Ads 468x60px

.

සියලු ආටක නාටක අතරවාරයේ බොහෝ දෙනකුට අමතකව යන කාරණාවක්‌


පෙරේදා (21 දා) පාර්ලිමේන්තුව "වැඩිහිටියන්ට පමණයි" ගණයේ නාට්‍යයක්‌ රඟදැක්‌විය. පාත්‍ර වර්ගයා ගැන නැවත සිහිපත් කිරීමක්‌ අවශ්‍ය නොවන්නේ කාරණය ගැන රටම දන්නා නිසාය. පාර්ලිමේන්තුවේ කතා බහ කරන බොහෝ දේ ගැන ජනතාව සිටින්නේ අවධානයෙනි. 

මේ විහිළු සැපයීම් අදක ඊයෙක සිට නොව දශක තුනක පමණ කාලයක සිට ජනතාව අකමැත්තෙන් වුව බලා සිටින බව කිව යුතුය. මේ කතාව පාර්ලිමේන්තුවේ පෙරේදා සිදුවූ දේ ගැන නොවේ. සියලු ආටක නාටක අතරවාරයේ බොහෝ දෙනකුට අමතකව යන කාරණාවක්‌ ගැන සිහිකැඳවීමය.

දින සියය ගැන රටේ කිසිදු විවාදාත්මක කතා බහක්‌ නැතැයි කිවහොත් එය බොරුවකි. යහපාලනය වෙනුවෙන් ගත් සීමිත ක්‍රියාමාර්ග අතර 19 වැනි ව්‍යවස්‌ථා සංශෝධනයට රටේ ජනතාවගේ ප්‍රසාදය හිමිවිණි. 


දින සියයේ වැඩපිළිවෙලේ එක්‌ පොරොන්දුවක්‌ වූ දින සියය අවසන් වූ වහාම පාර්ලිමේන්තුව විසුරුවා හරින බව කීවද මේ වනවිට ඊට බාලගිරි
දොෂය වැළඳී තිබේ. පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ ක්‍රියාවලියකට යැමට නොහැක්‌කේ මැතිවරණ ක්‍රමය සඳහා වන සංශෝධනය සම්මත කිරීම සඳහාය. දැන් පාර්ලිමේන්තුව තුළ ඒ ගැන පමණක්‌ නොවේ තව තවත් බොහෝ දේ ගැන වාද විවාද අසන්නට ලැබේ. 

වාසුදේව නානායක්‌කාර මන්ත්‍රීවරයාට තරුණ අවතාරයක්‌ ආවේශ වී කෑගසන්නේය. තවත් අය අත්පුඩි තලන්නේය. අගමැතිවරයා උත්තර බඳින්නේය. මූලික ප්‍රශ්නයට උත්තර සොයන්නට ආණ්‌ඩුවටත්, විපක්‍ෂයටත් වුවමනාවක්‌ ඇති බවක්‌ පෙනෙන්නේ නැත.

උද්ගතව ඇති තත්ත්වය තුළ මැතිවරණ ක්‍රමය සංශෝධනය ගැන නිශ්චිත තීරණයක්‌ නොමැති වුවහොත් පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට සිදුවේ. පාර්ලිමේන්තුව විසුරුවා හරින්නට යෑයි ආණ්‌ඩු පාර්ශවයෙන්ද විපක්‍ෂයෙන්ද ඉල්ලා සිටින බවට තොරතුරු ලැබේ. 


සමහර පාර්ශවයන්ට ඒ සඳහා "විශාල කැක්‌කුමක්‌" ඇති බව පෙනෙන්නට තිබේ. ඇත්තෙන්ම පාර්ලිමේන්තුව විසුරුවා හැරියහොත්, මැතිවරණ ක්‍රම සංශෝධනය පමණක්‌ නොව "විගණන පනත" හා "තොරතුරු දැනගැනීමේ පනත" ද සම්මත කර ගැනීමේ හැකියාවක්‌ නැත.

ඇත්තෙන්ම මේ වෙනුවෙන් මහින්ද රාජපක්‍ෂ පාලන සමයේ දිගින් දිගටම සටන් කළ කරු ජයසූරිය (වත්මන් ගරු අමාත්‍යවරයා) ඇතුළු බොහෝ දෙනෙක්‌ නිහඬ පිළිවෙතක්‌ අනුගමනය කිරීම පුදුමයට කාරණයකි.

විගණන පනත හා තොරතුරු දැනගැනීමේ පනත සම්මත කිරීමේදී "මාර ප්‍රශ්න" ඇතිවේ යෑයි කාට හෝ බයක්‌ ඇත්දැයි අපි නොදනිමු. මූලික වටයේදී මෙම පනත් දෙක හදිසි පනත් ලෙස අප්‍රේල් 30 වැනිදාට පෙර සම්මත කිරීමට නියමිතව තිබිණි. ඒ වැඩේ "බකල්" වූයේ විපක්‍ෂයෙන් පැන නැගුණු විරෝධතාව නිසාය. 


දැන් විරෝධතා සහ සංශෝධනයන් සඳහාද සෑහෙන කාලයක්‌ ගෙවී ගොසිනි. මේ පනත් සම්මත කිරීම සඳහා දිගු වාද විවාද අවශ්‍ය නොවේ. එපමණක්‌ නොව තොරතුරු දැනගැනීමේ පනත හා විගණන පනත ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථා සංශෝධනයකට අයත් නොවන නිසා තුනෙන් දෙකේ ඡන්දයක්‌ ද අවශ්‍ය නොවන්නේය. 

ඊටත් වඩා පසුගිය කාලය පුරාම මේ වෙනුවෙන්ම කැපවුණු වෙනත් විද්වතුන්, පුරවැසි සංවිධාන පවා කියන්නේ පනත් දෙකේ බොහෝ අඩුපාඩු සකස්‌ කර අවසන් බවය.

ජනතාව අත්‍යන්තයෙන්ම දැනගත යුතු බොහෝ කාරණා පසුගිය කාලයේ සැඟව තිබූ බව කිව යුතු නොවේ. එමෙන්ම වත්මනෙහි විවිධ පුද්ගලයන් ට එරෙහිව නැගෙන චෝදනාවලදී පවා බොහෝ දෙනා මයිල් කෙලින් කරගන්නෙත් දෙවරක්‌ නොසිතා පුද්ගලයකු වැරැදි බවට හංවඩු ගසන්නෙත් තොරතුරු දැනගැනීමේ පනතක අඩුව නිසාය. 


තොරතුරු දැනගැනීම මූලික මිනිස්‌ අයිතිවාසිකමකි. එමෙන්ම එමගින් විවිධ දූෂිතයන්, අක්‍රමිකතාවන් එළිදරව් වීමද සිදුවේ. විගණන පනත සම්මත කිරීමේදී ද බොහෝ දූෂණ අක්‍රමිකතාවන්ට වැට බැඳීමක්‌ සිදුවේ. 

මේ පනත් සම්මත කිරීම කෙරෙහි ආණ්‌ඩුව වැඩි අවධානයක්‌ යොමු කළ යුත්තේ එහෙයිනි. අගමැතිවරයා ප්‍රකාශ කරන පරිදි එම පනත් සම්මත කිරීම නව පාර්ලිමේන්තුවකින් කළ හැක්‌කකි. එහෙත් පනත් සකසා අවසන් නිසා එය සම්මත කිරීමෙන් පසු වෙනත් සංශෝධනයක්‌ අවශ්‍ය වේ නම් ඒ සඳහා ඉදිරි පාර්ලිමේන්තුවකට කල් තැබීම කළ හැක්‌කකි.

අන්තිමේදී මැතිවරණ පනතත්, තොරතුරු දැනගැනීමේ පනතත්, විගණන පනතත් සම්මත නොකරම පාර්ලිමේන්තුව විසුරුවා හැරියහොත් සියලු පනත් සොයා ගන්නට වෙන්නේ හමස්‌ පෙට්‌ටියෙනි. කාට කාටත් පාර්ලිමේන්තුවේදී වැඩිහිටියන්ට පමණයි නොව, නිල් චිත්‍රපට රඟදක්‌වන්නට වන්නේ එවිටය.
 
Related Posts with Thumbnails