Ads 468x60px

.

ශ්‍රී ලංකාවේ ජනමාධ්‍ය ක්ෂේත්‍රයේ හැරවුම් ලක්ෂයක්

ශ්‍රී ලංකාවේ ජනමාධ්‍ය සංස්කෘති ය තුළ එදා හා අද අතර වෙනස කෙබඳු ද? එය අනාගත පරම්පරාවේ දැනගැනීම සඳහා ලියා තැබිය යුතුය. 

එදා යන්නෙන් අප අදහස් කරනුයේ 2015 ජනවාරි 08 දාට පෙර වසර කිහිපයයි. අද යනු අප අදහස් කරනුයේ 2015 ජනවාරි 08දායින් පසු මාස කිහිපයයි‍. 

එදා වෘත්තීය පත්‍රකලාවේදීන්ගේ සංගමයේ ලේකම් පෝද්දල ජයන්ත මහතා සුදු වෑන් එකක කුදලාගෙන ගොස් ඔහුගේ කකුල් දෙකම කඩා දැළි පිහියෙන් කොණ්ඩය කපා කෙස් කටේ එබුවේය. පෝද්දල ජයන්ත කාණුවකට වීසිකොට සුදුවෑන් එක යන්නට ගියේය‍.

පෝද්දල ජයන්ත පාරේ ගමන් ගත් මිනිසුන් කිහිපදෙනෙකුගේ ආධාර යෙන් ජීවිතය බේරා ගත්තේය. එහෙත් අදටත් ඔහු අබ්බගාතයෙකි.

වෘත්තීය පත්‍රකලාවේදීන්ගේ සංගමයේ සභාපති සනත් බාලසුරිය මහතා දින ගණනාවක් තැන - තැන සැඟ වී සිට අමාරුවෙන් රට පැන්නේ ය. 

අදටත් ඔහු පිටරට ය. මේ දෙදෙනා ම තමන්ගේ වෘත්තිය වෙනු‍ෙවන් පෙනී සිටි දක්ෂයෝ ය. සිදු කළ එකම වරද එදා ආණ්ඩුවට කඩේ නො යෑම ය. ඇතැම් වැරැදි විවේචනය කිරීම ය. එදා විවේචනයට ඉඩක් තිබුණේ නැත. නිදහසට ඉඩක් තිබුණේ නැත. මේ අනුව පත්තරකාරයෝ සිය ගණනක් රට හැර ගියහ. ඒ ජීවිතාරක්ෂාව සඳහා ය.

ජනමාධ්‍ය වේදියාගේ පරමාර්ථය දේශපාලකයන් වෙනුවෙන් කඩේ යෑම ද? ඔවුන් පුම්බා ඔසොවා තැබීම ද? ඇත්ත - නැත්ත කිරීමද? යුද්ධයක් වෙනුවෙන් පෙනී සිටීම ද? ජාතිවාදය වැපිරීම සඳහා තම පෑන හැසිරවීමද? 


සැකයකින් තොරව කිව හැක්කේ එදා ආණ්ඩුවේ බලධරයන් ජනමාධ්‍ය වේදීන් වෙතින් ඒ සියල්ල අපේක්ෂා කළ බව ය. ඒ දේවල් පසුපස ගිය අයට වරදාන ලැබිණි. වැඩි පඩි ලැබිණි. තනතුරු ලැබිණි. 

පුදුමයකට මෙන් රාජ්‍ය මාධ්‍ය ආයතන පමණක් නොව; පෞද්ගලික මාධ්‍ය ආයතන පවා මේ බලපෑමට යටත් විය. මේ යථාර්ථය ඉදිරියේ මිනිසුන් වෙනුවෙන් හඬක් නැඟූ මාධ්‍යකරුවා සොයාගෙන පැමිණියේ බයිසික‍ල් චේන් ය. නැතහොත් මරණීය තර්ජන හෝ සුදු වෑන් ය.

ශ්‍රී ලංකාවේ ජනමාධ්‍යවේදියා හෙවත් පත්තරකාරයා යනු අහිංසක වෘත්තිකයෙකි. ඔහුට වෘත්තීයභාවයක් නැත. පිළිගත් වැටුප් පටිපාටියක් නැත. ඔහු සිහින දකින මිනිසකු ලෙස හැමදා ම ජීවත් විය. 


තමන්ගේ ම නිවසක්, හොඳ වැටුපක්, ඉගෙනීමට ශිෂ්‍යත්වයක්, ගමන් - බිමන් සඳහා පුංචි වාහනයක් ඒ සිහින අතර තිබිණි. බලවත් ම සිහිනය වූයේ තමන්ගේ ම නිවසකි. මේ සිහින හා අපේක්ෂාවන් ගැන කතා කරන දේශපාලකයෙක් අපට 2015 ජනවාරි 08දායින් පසු මුණ ගැසිණි. 

ඔහු වත්මන් ජනමාධ්‍ය අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා ය. ඔහු එදා මගේ සිහිනය මාධ්‍යවේදියාට නිවෙසක හිමිකාරිත්වය ලබාදීම බව කීවේය. අද ඒ සිහිනය යථාර්ථයක් වන ලකුණු පහළකරයි.

ජනමාධ්‍ය අමාත්‍යවරයා ඊයේ හෝමාගම, දියගම දී ජනමාධ්‍යවේදීන්ගේ සිහිනයක් සැබෑ කිරීමට අපූරු පියවරක් ගත්තේ ය. ඒ ශ්‍රී ලංකාවේ ජනමාධ්‍යවේදීන් සඳහා රටේ ඉදිකරන විශාලම නිවාස සංකීර්ණයට මූලික කටයුතු සම්පාදනය කිරීම ය. ගුවන්විදුලිය සංස්ථාවට අයත් අක්කර 120ක පමණ භූමි ප්‍රමාණය ඒ සඳහා ලබාදී තිබේ. 


ඒ ගැන ගුවන් විදුලිය සංස්ථාවට අපගේ කෘතඥතාව හිමිවිය යුතු ය. මෙය අංගසම්පූර්ණ නිවාස සංකීර්ණයක් ලෙස ඉදිකිරීම අමාත්‍යවරයාගේ ඉලක්කය වී තිබේ. කොටස් වශයෙන් ගෙවීමේ පදනම මත මේ නිවාස ලබාගත හැකි ය. 

මාධ්‍යවේදියාට ලැප්ටොප්, වෙනත් සන්නිවේදන උපකරණ අඩු‍ පොලී වාහන ණය ලැබුණ ද ඒ සියල්ලටම වඩා නිවසක හිමිකම අගනේය.

ජනමාධ්‍ය ක්‍රියාවලිය ද නිර්මාණවේදයකි. ඒ සඳහා නිදහස තිබිය යුතු ය. පහසුකම් තිබිය යුතුය. කොළඹ පැමිණ වැඩ කරන පත්තරකාරයන් කෝච්චි ස්ටේෂන්වල ද, කඩපිල්වල ද නිදාගෙන රැය පහන් කරන අයුරු අප දැක තිබේ. තවත් සමහරුන් පන්සල්වල ද, කෝවිල්වල ද රැය පහන් කරන අයුරු අප දැක තිබේ. 


ජනමාධ්‍යවේදියා ඇත්ත වෙනුවෙන් ද, පොදු මිනිසා වෙනුවෙන් ද හඬක් නැඟීම සඳහා මෙසේ දුක් විඳින බව එදා දේශපාලකයන් වටහා ගත්තේ නැත. එබැවින් ශ්‍රී ලංකාවේ ජනමාධ්‍ය වේදියා අන්ත අසරණයකු බවට පත්විය.

වත්මන් දේශපාලන වෙනස ජනමාධ්‍ය සංස්කෘතියේ පැහැදිලි වෙනසක් සඳහා හේතු-සාධක වූ බව සත්‍යයෙකි. අද ජනමාධ්‍ය ‍රටේ ප්‍රධාන පුරවැසියාගේ බලපෑමෙන් නිදහස් ය. පවුල්වාදයෙන් ද නිදහස් ය.


ඒකාධිපති පාලනයෙන් ද නිදහස් ය. එම නිදහස කෙතරම් ද යත්; ජනාධිපතිවරයා විවේචනය කිරීමේ අවස්ථාව ජනමාධ්‍යවලට තිබේ. අගමැතිවරයා විවේචනය කිරීමේ අවස්ථාව ද ජනමාධ්‍යයට තිබේ. 

ඒ පමණකින් නො නැවතී හිටපු ජනාධිපතිවරයාගේ බෝධි පූජා හා වන්දනා චාරිකා ජනමාධ්‍ය මගින් විකාශය කිරීමේ හැකියාව ද අද පවතී. මේ මාධ්‍ය නිදහස ලැබී ඇත්තේ ජනාධිපතිවරයාගේ, අගමැතිවරයාගේ හා ජනමාධ්‍ය අමාත්‍යවරයාගේ ආශිර්වාදය මත බව ද අමතක කළ යුතු නැත.

ජනමාධ්‍යවේදියා වෘත්තිකයකු බවට පත් කිරීම ද ඔහු දෙපයින් නැඟී සිටිය හැකි පුරවැසියකු බවට පත් කිරීම ද අවශ්‍යයෙන් ම සිදු විය යුත්තකි. පසුගිය ආණ්ඩු ගණනාවක් ම මේ සත්‍යයට මුහුණ දුන්නේ නැත. පොදුවේ ජනමාධ්‍ය ගැන සැලැකුවේ ද නැත. දැන් එහි වෙනසක් සිදු වී තිබේ. 


එක අතෙකින් ජනමාධ්‍යයට අවශ්‍ය නිදහස තහවුරු කරමින් සිටින අතර තව අතෙකින් මාධ්‍යවේදියාට අවශ්‍ය සුබ-සාධනය සම්පාදනය කිරීමට පියවර ගනිමින් සිටී. මේ පාර්ශ්ව දෙකම අපේ රටේ ජනමාධ්‍යයේ උන්නතියට හේතුවන බව කිව යුතු ය.

දැන් සුදු වෑන් වෙනුවට ගෙවල් ලැබෙනු ඇත. චේන් ප්‍රහාර වෙනුවට පැසසුම් ලැබෙනු ඇත. මරණීය තර්ජන වෙනුවට වෙනත් පහසුකම් ලැබෙනු ඇත. ශ්‍රී ලංකාවේ ජනමාධ්‍ය ක්ෂේත්‍රයේ හැරවුම් ලක්ෂයක් ලෙස මේ කාලය පෙන්වා දිය හැකි ය.
 
Related Posts with Thumbnails