Ads 468x60px

.

ශ්‍රී දළදා මාලිගයේ 'සොරකම' යන්න හතරමායිමක වත් තිබිය යුතු නැති බව.

දළදා වහන්සේ රැකීම 
හා පන්සිල් කැඩීම

බෞද්ධාගමිකයන්ගේ මුදුන් මල්කඩ ලෙස සැලැකෙන ශ්‍රී දළදා මාලිගාවේ දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයට ඉකුත්දා කැඳවා තිබුණේ දළදා මාලිගාවේ සිදුවී ඇතැයි කියන මූල්‍ය අක්‍රමිකතා සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීමටය.

ශ්‍රී දළදා මාලිගාවට ලැබුණු මුදල් හා සම්පත් අයුතු ලෙස පරිහරණය කර ඇති බවට දියවඩන නිලමේවරයාට විරුද්ධව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට පැමිණිලි කර තිබුණේ දූෂණ විරෝධී පෙරමුණය. 


අදාළ පැමිණිල්ලේ සඳහන් චෝදනා කලෙක සිටම නිලංග දෑල බණ්ඩාර මහතාට එල්ල වී තිබිණි. සියලු චෝදනා ගොනුවක් ලෙස අල්ලස් කොමිසමට ඉදිරිපත් වීම නිසා දියවඩන නිලමේවරයා කැඳවා ප්‍රශ්න කිරීමට සිදුවී ඇත.

මහනුවර 'ඇසළ පෙරහර භාරය' පනතේ වගන්තිවලට පටහැනිව යමින්, මහාභාරකාරවරයාගේ හා පෙරහර මණ්ඩලයේ අවසරයකින් තොරව පෞද්ගලික සමාගම් 25කින් මුදල් රැස් කිරීම, දියවඩන නිලමේගේ

බලතල ඉක්මවා යමින් දළදා මාලිගාවට අයිති උඩගෙදරවත්ත කොටස් කර විකිණීම, 'දළදා අරමුදලේ' මුදල් අයථා පරිහරණය, දළදා වහන්සේට පූජා කරන රන් භාණ්ඩ තමන් සතු කර ගැනීම, නිලංග දෑල බණ්ඩාර මහතාට එල්ල වී ඇති චෝදනා අතරවේ.

ශ්‍රී දළදා මාලිගාවට පමණක් නොව දිවයිනේ ප්‍රකට ආගමික සිද්ධස්ථාන වලට බැතිමත්හු මුදල් ඇතුළු විවිධ දේ විශාල ලෙස පූජා කරති. මේ සිද්ධස්ථාන වල දේපොළ හා සම්පත් පරිහරණයේදී සිදුවන අක්‍රමිකතා ඇතැම් විට අනාවරණය වේ. රනින් සෑදූ 'දේවාභරණ' පවා අතුරුදන්වූ අවස්ථා ද, නැතිවූ 'දේවාභරණ' දේවාලයේ 'කපු මහතා' ළඟ තිබී හමුවූ අවස්ථාද තිබේ.

ශ්‍රී දළදා මාලිගාවේ දියවඩන නිලමේට එල්ලවී ඇති චෝදනාවල සත්‍ය-අසත්‍යතාව කෙසේ වුවද මෙවැනි චෝදනා එල්ලවීමෙන් කැළැල් වන්නේ බෞද්ධාගමික විශ්වාසයට අනුව ගෞතම බුදුන් වහන්සේගේ 'දක්ෂිණ හකු ධාතුව' වැඩසිටින ශ්‍රී දළදා මාලිගාවේ කීර්තිනාමයටය. 


බැතිසිතින් දළදා වහන්සේට පූජා කරන දෑ පෞද්ගලික පරිහරණයට ගැනීම උන්වහන්සේට කරන අගෞරවයකි. සාංඝික දේ පරිහරණය කරන ගිහියන් බලු කපුටන් වන බව බෞද්ධාගමිකයෝ විශ්වාස කරති. එනිසා සාංඝික දේවලට අත තැබීමට එකල ගැමියෝ බිය වූහ. 

එහෙත් දියවඩන නිලමේ නිලංග දෑල බණ්ඩාරගේ මිනිකූපර් වර්ගයේ මෝටර් රියේ අගුළු බැනර් ඇතුළු බාහිර කොටස් අලංකාර කර තිබෙන්නේද දළදා වහන්සේට බැතිමතුන් පූජා කරන රත්රන් යොදාගෙන බව අල්ලස් හෝ දූෂණ වංචා විමර්ශන කොමිසමට කර ඇති පැමිණිල්ලේ සඳහන්ව ඇත. චෝදනාව සත්‍ය නම් තත්ත්වය බරපතළය.

දළදා වහන්සේට පූජා කරන සියලු දෑ ශ්‍රී දළදා මාලිගාවේ ලේඛනගත විය යුතුය. එහෙත් මේ ලේඛනවල සියලු 'පූජා' අන්තර්ගත වී ඇත්දැයි යන්න ප්‍රශ්නයකි. නිලංග දෑල බණ්ඩාරට පෙර සිටි දියවඩන නිලමේවරුන් යටතේ මේ ලේඛන නිසියාකාරව පවත්වාගන ගියාද යන්න ගැන නිශ්චිත තොරතුරු නැත. 


කෙසේ වුවද නිලංග දෑල බණ්ඩාර මහතාට එල්ලවී ඇති චෝදනා කඩිනමින් විමර්ශනය කර නොපමාව ඇත්ත යුත්ත රටට, විශේෂයෙන් බෞද්ධාගමිකයන්ට දැනගැනීමට සැලැස්වීම බලධාරීන්ගේ වගකීමකි. 

සොරකම් නොකිරීම පන්සිල් පදවලින් එකකි. දළදා වහන්සේආරක්ෂා කිරීමේ වගකීම පන්සිල් නොරකින්නන්ට භාරදීම බෞද්ධාගමිකයන් අනුමත කරන්නක් නොවේ. බෞද්ධාගමිකයන්ගේ මුදුන් මල්කඩ වන ශ්‍රී දළදා මාලිගයේ 'සොරකම' යන්න හතරමායිමකවත් තිබිය යුතු නැත.
 
Related Posts with Thumbnails