Ads 468x60px

.

මේ වල් කතාවේ අපි නො දන්නා හරිය


රටට අලුත් ආණ්‌ඩුවක්‌ පත් කර ගන්නට ජනතාව තීරණය කළේ පරණ ආණ්‌ඩුවේ කොතැනක හෝ 'වරදක්‌' දුටු නිසා ය. අලුත් ආණ්‌ඩුව පත්වන්නේ රටේ යහපත වෙනුවෙන් බොහෝ සැලසුම් සහ ව්‍යාපෘති ඉදිරිපත් කරමිනි. එහෙව් ආණ්‌ඩුවක වංචාවට දූෂණයට ඉඩක්‌ නැත. අක්‍රමිකතාවකට ඉඩක්‌ නැත.

එහෙත් සිදුවන බොහෝ දේ යහපාලනයට ගැලපෙන්නේ නැත. එක්‌ සිදුවීමක්‌ මුල්කර ගනිමින් ආණ්‌ඩුවක්‌ පෙරළන්නට සූදානම් වන්නේ

යෑයි සැක සංකා ඇති කරගන්නට ඉක්‌මන් නොවන්න. ජනතා බලාපොරොත්තුව පොඩි හෝ වරදක්‌ නොදැකීමය.

කතාවට අදාළ සිදුවීම වන්නේ තහනම් වල් නාශක කන්ටේනර් 15 ක්‌ මුදා හැරීමේ සිදුවීමයි. මෙම තහනම එසේ මෙසේ එකක්‌ නොව බරපතළ එකකි. වකුගඩු ආසාදන ඇති කිරීමේ ඉඩක්‌ පවතින ග්ලයිපොසෙට්‌ (GLYPHOSATE) නම් වල් නාශකය මේ කන්ටේනර් 15 තුළ තිබුණු බව ආරංචි මාර්ගවලින් කියෑවිණි. එම කන්ටේනර් 15 තුළ කිලෝ දෙලක්‍ෂ තිස්‌හයදහස ඉක්‌මවන තහනම් වල් නාශක ප්‍රමාණයක්‌ තිබී ඇත.

තහනම් වල්නාශක තොගය ඉන්දුනීසියාවේ සිට ආනයනය කර ඇත්තේ මෙරට ප්‍රමුඛතම ව්‍යාපාරික ආයතනයකිනි. තහනම් වල් නාශක තොගය මුදාහැරීමේ වල් වැඩේට පූර්ණ අවසරය ලබා දී ඇත්තේ කෘෂිකර්ම අමාත්‍යාංශයෙනි. මෙම අවසරය නිසාම තොගය පිටින්ම මුදාහැරීමට රේගුවට සිදුව ඇති බව කියෑවේ.

වගකිවයුතු අමාත්‍යාංශයක්‌ 'තහනම්' යෑයි නිර්දේශ කර ඇති වල් නාශක ගෙන්වීමට අවසර ලබාදීම බරපතළ කාරණයක්‌ බව අමුතුවෙන් කිව යුතු නැත. පසුගිය කාලය පුරාම උතුරු මැද පළාතේ වකුගඩු රෝගීන් විශාල වශයෙන් ව්‍යාප්ත වන්නට පටන් ගත් දිනවලම මෙම තහනම් වල් වැඩේ ගැන කතාබහ මතු විය. තහනම් වල් නාශක ගෙන්වීමට වැට බැඳිණි. දැන් නැවතත් පැරැණි මිතුරා කඳවුරු බඳින්නට සූදානම් ය.

ගෙන්වන තැනැත්තා හිතවතෙක්‌ නම් ඔහුට චාන්ස්‌ එක දී ඕනෑම කුණු ගොඩක්‌ රටට ගෙන ඒමේ යුගය අවසන් යෑයි පසුගිය දිනවල ජනතාව කල්පනා කරන්නට ඇත. එහෙත් ගෙඩි පිටින් සිදුවන්නේ ඒ ක්‍රියාවලියම ය.

තහනම් කරන ලද වල් නාශක කන්ටේනර් 15 ක්‌ මෙරටට ගෙන්වීමත් රේගුවෙන් මුදා හැරීමත් අහඹු කාරණයක්‌ නොවේ. ඊට මැදිහත් වූ ආයතනයේ හිමිකරුවන් කවරෙක්‌ ද යන්න නොපමාව සොයා බලා අත්අඩංගුවට ගැනීම කළ යුත්තකි. 


එමෙන්ම අදාළ අමාත්‍යාංශයෙන් මේ සඳහා අවසර ලබා දී ඇත්තේ කවරෙක්‌ද?. කවර හේතුවක්‌ නිසාද යන්න සොයා බැලීම ද අනිවාර්ය ය.

මේ වල් කතාවේ අපි නො දන්නා හරිය ගැන ඉන්තේරුවෙන්ම එවිට හෙළිවනු ඇත. මේ සඳහා අවසරය ලබා දුන් නිලධාරියා එක්‌කෝ කාට හෝ බියවීම නිසා ඒ අවසරය ලබා දුන්නා විය හැකිය. එසේ නැතහොත් අවසරය ලබාදීමට නොසුදුසු පුද්ගලයකු ඒ පුටුවේ හිඳිනවා වන්නට නැතිනම් සුපුරුදු පරිදි 'අතයට ගනුදෙනුවක්‌' සිදුවනවා වන්නට පුළුවන.

මේ 'තහනම්' බඩු රටට ගෙන ඒමේ ක්‍රියාවලියට වැට බැඳීම උදාසීනව සිදුවන්නක්‌ බව අමුතුවෙන් කිව යුතු නොවේ. උතුරු මැද පළාතේ පමණක්‌ නොව රට පුරා බොහෝ ප්‍රදේශවල දරුණු ලෙස වකුගඩු රෝගය පැතිර යැමේ අවදානමක්‌ තිබියදීත් මෙවැනි දේ සිදුවීම එතරම් හිතකර තත්ත්වයක්‌ නොවේ.

ප්‍රකාශ ලබා ගැනීමත්, අත්අඩංගුවට ගැනීමත් විලාසිතාවක්‌ වී ඇති රටක මේ පිළිබඳව සොයා බලන්නට 'ඉක්‌මන් වීම' අලුත් ආණ්‌ඩුවේ වගකීමක්‌ බව අපි විශ්වාස කරමු. වල් නාශක මෙරටට ගෙන්වන්නේ බෝග වගාව (කෘෂිකර්මාන්තය) සඳහාය. 


රටේ ජනාධිපතිවරයා කෘෂිකාර්මික සංස්‌කෘතිය කෙරෙහි බෙහෙවින් ලෙන්ගතු චරිතයකි. මේ කන්ටේනර් 15 මුදාහැරීම ගැන ''වහාම පරීක්‍ෂණයක්‌ කරන්නට" යෑයි කියන්නට ඔහු තවමත් ප්‍රමාද වීම ගැන කනගාටු වෙමු.

එසේ නැත්නම් අපට කියන්නට වෙන්නේ පැකින් නොකැඩූ ආණ්‌ඩුවේ පරණ බඩුවල කුණු ගඳ තවමත් එන බව පමණය.
 
Related Posts with Thumbnails