Ads 468x60px

.

කෝටි අටක්‌ වටිනා හෙරොයින් ඇල්ලුවාට තෑගී ලෙස ස්ථාන මාරු දුන් වයඹ පොලිස්‌ ප්‍රධානියා

කොළඹින් පැමිණි පොලිස්‌ මත්ද්‍රව්‍ය නාශක අංශය මගින් කෝටි අටක්‌ වටිනා හෙරොයින් කිලෝ 8.528 ක්‌ අත්අඩංගුවට ගැනීමේ සිද්ධියත් සමඟ මාරවිල පොලිසියේ දූෂණ මර්දන ඒකකයේ ස්‌ථානාධිපති, උප පොලිස්‌ පරීක්‍ෂක ඇතුළු තිදෙනකු වහාම ක්‍රියාත්මක වන පරිදි 12 දා රාත්‍රි සිට ස්‌ථාන මාරුකර ඇත.

උප පොලිස්‌ පරීක්‍ෂකවරයා පුත්තලමටත්, බුද්ධි අංශයේ කොස්‌තාපල් වරුන් දෙදෙනා වනාතවිල්ලුවට සහ නවගත්තේගමටත් මාරු කිරීමට වයඹ පොලිස්‌ ප්‍රධානියකු විසින් නියෝග කර තිබේ.

එක්‌තරා පූජකවරයකු විසින් මෙම හෙරොයින් පිළිබඳ ඔත්තුව හලාවත පොලිස්‌ කාර්යාලයක ප්‍රධානියකුට ලබාදී ඇතත් ඔහු සාදයක සිටින

බැවින් ඒ පිළිබඳව සොයා බැලීමට උත්සුක වී නැතැයි පැවසේ. පසුව පූජකවරයා කොළඹ මත්ද්‍රව්‍ය නාශක අංශයට ඒ පිළිබඳව දැනුම් දී ඇති බව කියයි.

දිගු කලක සිට බීඩි කොළ, රෙදිපිළි, විදුලි උපකරණ ආදි හොර බඩු ඉන්දියාවෙන් මෙරටටත්, මෙරටින් පොල්තෙල්, කරාබුනැටි, එනසාල් වැනි දැ ඉන්දියාවටත් රහසිගතව ප්‍රවාහනය කළ තොඩුවාව වෙරළ තීරය ඉතා හුදකලා ස්‌ථානයකි. මෑතක සිට මත්ද්‍රව්‍ය ගෙනඒම, බෝට්‌ටු මගින් මිනිසුන් රට පැටවීම මෙහි සිදුවන බව කියති.

මෙවැනි තත්ත්වයන් නිරීක්‍ෂණය කර මෙහි පොලිස්‌ මුර පොළක්‌ පවත්වාගෙන යාමට හෝ නිතර ගොඩබිම දිවෙන ජංගම රථ සේවාවක්‌ සහ මුහුදේ බෝට්‌ටු තෙප්පන් පරීක්‌ෂා කිරීමට පොලිස්‌ බෝට්‌ටු සේවාවක්‌ පවත්වාගෙන යැමට හෝ මෙතෙක්‌ කටයුතු කර නැත.
 
Related Posts with Thumbnails