Ads 468x60px

.

යුද ජයග්‍රහණයට හය වසරක්‌ පිරෙන මොහොතේ


පුරා දශක තුනක්‌ අපගේ මාතෘභූමිය විනාශ කළ කොටි සංවිධානය පැරදවීම පිළිබඳ හයවන සංවත්සරය අදට යෙදී තිබේ. වසර 2009 අප්‍රියෙල් 12 වැනිදා ශ්‍රී ලංකා යුද හමුදාවේ 59 වැනි සේනාංකය වෙල්ල මුල්ලි වයික්‌කාල් ආසන්නයේ පිහිටි වට්‌ටුවාල් දිය පැන්නුම තරණය කර කොටි අඩවියට ඇතුළු වූහ. 

මේ වූ කලී තමා ඇතුළු පවුලේ අය බේරා ගන්නා ලෙස ඉල්ලමින් ප්‍රභා කරන් චන්ද්‍රිකා දුරකථන හරහා බටහිර රටවලට පණිවුඩ යවමින් සිටි කාලයයි. 

මැයි 17 වන විට ප්‍රභාකරන් ඇතුළු ත්‍රස්‌තවාදීහු පිරිස රැඳී සිටි බිම් කොටස වර්ග මීටර් 400 කට සීමා කර ගැනීමට වීරෝදාර රණවිරුවන්ට හැකි විය. මැයි 17 වැනිදා රාත්‍රි කාලයේදී ඉතිරිව සිටි කොටින් සහ රණවිරුවන්
අතර මහත් බියකරු වූද, මහත් සේ ප්‍රබල වූද සටනක්‌ ඇති විය. 

එහිදී කොටින් 450 ක්‌ විනාශයට පත්වූහ. මළසිරුරු යුද හමුදාව විසින් ගණන් කර රතුකුරුස සංවිධානයට භාරදෙන ලදී. එම සටනේදීම මියගිය නමුත් ප්‍රභාකරන්ගේ සිරුර හමුවන්නේ 19 වැනිදා පෙරවරු 10 ට ය. 

ඒ අසල කාන්තා සහ පිරිමි මළ සිරුරු තිබිණ. ප්‍රභාකරන්ගේ පුත් චාල්ස්‌ ඇන්තනි, කොටි පොලිස්‌පති නඩේසන්, මුහුදු කොටි නායක සුසෙව් යනාදීන්ගේ මළ සිරුරුය ඒ. 19 වැනිදා උදය වරුව වන විට කොටි සංවිධානයේ පළමු සහ දෙවන පෙළ නායකයන් සියලුම දෙනා පාහේ විනාශයට පත්ව තිබිණ. 

බටහිර රටවල් මේ ගැන සොටු පෙරමින් කඳුළු සැලූ නමුත් වචනයක්‌වත් කතා කළේ නැත. ප්‍රභාකරන්ගේ සිරුර හමු වූ බව 19 වැනිදා උදය වරුවේ දී ජෙනරාල් සරත් ෆොන්සේකා (මෙකල ෆීල්ඩ් මාෂල්) විසින් ප්‍රකාශ කරන ලදී. ඊළාම් යුද්ධය අවසන් වූ අතර රට පුරා සිටින ත්‍රස්‌ත විරෝධී ජනයා ජාති ආගම් භේද නොසලකා රතිඤ්ඤ පත්තු කර කිරිබත් පිසූහ.

මිනිසකු මළ විට මිනිසකු කිරිබත් පිසිය යුතුද? නැත. මිනිසකු මළ විට තව මිනිසකුට රතිඤ්ඤ පත්තු කර කැවුම් කිරිබත් උයන්නට කල්පනා වෙන්නේ මළ එකා ජීවත්ව සිටි කාලයේදී කළ කැතකම් අනුව ය. 


මළ එකා කෲර නම්, නීච නම්, පාපතර නම්, අමු අමුවේ කුඩා දරුවන් ඝාතනය කළේ නම්, බෞද්ධ භික්‍ෂූන් සංහාරය කර මුස්‌ලිම් පල්ලිවලට වෙඩි තබා දෙමළ හින්දු කෝවිල්වලට බෝම්බ ගැහුවේ නම් ඔහු දරට ගෙන කැවුම් ඉවීමට මිනිසුන් තුළ කැමැත්තක්‌ හට ගන්නේ ය. 

ප්‍රභාකරන් ජීවතුන් අතර සිටි කාලයේදී ඉතාම නීච ලෙස ජීවත් වූවෙකි. ඔහුගේ යුද නායකත්වය ඉතා පහත් මට්‌ටමේ තිබිණ. ඔහු යුද්ධයට හා ත්‍රස්‌තවාදයට අකැමැති හැම කෙනකුටම මරණ දඬුවම දුන්නේ ය. 

මේ කරන යුද්ධයෙන් ප්‍රයෝජනයක්‌ නැති බව කිවූ සිය දෙවැනියා (මහත්තයා) පොළව යට බිංගෙයක රඳවා වධ දී මැරුවේ ය. ඒ ගැන වචනයක්‌වත් හෙළි කළොත් පවුලේ ඉතිරි අය ද සංහාරය කරන බව මහත්තයාගේ බිරියට කීවේය.

දේශපාලනය යනු හොඳ දේ මෙන්ම නරක දේ ද නිෂ්පාදනය කරන ප්‍රපංචයකි. ඒ අනුව ප්‍රභාකරන් යනු දේශපාලනයේ ත්‍රස්‌තවාදී නිෂ්පාදනයකි. යුද්ධයකදී සතුරු සහ මිතුරු පාර්ශ්වවල මෙන්ම යුද්ධය පවතින බිමේ සිටින ජනයා අගතියට පත් වන්නාහ. 


තිස්‌ අවුරුදු වර්ගවාදී යුද්ධයේදී සිංහල මෙන්ම දෙමළ ජනයා ද අගතියට පත් වූහ. එදා වේල සොයා ගන්නට බැරි ඊළමක්‌ කිසිසේත්ම අවශ්‍ය නැති දුප්පත් අසරණ දෙමළ ජනයා විශාල වශයෙන් මිය ගියහ. 

ඒ මිය ගියේ අපගේ සහෝදර ජනතාව ය. ඔවුන්ට මිය යන්නට මඟ පෑදුවෝ ප්‍රභාකරන් ය. මේ මාතෘභූමිය නිදහස්‌ කරගත් යුද ජයග්‍රහණයට හය වසරක්‌ පිරෙන මේ මොහොතේ අපගේ ප්‍රාර්ථනය විය යුත්තේ කිසි කලෙකත් මේ විපත පුනරුච්චාරණය නොවේවා යන්නය.
 
Related Posts with Thumbnails