පගා ගසා, රට පුරා නෝන්ඩි වී කොරහත් බිඳගෙන මහින්ද රාජපක්‍ෂත් පරදවා යන්නට ගියහ.

සමහරු කෝවිල් සෑදීමට සල්ලි එකතු කර ඒවායින් පෝෂා කාර් මිලට ගත්හ. ඒ අයම කැලණිය පුබුදුවන්නට අරමුදල් ඇතිකර ඒ සල්ලි ගසා කෑහ. අද ඔවුහු මෛත්‍රී ජනාධිපතිතුමාගේ හිත දිනා ගැනීම සඳහා රාජපක්‍ෂලාට විරුද්ධව අල්ලස්‌ කොමිසම වටා යති. 


මේ හොරුන් හඳුනා ගැනීමට මෛත්‍රී ජනාධිපතිතුමාට හැකි වනු ඇද්දැයි අපි නො දනිමු. එහෙත් රනිල් වික්‍රමසිංහ මහතාට මේ සොරුන් හඳුනා ගෙන ඔවුන් කපා හැරීමේ වාසනා මහිමය ඇති බව විශ්වාස කරමු. 

කෙසේ වුවද අද අප ලියන්නේ නම කැත කර ගත් අයට නාම යෝජනා නොදීම ගැන ය. පසුගිය ආණ්‌ඩුවේ මන්ත්‍රීවරු හතළිහකට පමණ විරුද්ධව අල්ලස්‌ කොමිසම ඉදිරිපිට මේ වන විට චෝදනා තිබේ. 

ඒ අනුව ඒ හතළිහටම නාම යෝජනා දීමට බැරිය. මිනිසුන් ගස්‌ බැඳපු අයද, කොන්ත්‍රාත් ක්‍රමයට කළ මිනී මැරුම්වල පාර්ශ්වකාරයන් වූ අය ද සිටිති.

ඒ අයටත් නාම යෝජනා දීමට බැරි ය. එහෙම බැලුවොත් නාම යෝජනා දීමට ඉතිරි වන්නේ පසළොසක්‌ - විස්‌සක්‌ අතර ප්‍රමාණයකි. දැනට තිබෙන ආණ්‌ඩුව සම්බන්ධයෙන් ද ඒ ප්‍රශ්නය තිබේ. එහි සිටින එ.ජා.ප. මන්ත්‍රීන් සෑහෙන පිරිසකට නඩු ඇත. 


ඔවුන්ට දිගු කලක්‌ බලයේ සිටීමට බැරි වීම වාසනාවක්‌ වන අතර, බලය තිබුණා නම් විවිධ වංචා, දූෂණ සහ දාමරිකකම් පිළිබඳ නඩු වැටුන පිරිස ඉතා ඉහළය. මිනිසුන්ට පහරදී මහ පාරේ දණ ගැස්‌සූ මන්ත්‍රීවරු මේ ආණ්‌ඩුවේත් සිටිති.

උන්නැහේ දැන් රිමාන්ඩ් කර ඇතත් ගිය ආණ්‌ඩුවේ මැර ඇමැතියෙක්‌ සමෘද්ධි නියාමකයකු ගස්‌ බැන්ද විට දවසකටවත් ඒ ඇමැතියා කූඩු කරන්නට ඒ ආණ්‌ඩුව උනන්දුවූයේ නැත. 


මේ රටේ දේශපාලන සංස්‌කෘතියේ වරද මෙයය. තංගල්ලේ හෝටලයකදී පෙම්වතා මරා පෙම්වතිය දූෂණය කළ මිනීමරු ප්‍රාදේශීය සභාපතියා ප්‍රාදේශීය සභාවේ චෙක්‌ හිරේ සිට අත්සන් කළේය. ඉතින් තව මොනවාද?
 
Related Posts with Thumbnails