Ads 468x60px

.

19 වැනි සංශෝධනය මේ තරමින් හෝ ජය ගැනීම යනු ඡේ. ආර්. පරදවා මෛත්‍රී සහ රනිල් ජයගැනීමකි


විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කළ යුතු බව එම ක්‍රමයේ පීතෘවරයා වූ ඡේ. ආර්. ජයවර්ධන ජනාධිපතිතුමාගේ කාලයේ සිටම කියන ලද නමුදු දේශපාලන සටන් පාඨයක්‌ ලෙස එය ඉස්‌මතු කෙරුණු මුල් අවස්‌ථාව 1994 වසරේ ජනාධිපතිවරණය ය. 

එයින් පසුද එම සටන විටින් විට ඉදිරියට ගෙන එන ලද නමුදු යුද්ධය ඇතුළු වෙනත් හේතු මත යටපත් විය. ඉන් පසු මේ පත්තු නො කළ
වෙඩි නූලට ගිනි තබන්නේ පූජ්‍ය මාඳුළුවාවේ සෝභිත නායක හාමුදුරුවන් වහන්සේ විසිනි. ඒ ඉකුත් ජනාධිපතිවරණයට පෙර ය. 

එවකට ජනාධිපති ධුරාපේක්‍ෂක වූ මෛත්‍රීපාල සිරිසේන මහතා සහ අගමැති ධුර අපේක්‍ෂක රනිල් වික්‍රමසිංහ විසින් පවත්වන ලද සියලු ඡන්ද රැස්‌වීම්වල දෙන ලද සුවිශේෂ පොරොන්දුව වූයේ විධායක ජනාධිපති ක්‍රමය අවසන් කරන බව ය. ඡන්දයෙන් පසු ප්‍රකාශ කෙරුණු දින සියයේ යෝජනා සමූහයට එම පොරොන්දුව ද එකතු කරන ලදී. 

එහෙත් මුළුමනින් ම විධායක බලය අවසන් ඡන්දයෙන් පසු කරනු වෙනුවට විධායක බලය සංශෝධනය කිරීමට පමණක්‌ තීරණය විය. අන්තිමේදී එම සංශෝධන සහිත සුප්‍රකට 19 වන ව්‍යවස්‌ථා සංශෝධනය බලාත්මක කිරීමට පෙරේදා (28 දා) රාත්‍රියේදී හැකි විය. 

මෙකී බල ගැන්වීම යටතේ විධායක ජනාධිපතිට තිබූ මුක්‌තිය ඉවත් කරන ලදී. ඒ අනුව තමා කරන වැරදි සම්බන්ධයෙන් වගකීමට ජනාධිපතිවරුන්ට සිදු වෙයි. සාමාන්‍යයෙන් විධායක ජනාධිපති මුක්‌තියක්‌ අවස්‌ථා කිහිපයකදී බල ගැන්විය හැකි ය. 

එයින් පළමු වැනි අවස්‌ථාව යුද්ධයකි. දෙවැන්න සංවර්ධනය නොවුණ රටක්‌ සංවර්ධනය කිරීමේදී ය. මේ දෙකේදීම ගන්නා හදිසි තීරණවලදී ජනාධිපතිවරයා සුරක්‍ෂිත කිරීම අත්‍යවශ්‍ය වන අතර, එය කළ හැක්‌කේ මුක්‌තිය පාවිච්චි කර ඔහුට විරුද්ධව නීතිමය පියවර නො ගෙන ඔහු ආරක්‍ෂා කර ගත හැකි නම් පමණි. එහෙත් මේ මොහොතේදී මේ රටේ යුද්ධයක්‌ නැත. 

ජනාධිපති මුක්‌තිය යොදා කරවිය යුතු තරම් හදිසි සංවර්ධනයක්‌ ද නැත. එබැවින් ජනාධිපති මුක්‌තිය ඉවත් කිරීම ඉතා හොඳින් ගැළපේ. 

එසේම යළිත් මතුවන හදිසි අවස්‌ථාවකදී එම මුක්‌තිය ජනාධිපති ධුරයට හිමිවන පරිදි කටයුතු කරන ලෙස ද ඉල්ලමු. ජනාධිපති ධුර කාලය වසර 5 කට සීමා කිරීම සහ දෙවරකට වඩා ජනාධිපති ධුරය දැරීමට නො හැකි වන පරිදි ව්‍යවස්‌ථා සංශෝධනය සකස්‌ කිරීම ද සාධනීය පියවර ලෙස සැලකිය හැකිය.

19 වන ව්‍යවස්‌ථා සංශෝධනයේ වැදගත් ම සේවය වන්නේ කොමිෂන් සභා ස්‌ථාපනය කිරීම ය. රාජ්‍ය සේවා, පොලිස්‌, විගණන සේවා, මානව හිමිකම්, අල්ලස්‌ - දූෂණ, මුදල්, සීමා නිර්ණය, ජාතික ප්‍රසම්පාදන, විශ්වවිද්‍යාල ප්‍රතිපාදන සහ රාජ්‍ය භාෂා යනාදී වශයෙන් කොමිෂන් සභා ස්‌ථාපනය කර තිබෙන අතර, ඒවා මගින් වඩාත් හොඳින් යහපාලිත රාජ්‍යයක්‌ ඇති කළ හැකි බව අපි විශ්වාස කරමු. 


රටක පාලනයට කළ හැකි ලොකුම නරක දේශපාලන ඇඟිලි ගැසීම්ය. 

කොමිෂන් සභා පත් කිරීම මගින් දේශපාලන ඇඟිලි කැඩිය හැකි ය. ඒ බව පෙර සිටි ජනාධිපතිවරුන් දැන නො සිටීම ජාතියේ අභාග්‍යයකි. 19 වැනි සංශෝධනය මේ තරමින් හෝ ජය ගැනීම යනු ඡේ. ආර්. පරදවා මෛත්‍රී සහ රනිල් ජය ගැනීමකි.
 
Related Posts with Thumbnails