Ads 468x60px

.

අසම්මතය අනුව සමලිංගිකයෝ අතරත් ප්‍රේමය ඇති වෙනවා - නයනා කුමාරි


නයනා අක්කා මේ වෙද්දි රංගන ශිල්පිනියක්ද රූපලාවණ්‍ය ශිල්පිනියක්ද?
මම රංගන ශිල්පිනියක්. මම මීට අවුරුදු ගාණකට කලින් රූපලාවණ්‍ය ඉගෙන ගත්තා. මේ වන විට කලා කටයුතුවලින් මම ගොඩාක් අෑත් වෙලා ඉන්නේ. මට අවුරුදු 08ක පුතෙක් ඉන්නවා. 

ඉතින් එයා ගැන බලන්නත් ඕනෑ. ඒකට කාලෙ අවශ්‍යයි. මට හිතුණා ඉගෙන ගත්තු දේවලින් ප්‍රයෝජනයක් ගන්න. ඉතින් දැනට වසර 06ක විතර ඉඳන් මම රූපලාවණ්‍ය ශිල්පිනියක් විදියට කටයුතු කරනවා.

කලා ක්‍ෂේත්‍රය ගැන කලකිරීමෙන් නෙවෙයි නේද?
අනේ නෑ මැරෙනකන් මට කලා ක්‍ෂේත්‍රය ගැන කලකිරීමක් ඇති වෙන්නේ නෑ. මට විවිධ චරිත හම්බවුණා. ඒ හැම දේටම මම උපරිම සාධාරණය කළා. හැමෝගෙම හිත්වල බොහොම ආදරණීය විදියට රැඳුණා. ඉතින් මට කිසිම කලකිරීමක් නෑ, තෘප්තියක් මිසක්. 


සම්මාන ගැන කතා කළත්, ජනප්‍රියම වගේම දක්‍ෂතම ආදී ගන්න පුළුවන් හැම සම්මානයක්ම මට ලැබුණා. මගෙ හිතේ ඊර්ෂ්‍යාව, කුහකකම නෑ, හෙට මට මාලනී අක්කගේ අම්මට රඟපාන්න කිව්වත් මම භාරගන්නවා.

නයනා ඔයා ඒ කාලෙට වඩා හරිම Sexy,හරිම Hot කියන පිරිමි නැද්ද?

එහෙම මට කවදාවත් කියලා නැහැ. මගේ ළඟ ඉන්න හිතවත් රංගන ශිල්පිනියන් මට නිතර දෙවේලේ හම්බවෙන රසිකාවියන් නම් මාව අගය කරනවා. හැබැයි නංගී පිරිමි නම් මට එහෙම කියන්නෙ නෑ. එදා ඉඳන් එයාලා මට පොඩි අඥඵනඥජබ එකක් ඇතිවයි කතා කළේ. 

මට පිස්සු වැටිලා අරයා පස්සෙන් ආවා කියලා මට බොරු කියන්නත් ඕනෑ නෑ. ඇත්තටම එහෙම වෙලා නෑ, සමාජයේ ඉන්න කාන්තාවෝ නම් මට සුන්දරයි, ලස්සනයි කියලා කිව්වා. හදවත හොඳට තියෙනවා නම් හැම කෙනාටම මෙහෙම ඉන්න පුළුවන්.

ඇයි පිරිමි එහෙම නොකියන්නේ?
පිරිමි එහෙම කියලා නෑ. හැබැයි හිතේ ඇති. සමහරවිට බයද දන්නේ නෑනේ. මොකද සමහරු මගෙන් ගුටි කාලත් තියෙනවා.

ඒ කියන්නේ නයනා අක්කට ලස්සනයි කියන පිරිමින්ට නයනා අක්කා ගහනවද?
මම ඉතින් ඉස්සර ඉඳන්ම ටිකක් වෙනස්, අමුතුම ගැහැනියෙක්. සමහරු විහිළු කරන්න ඇවිත්, මගේ දෑතින් අල්ලන්න ඇවිත් මම ගහන්න ගිහින් තියෙනවා. ඉතින් අදටත් මම ඒ නළුවෝ එක්ක රඟපාන්නේ නෑ. මේවා වුණේ මම ක්‍ෂේත්‍රයට ආපු මුල් කාලේ

නවක නිළියන්ට මෙවැනි දෑට මුහුණ දෙන්න බැරි නිසාද ක්‍ෂේත්‍රය හොඳ නෑ කියන්නේ?
මම අවුරුදු 13දී 14දී වගේ තමයි ක්‍ෂේත්‍රයට එන්නේ. මම නාට්‍යකරණය ඉගෙන ගත්තා. අවුරුදු 05ක් එකදිගට. එහෙම හදෑරීමක් තියෙන නිසාම අපිව වට්ටන්න බෑ, කිසිම දේකට නම්ම ගන්න බෑ. වෙන වෙන දේවල් උගසට තියලා මට ක්‍ෂේත්‍රයේ රැඳෙන්න ඕන වුණේ නෑ. 


මම දක්‍ෂතාවය හා හැදෑරීම ඇතිව ආපු නිසා මට එවැනි අභියෝගවලට මුහුණ දෙන්න ශක්තිය තිබුණා. ඔතෙලෝ, ශේක්ස්පියර්, පෝරිසාදයෝ, මැක්බත් වගේ එකකට එකක් වෙනස් වේදිකා නාට්‍යවල රංගනයේ යෙදුණා. ඒ පන්නරය, ඒ හැකියාව, ඒ අත්දැකීම් මත තමයි අපි පුංචි තිරයට ආවේ. එහි රඟපෑමක් දෙකක් දැක්කා විතරයි මට ආරාධනා ගලාගෙන ආවා. හිංසාවත්, පීඩාවත් නැතිව මගේ ගමන මම ගියා.

වයස 35, 40 වුණ නිළියෝ, තිරයේදී වයස 18, 20 පෙම්වතියගේ චරිතය රඟපාද්දි මොකද හිතෙන්නේ?
1954දී තිරගත වුණු අහංකාර ස්ත්‍රී චිත්‍රපටයට මට ආරාධනා කළා. එහි මම රඟපෑවේ පෙම්වතියගේ චරිතය. ඒක හරිම වෙනස්. හැබැයි මම පෞද්ගලිකව කැමැති නෑ. දැන් මල් ගස් වටේ දුවන 18 පෙම්වතියගේ චරිතය රඟපාන්න. ඒවා කරන්න අද අලුත් අය ඉන්නවා.

ටෙලිනාට්‍ය නිළියක් විදියට හැමෝගෙම හිතාදරයට පත් වුණ නයනා අක්කට ඇයි සිනමාව සරසන්න බැරි වුණේ?
මට බොහොම දක්‍ෂ අධ්‍යක්‍ෂවරු කතා කළා. මම මේවා හැමතැනම කියලත් නැහැ. ඇත්තටම වසන්ත ඔබේසේකර මහත්මයා සංගීතාට 'සලෙළුවරම' චිත්‍රපටයට ආරාධනා කරන්න කලින් මටයි එයට ආරාධනා කළේ. Script එක පවා එතුමා මට දුන්නා. එහි තිබුණු සමහර දර්ශනවලට පෙනී සිටින්න මට බැහැයි කියලා හිතුණා. එවිට මම පෙම්වතියක්. 


මම වසන්ත ඔබේසේකර මහත්මයාට කිව්වා මට ඒ චරිතය කරන්න බෑ එහි උප ප්‍රධාන චරිතය හෝ නිකන් හිටගෙන ඉන්න චරිතයක් හරි මම කරන්නම් කිව්වා. මම එහෙම කිව්වම එතුමාට තරහා ගිහින් මාව එළවා ගත්තා. තවත් බොහෝ සම්මානයට පාත්‍ර වුණු සිනමා නිර්මාණවලට මට කතා කළා. නමුත් මම හිටියේ එක්තරා ප්‍රතිපත්ති ටිකක් එක්ක. ඒ නිසා මම බොහෝ නිර්මාණ භාර ගත්තේ නෑ.

හරි අපි හිතමු ඉන්දියාවේ සුපිරි අධ්‍යක්‍ෂවරයෙක් නයනා අක්කට ප්‍රධාන චරිතයකට ආරාධනා කරනවා. එහි සිප වැලඳගැනීමේ දර්ශනයක් තිබෙනවා. අක්කා ඒකත් ප්‍රතික්‍ෂේප කරනවාද?
මම ප්‍රතික්‍ෂේප කරනවා. එවැනි දර්ශනවලට සම්බන්ධ වුණ සමහර රංගන ශිල්පිනියෝ දුක් වුණ හැටි මම දැකලා තියෙනවා. මම ඒ ගැන අවබෝධයක් ඇතිව මම එය භාර ගන්නේ නෑ. ඉන්දියානු අධ්‍යක්‍ෂවරයෙක් මට ආරාධනා කළා. එහි එවැනි දර්ශනයක් තිබුණා මම එය ප්‍රතික්‍ෂේප කළා. මේ කතාවත් මම ප්‍රසිද්ධියේ කියන පළමුවැනි වතාව මේ. මගේ තියෙන දේවල් නැතිකරගෙන, ඒවා පෙන්නගෙන එවැනි චරිත හඹා යෑමේ පිපාසයක් මට තිබුණේ නැහැ.

නයනා අක්කට ලැබෙනවා මිලියන ගාණක් වටිනා ප්ලාස්ටික් සැත්කමක් නොමිලේ කරගන්න, ඔයා ඒ සැත්කම හරහා වෙනස් කරගන්නේ ශරීරයේ මොන කොටසද?
මම සැත්කම ප්‍රතික්‍ෂේප කරකවා. මම මහා ලොකු රූපසුන්දරියක් නෙවෙයි නමුත් කාන්තාවක් විදියට මට උසට ගැළපෙන සිරුර, එහි හැඩය, පැහැය හැමදේම ප්‍රමාණවත්, ඒ වගේම මගේ මුහුණ එහි හැඩය, ඇස්, දත් කොණ්ඩය හැමදේම තියෙන්න ඕනෑ විදියට පිහිටලා තියෙනවා කියලා මට හිතෙනවා.

ක්‍ෂේත්‍රයට ඇවිත් ජනප්‍රිය තලයේ ඉද්දි, අඩු වයසින් නයනා අක්කා විවාහ වුණා, දැන් හිතෙන්නේ නැද්ද අපරාදෙ මම සුමිත්ව බැන්දේ කියලා?
මගේ පළමුවැනි ටෙලිනාට්‍යයේ හිටපු සහාය අධ්‍යක්‍ෂවරයා තමයි සුමිත්. එහිදී අපි පෙම්වතුන් වුණා. අපි වසර 09ක් ආදරය කරලා විවාහ වුණා. මම හිතනවා හැමදේම වෙන්න සුදුසු වයසක් තියෙනවා කියලා, විශේෂයෙන් ගැහැනු ළමයෙක්ට, වැඩිවියට පත්වෙන තැන ඉඳලා, ආදරය කරලා විවාහ වෙලා දරුවෙක් හදන තැන දක්වාම සුදුසු වයසේදී වෙන්න ඕනා. මේ හැමදේම නිසි වයසේදී මම කරගත්තා. ඒ ගැන සතුටක් මිසක දුකක් නැහැ.


මගේ වයසේ සමහර අය තවම බැඳලත් නෑ. හම්බවුණාම මම උන්ට බනිනවා. මොකද බං උඹලා බඳින්නේ නැත්තේ කියලා. නිසි වයසේදී මේ දේවල් නොවුණාම මානසිකව ඇද වැටෙනවා. ඒ නිසා මම තෘප්තිමත්.
ඇත්තටම අවුරුදු 09ක් Love කර කර හිටපු කාලේ මම මගේ දරුවා හදාගත්තා නම් අද මගේ කොල්ලා හොඳ වයසේ. අපරාදෙ එහෙම පුළුවන් වුණා නම් මම මුලින් දරුවා හදලා පස්සේ බැඳගන්නවා. ඒ ගැන නම් මම පසුතැවෙනවා.

ඔච්චර ආදරේ කරන නයනා අක්කගේ සැමියා සුමිත්ගේ අනියම් සම්බන්ධයක් ඔයාගෙ අතට අහුවුණොත් ඔයා මොකද කරන්නේ?
එහෙම වෙනවා නම් හොඳයි. ඒත් අපේ මිනිහා එහෙම නොකරන එකනේ දුක. ඇත්තටම එහෙම වුණොත් පළමුවැනි වතාවෙ මම කියයි මොකක්ද මේ කරන්නේ, මේක නතර කරන්න කියලා. නමුත් දෙක, තුන, හතර වුණොත් නම් කොහෙන් කෙළවර වෙයිද දන්නේ නෑ.

ක්‍ෂේත්‍රයේ ඔබ ළඟින්ම ඇසුරු කරන මිතුරිය කවුද?
මිතුරෝ, මිතුරියෝ ගොඩාක් ඉන්නවා. මේ අතුරින් ගයාත්‍රි ඩයස් සුවිශේෂියි. අපි ගොඩාක් කල් ඉඳන් හඳුනන්නේ. ඒ කාලේ ඇයට චන්නවත් හමුවෙලා නෑ. එදා ඉඳන් අපි හොඳ හිතවතියෝ. ගයාත්‍රිත් විවාහකයි, මාත් විවාහකයි අපිට දරුවෝ ඉන්නවා, අපි හැමදේම කතා කරනවා. දුක සැප බෙදා ගන්නවා. අපි හොඳ යාළුවෝ.

නයනා - ගයාත්‍රි මිතුදම ගැන සමහරු වෙන විදියකට අර්ථකථන දෙනවා නේද?
විවිධ මානසික මට්ටම් තියෙන අය මේ සමාජයේ ඉන්නවා. ඔවුන් බලන ඇහැට අනුව ඔවුනට එහෙම හිතෙනවා ඇති. අපේ යාළුකම දරාගන්න බැරි, ඒ බැඳීමට වෛර කරන ඊර්ෂ්‍යා කරන අය තමයි එවැනි කතා කියන්නේ. මානසික ලෙඩ්ඩු තමයි ඔය කතා ගොතන්නේ, අපිට ඒවා දැනෙන්නෙත් නෑ ඇහෙන්නෙත් නැහැ.

සමලිංගික ප්‍රේමය වරදක් විදියට අක්කා දකිනවාද? ගැහැනියකට තවත් ගැහැනියකටත්, පිරිමියාට තවත් පිරිමියකුටත් ආදරය කරන්න බැරිද?
ලිංගිකත්වයට වඩා වැදගත් වෙන්නේ මනුෂ්‍යත්වය. ගැහැනු පිරිමි භේදයක් නැතිව අපි හැමෝටම දුක, සතුට, වේදනාව, ආදරය මේ හැමදේම දැනෙන්නේ එකම විදියට, නමුත් සාමාන්‍ය සම්මතය අනුව ආදරය කරන්නේ විරුද්ධ ලිංගිකයන්, අසම්මතය අනුව සමලිංගිකයෝ අතරත් ප්‍රේමය ඇති වෙනවා. ඒ ඔවුන්ගේ කුමන හෝ මානසික ගැටලුවක් මත. ඒ අයට ගැරහීම, කොන් කිරීම වැරැදියි. ඒත් පිටරටවල මෙය නීතිගත කරලා තිබුණට ලංකාවට එය එතරම් සුදුසු නෑ කියලා මම හිතනවා.

ඇත්තටම නයනා කුමාරිද වඩාත් ආකර්ෂණීය ගයාත්‍රි ඩයස්ද?
මම හිතන්නේ ගයාත්‍රි මට වඩා බොහොම ආකර්ෂණීයයි කියලා. අපි දෙන්නා සම වයසේ නමුත් ඇය මට වඩා සුන්දරයි.

මේ ප්‍රශ්නවලට ප්‍රතිශතයක් විදියට උත්තර දෙන්න. රංගන ශිල්පිනියක් විදියට අක්කගේ සාර්ථකත්වය සීයට කීයද?
90% විතර.


රූපලාවණ්‍ය ශිල්පිනියක් විදියට?
ඒක 75% විතර මම තවමත් එය හදාරනවා.


බිරියන් විදිහට?
90% විතර

මවක් විදිහට?
90% විතර මම කාර්ය බහුලයි මගේ වැඩත් සමඟ, ඒවා නිසා සමහර වෙලාවට මට 100% සාර්ථක වෙන්න බැරිවෙලා තියෙනවා.

නයනා අක්කට මේ රටේ ප්‍රබල ඇමැතිවරයෙක්ව සම්බන්ධ කරලා කටකතාවක් හැදුණා නේද?

ඔව්, මට සතුටුයි ඉතින්, අර නළුවා, මේ නළුවා එක්ක සම්බන්ධකමක් තියෙනවා කියනවාට වඩා ඇමැතිවරයෙක් එක්ක සම්බන්ධයි කියන එක කොච්චර මට ආඩම්බරයක්ද? සමහර විට ඔබාමා සම්බන්ධ කරලත් හෙට මට කටකතාවක් හැදෙන්න පුළුවන්. ඇත්තටම වෙනවා නම් වෙන්න ඕනෑ එහෙම එකක්.

ඒ කියන්නේ නයනා අක්කා කැමැතියි ඔබාමාගේ නමට සම්බන්ධ වෙලා කටකතාවක් හැදෙනවාට?
ඔව් මම කැමැතියි, ඔබාමයි මාවයි සම්බන්ධ කරලා කටකතාවක් හැදෙනවා නම් හොඳයිනේ. කටකතාවක් හදාගන්නවා නම් මම කැමැතියි අන්න ඒ වගේ කතාවක් හදාගන්න.

ඔය කතා හැදුණ ඇමැතිවරයාව කොහේදී හරි මුණ ගැහුණම නයනා අක්කට මොකද හිතෙන්නේ?
මට කිසිම අපහසුතාවක් දැනිලා නැහැ. එතුමා බොහොම හොඳ මනුස්සයෙක්, එතුමා විතරක් නෙවෙයි ඒ ක්‍ෂේත්‍රයේ තවත් ඇමැතිවරු බොහොම හිතවත්. ජනාධිපතිතුමා පවා බොහොම හිතවත්. දුගී දුප්පතාගේ ඉඳන් ඉහළ රජමැඳුරේ අය පවා අපි කලාකරුවෝ නිසා අපිට ආදරෙයි. කැමැතියි. කෙනෙක් ආදරෙයි නම්, උනන්දුයි නම්, කැමැතියි නම් ඒ දේවල් අපිට නතර කරන්න බැහැ.


අනෙක් එක ඔය ඇමැතිට කෝච්චියට දාන්න නමක් ඕනෑ නම් තවත් අයගේ නම් ඇතිනේ දාන්න මගේ නමට වඩා ලස්සන නම් ගොඩාක් ඇති.

එතකොට නයනා අක්කගේ නම මේ ඇමැතිවරයා කෝච්චියකට දැම්මා කියලාත් කිව්වා... මේ කතාව මොකක්ද?
ගයාත්‍රිටයි මටයි අර වගේ කතාවක් හදපු අයම තමයි මාව මේ ඇමැතිවරයාට සම්බන්ධ කළේත්. මට එය ඔප්පු කරන්නත් පුළුවන්. එයාලා ගාව නැති දෙයක් මොනවා හෝ මං ගාව තියෙන නිසානේ මට මෙවැනි කතා හදන්නේ. ඒ ගැන මට සතුටුයි. මම මෛත්‍රි කරනවා ඔවුනට.


දෙවියනේ ටජ් මහලක් හැදුවානම් අර මුම්ටාස් වෙනුවෙන් මම වෙනුවෙන් කෝච්චියක් දාපුවම මම මොකක්ද කරන්නේ. කවුරුහරි කිව්වොත් අන්න නයනා අහවලා ඔයා වෙනුවෙන් ටජ් මහලක් හදනවා කියලා අම්මෝ, අයියෝ කියලා මම කෑ ගහන්නේ නෑ. මම වෙනුවෙන් කෝච්චි නෙමෙයි, ටජ්මහල් හැදුවත් මට මොකද? මම මොනවා කරන්නද ඒකට නංගී

දක්‍ෂතාවය අනුව පෙළගස්වන්න. නෙහාරා පීරිස්, චතුරිකා පීරිස්, උදයන්ති වර්ණකුලසූරිය, පබෝදා සංදීපනී.
1. පබෝධා 2. චතුරිකා 3. නෙහාරා 4. උදයන්ති

කඩවසම්කම අනුව පෙළ ගස්වන්න. සුරාජ් මාපා, හේමාල් රණසිංහ, පුබුදු චතුරංග, රොෂාන් රණවන.
ම් ම් ම්....
1. රොෂාන් 2. හේමාල් 3. සුරාජ් 4. පුබුදු

දක්‍ෂතාවය අනුව පෙළගස්වන්න.
සම්පත් ජයවීර, ජගත් මනුවර්ණ, බිමල් ජයකොඩි, රොෂාන් රවීන්ද්‍ර 1. බිමල් 2. රොෂාන් 3. සම්පත් 4. ජගත් - ජගත්ගේ නිර්මාණ ගොඩක් අපිට දකින්න ලැබිලා නැහැ, ඔහුත් දක්‍ෂ නළුවෙක්.

ලංකාවේ වර්තමානයේ ඉන්න සරාගීම නිළිය කවුද?
මට නම් එහෙම කවුරුවත් පෙනිලා නෑ. ලංකාවේ නිළියෝ ඉන්නවා. ඒත් සරාගී වෙන්න කියා ඇඟ පත දැක්කම නිකන් දරුවෝ හතර පහ ඉන්න අම්මලා වගේ.


නයනා අක්කට ඉන්දියාවේ මෙන්න මේ නළුවෝ විවාහ යෝජනා ගේනවා. අමීර් ඛාන්, ෂාරුක් ඛාන්, ෂාහිඩ් කපූර්, රන්බීර් සිං, කාගේ යෝජනාවද භාර ගන්නේ?
අම්මෝ ෂාරුක්, ෂාරුක්, මට ඕනා ෂාරුක්ව,

එතකොට සැමියා සුමිත්?
එයාටත් ඉන්න කියනවා, මොකද ඉතින් ෂාරුක් මාත් එක්කම ඉන්න එකක් නැහැනේ. ඉන්දියාවටත් ගිහින් මෙහෙටත් ඇවිත් ඉන්නවා එහෙම වුණොත්,

නයනා අක්කගේ සැමියා කියනවා. 'නයනා දැන් මට මේ කසාදෙ ඇති. මට ඔයාගෙන් වෙන් වෙන්න ඕනෑ කියලා, මොකද කරන්නේ?
ඕක මමයි කියන්න ඉන්නේ. ඇයි අනේ අවුරුදු 09 විතර ඹ්ධමඥ කළා, කසාද බැඳගත්තා. ඇතිනේ දැන් ඔය අවුරුදු 20ක් විතර හිටියා.

ආදරේ කරලා විවාහ වුණා, පෙම්වතිය කාලේ හිටපු නයනා බිරිය තුළත් ජීවත් වෙනවාද?
නැහැ. අපි අවුරුදු 09 බොහොම සුන්දර විදියට ආදරය කළා. ඒ කාලේ අපිට හැමදේම බොහොම සුන්දරව පෙනුණා. තුරුල්වෙලා ආදරෙන් ඉන්න හිතුණාම කාමරයේ Fan එකක් තියෙනවද නැද්ද වැදගත් නෑ. දාඩිය දාගෙන හරි ළඟ ඉන්නයි ඕනෑ. නමුත් දැන්, අපි විවාහ වෙලා, අද AC එක නැතිව නිදා ගන්න බෑ. සුමිත් කියන්නේ හොඳ කෙනෙක්, නමුත් ඔහු එක්කෙනෙක් මම තව කෙනෙක්, අපි අතරත් නොගැළපීම්, අඩු පාඩු තියෙනවා, හැමෝටම එහෙමයි, කවුරුහරි එහෙම නෑ කිව්වොත් ලොකු බොරුවක්.


දරුවෙක් ලැබුණාම අපි දෙන්නගේ ආදරේට වඩා අපේ ලෝකේ වෙන්නේ ඒ දරුවා. හැමදේම දරුවා වෙනුවෙන්, කන බොන දේ පවා අපි ගන්නේ අපිට නෙවේ දරුවාට, එයා කාලා ඉවර වෙලා තමයි ඉතිරි වුණොත් මම ඒ දේ සමහර වෙලාවට කන්නේ, ඉතින් මේ හැමදේම බොහොම සාමාන්‍යයි. ආදරය කියන දේ විවාහයත් සමඟ එන්නේ වෙනම තලයකට. මේක තමයි යථාර්ථය. එදා මම පෙම්වතිය, නමුත් අද මට පෙම්වතිය වෙන්න බෑ. මේකට මුහුණ දෙන්න ඕනෑ.


අරුණි මල්ලවාරච්චි
 
Related Posts with Thumbnails