Ads 468x60px

.

ගිය ආණ්ඩුවේ මැති - ඇමැතිවරුන් විවේචනය කර "ත්‍රිල්" එකක් ගැනීමේ මානසික ලෙඩක් අපට නැත


නිකමට මෙන් මෙබඳු ප්‍රශ්නයක් අසන්නට පුළුවන. කොළඹ ජාතික රෝහල මහ ජනතාවගේද? නැතහොත් දේශපාලකයන්ගේ ද? සාධාරණ හා සදාචාරාත්මක පිළිතුරක් ලබා දුනහොත්; එය මහජනතාවට මෙන් ම දේශපාලකයාට ද සේවය ලබා දෙන පොදු ස්ථානයක් ලෙස හඳුන්වා දෙන්නට පුළුවන. නිකමට මෙන් තවත් ප්‍රශ්නයක් අසන්නට පුළුවන. 

කොළඹ ජාතික රෝහලේ ගෙවන වාට්ටු මහ ජනතාවගේ ද නැතහොත් දේශපාලකයන්ගේ ද? ඊට ද යුක්ති සහගත පිළිතුරක් ලබා දුනහොත්; මේ දෙපිරිසටම ගෙවන වාට්ටු අයත් වන්නේ යැයි කිව හැකි ය.

කොළඹ රෝහලේ ගෙවන වාට්ටු පිළිබඳ ඇත්ත කතාව තව නොබෝ දිනකින් වෙනස් වනු ඇත යන්න අපගේ පිළිගැනීම ය. තව වැඩි කාලයක් යන්නට පෙර එය දේශපාලකයන්ගෙන් පිරී යනු ඇත. මහජනයාගෙන්

කෙනකුට එහි ඇඟිල්ලක් ගසන්නවත් ඉඩක් නොතිබෙනු ඇත. 

එවිට ප්‍රශ්නය පැන නගින්නේ දේශපාලකයන් මේ තරමටම රෝගීන් ද යන්න ය. දේශපාලකයා මහ රෝහලේ ගෙවන වාට්ටුවට යන්නේ ඇත්ත ලෙඩකට නො ව ; හොර ලෙඩකට ය. ඇත්ත ලෙඩක් ඇතොත්; ඔව්හු සිංගප්පූරුවේ ‍සුපිරි රෝහලකට යති. නැතහොත් ලන්ඩන් රෝහලකට යති. එහෙත් හොර ලෙඩවලට මහ රෝහලේ ගෙවන වාට්ටුවට යති.

ගෙවන වාට්ටු පිළිබඳ සිද්ධිය පසු පස තවත් කතාන්දරයක් තිබේ. එය මෙලෙස පැහැදිලි කරගත යුතු ය. දූෂණ හා අක්‍රමිකතා සම්බන්ධයෙන් චෝදනා ලැබූ දේශපාලකයන් විශාල ප්‍රමාණයක් ගැන ද, උසස් නිලධාරීන් විශාල ප්‍රමාණයක් ගැන ද පරීක්ෂණ පැවැත්වෙයි. 


නැතහොත් නීතිය ක්‍රියාත්මක වෙමින් පවතී. මේ අනුව ඇතැම් දේශපාලකයන් ද ඇතැම් නිලධාරීන් ද රිමාන්ඩ් ගත කළ යුතු යැයි අධිකරණය කියයි. රිමාන්ඩ් ගත වීමෙන් වැළකිය හැකි එක ම ක්‍රමය හදිසියේ ලෙඩ වීම ය. ලෙඩ වී මහ රෝහලේ ගෙවන වාට්ටුවට යෑමය. දැන් මෙය සාමාන්‍ය දෙයක් බවට පත් ව තිබේ.

සරල නිදර්ශනයක් දක්වන්නට පුළුවන. හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා චුදිත දේශපාලකයෙකි. ඔහු ජනාධිපතිවරණයෙන් පසු අමෙරිකාවට පැන යන අතර ශ්‍රී ලංකාවේ පැවැත්වෙන පරීක්ෂණවලට කට උත්තර ලබා ගැනීම සඳහා නැවත මවුබිමට ගෙන්වා ගැනිණි. 


ඔහු ගුවන් යානයෙන් බිමට බැස්සේ ඉතා නිරෝගී පුද්ගලයකු හැටියට ය. ඔහු ඉක්මන් ගමනින් ඇවිදගෙන ගියේ ය. පරීක්ෂණයට කට උත්තර දීම සඳහා ද එම ගමනින් ම ගියේ ය. උසාවියට ද පයින් ගියේ ය. කිසිදු රෝගයක සලකුණක් බැසිල් මහතා ළඟ තිබුණේ නැත. 

එහෙත් උසාවි නියෝගයත් සමඟ ඔහු හදිසියේ ම අඩපණ විය. බැසිල් මහතා උසාවියෙන් එළියට ආවේ රෝද පුටුවක ආධාරයෙන් ය. ගෙවන වාට්ටු දේශපාලකයන්ගෙන් පිරී යාම පිළිබඳ කතාන්දරය තේරුම් ගැනීමට එම නිදසුන හොඳට ම ප්‍රමාණවත් ය.

ගිය ආණ්ඩුවේ මැති - ඇමැතිවරුන් විවේචනයට ලක් කිරීමේ වුවමනාවක් අපට නැත. ඔවුනට පහර ගසා ත්‍රිල් එකක් ගැනීමේ මානසික ලෙඩක් ද අපට නැත. එලෙස ම ආණ්ඩුව වෙනුවෙන් කඩේ යෑමේ අවශ්‍යතාවක් ද අපට නැත. අප කියන මේ කතාන්දරය රාජ්‍ය මට්ටමින් සාකච්ඡා වන බව පමණක් අපට දැන ගන්නට ලැබේ. කොළඹ ජාතික රෝහලට වසර 150ක් සපිරීම නිමිතිකොට නිල උත්සවයක් පසුගිය දා පැවැත්විණි.

මේ උත්සවයේ ප්‍රධාන ආරාධිතයා වූයේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ය. උත්සවයට සමගාමී ව රෝහලේ ප්‍රගතිය සමාලෝචනය කිරීම අඩුපාඩු පිළිබඳ සාකච්ඡා කිරීම ද සිදු විය. එහි විශේෂඥ වෛද්‍යවරුන් විසින් ගෙවන වාට්ටු පිළිබඳ ගැටලුව ඉදිරිපත් කරනු ලැබ තිබේ.

ඇමැති රාජිත සේනාරත්න මහතා මෙහි දී යෝජනා කර ඇත්තේ දේශපාලකයන් සඳහා කොළඹ මහ රෝහල තුළම වෙන වාට්ටුවක් එනම්; ගෙවන වාට්ටුවක් ස්ථාපිත කළ යුතු බව ය. මේ ගෙවන වාට්ටුව චුදිත දේශපාලකයන් සඳහා ඇතැම් විට එම දේශපාලකයන්ගේ ගෝල බාලයන් සඳහා ද වෙන් වන්නට පුළුවන. 


අපට හැඟෙන පරිදි මේ වැඩෙන් සිද්ධ වන්නේ දූෂිත හා චුදිත දේශපාලකයන්ට තවත් පහසුකමක් සපයා දීම ය. චුදිතයන් රෝගීන් නම්; ඔවුන් රිමාන්ඩ් ගත කළ යුතු නම්; ඒ අය යා යුත්තේ බන්ධනා ගාරයේ රෝහලකට ය. එහි වෛද්‍යවරු සිටිති. බෙහෙත් හා අවශ්‍ය උපකරණ ද තිබේ.

මේ කතාන්දරය පසුපස තවත් ගැටලු ගණනාවක් තිබේ. එක නීතිය කාටත් සාධාරණ ද යන්න ය. දෙක දේශපාලකයන්ගේ හොර ලෙඩවලට වෛද්‍ය සහතික ලබා දෙන්නේ කවු ද යන්න ය. තුන රිමාන්ඩ් බන්ධනාගාරයේ සිටිය යුතු තැනැත්තා රෝහලක ගෙවන වාට්ටුවකට යවන විට එතැන ඇති නීතිය කුමක් ද යන්න ය. 


අපගේ අදහස නම්; මේ සියල්ල නිවැරැදි විය යුතු බවය. නැති බැරි පුද්ගලයකු චුදිතයකු වූ විට වෛද්‍ය සහතිකයත් නැත. ගෙවන වාට්ටුත් නැත. එහෙත් ඇති හැකි දේශපාලකයකු චුදිතයකු වූ විට ඒ සියල්ල කණ පිට පෙරැළී ඔහුට පහසුකම් සපයන තැනකට සියල්ල පෙළ ගැසී ඇත.

ආණ්ඩුව දූෂණ, වංචා හා අක්‍රමිකතා පිටුදැකීම සඳහා බලවත් උත්සාහයක යෙදී සිටී. ඒ ගැන මහජනයා තුළ ප්‍රසාදයක් ද පවතී. ජනතාව ඒ සඳහා කෙතරම් උනන්දු ද යත්; බොහෝ ප්‍රදේශවල උද්ඝෝෂණ පැවැත්වෙයි. ඒ දූෂිතයන්ට දඬුවම් දෙනු කියමින් ය. 


එහෙත් දූෂිත හා චුදිත දේශපාලකයන් සම්බන්ධයෙන් ක්‍රියාත්මක වන ලිහිල් ප්‍රතිපත්ති ගැන මහජනයා කෝප වන දිනයක් එන්නට පුළුවන. එදාට යහ පාලනය ගැන ප්‍රශ්න කරන්නටත් පුළුවන. දූෂණ - වංචා හා අක්‍රමිකතා ගැන පරීක්ෂණ පැවැත්වීම දේශපාලන පළිගැනීම නොවේ. එබඳු චෝදනා ඇතොත්; ඒවා තඹ දොයිතුවකට සැලැකිය යුතු නැත.
 
Related Posts with Thumbnails