Ads 468x60px

.

යාපනේ සිසුවියගේ ඝාතනය ගැන කොළඹ මාධ්‍ය වලින් වසන්වූ ඇත්ත කතාව


පසුගියදා යාපනයේදී පැහැරගැනීමට ලක්ව සමූහ දූෂණය කර මරාදමන ලද විත්‍යා නමැති පාසල් සිසුවිය පිළිබඳ කොළඹ සිට නිකුත්වන මාධ්‍ය වාර්තා හා පොලිස් වාර්තාවල යම් යම් කරුණු වසන්වී ඇති බව මේ වනවිට අපට අනාවරණයවී තිඛෙනවා.

සිසුවිය අතුරුදන්වී පැය ගණනක් යන්නට පෙර පොලිසිය මළ සිරුර සොයාගෙන සැකකරුවන් අල්ලා තිබුණ බව මාධ්‍ය වාර්තා සඳහන් කළ නමුත් එසේ කරා නම් යාපන ජනතාව මෙතරම් පොලිසියට හා ඝාතකයන්ට එරෙහිව කැරළි ගසන්නේ ඇයිද යන කෙනෙකුට පැන නගින සාධාරණ ප්‍රශ්නයකි.


නමුත් එහි ඇත්ත තත්වය තරමක් වෙනස්ය.දැන් වාර්තාවන සත්‍ය කතාව පහත පරිදිය.


සිද්ධිය වූ දවසේ විත්‍යා උදෑසන පාසල් ගොස් ඇත්තේ 7 ට පමණය. ඇය සවස් වනතුරුත් ගෙදර ආවේ නැති නිසා නිවැසියන් ඇය අතුරුදන් බවට සවස 4.30 ට පමණ පොලිසියට පැමිණිලි කර තිබුණ නමුත් කයිට්ස් පොලිසිය  එම පැමිණිල්ල භාරගෙන නැත.ඔවුන් කියා ඇත්තේ ඇය

පාසල් ඇරී කොල්ලෙක් එක්ක පැනලා යන්නට ඇති බවත්
ගෙදර ගිහින් පවුලේ අයටම හොයා බලන ලෙසත්ය. 


ඒඅනුව පොලිසියෙන් පිටව ගිය විත්‍යාගේ පවුලේ අය නිවසට ගොස් දන්නා හඳුනන අයගෙන් ඇය ගැන විපරම් කළත් පලක්වී නැත. පාසලට ගොස් ඇසූ විට පාසල දන්වා ඇත්තේ ඇය එදින පාසල් ආවේ නැති බවකි.ඒ නිසා නැවත නැවත පොලිසියට ගොස් මේ පැමිණිල්ල ගැන සොයා බලන ලෙස ඇවිටිලි කළ පසුව රාත්‍රී 11 ට පමණ පොලිසිය ඇය අතුරුදන් බවට පැමිණිල්ල ලියාගෙන ඇත. නමුත් ඒ වෙනුවෙන් පසුදා වනතුරුත් පියවරක් ගෙන නැත.

කෙසේ හෝ ඇය සොයා ගත යුතුය යන අදිටනින් ඇය සෙවීමේ වගකීම තමන්ටම පවරාගත් පවුලේ උදවිය ඒ මේ අත ඇය සොයන අතර පසුවදා විත්‍යා පාසලට යන මාර්ගය දිගේ ගොස් කිසියම් හෝඩුවාවක් ඇතිදැයි බලන්නට විත්‍යාගේ සොයුරෙකු පියවර ගෙන තිබුණා.

ඔහු සැතැප්ම කිහිපයක්ම තනිවම පයින් ඇවිද ගොස් පුංකුඩුතිව් 8 වන පටුමග ඔස්සේ ඇය යන මග දැඩි පරීක්ෂාවෙන් යද්දී ඇයගේ සපත්තු කුට්ටමෙන් එක් සපත්තුවක් පාර අයිනේ තිඛෙනු දැකගෙන ඇත. ඒ අනුව වටපිට බලද්දී ඒ අසළ වනළැහැබක් ඇති බව නිරීක්ෂණය කළ ඔහු එම වන ළැහැබ වෙත ගියේ තවත් හෝඩුවාවක් ඇතිදැයි පිරික්සීමටය. 


ඔහු කම්පාවට පත් කරමින් සොයුරියගේ අත්පා බඳින ලද මළ සිරුර හමුවුනේ ඒ අවස්ථාවේය. ඇගේ පාද දෙකක් සමීප ගස් දෙකක ගැටගසා තිබුණ බවත් කටේ පාන්කඩ ඔබා අත් ඔසවා එකතු කර පිටුපසට බැඳ තිබුණ බවත් ඔහු දුටුවා.

සොයුරියගේ  හිසේ තුවාල වලින් ලේ ගලා වියළි ගොස් තිබුණ අයුරුද ඔහු දැක තිබුණා. වහා අසල්වාසීන්ගේ උදව් ඇතිව පොලිසියට මෙය දන්වන්නට සොයුරා ක්‍රියා කළ අතර පොලිසිය ආවේ සහ ඒ ගැන පරීක්ෂණයක් ඇරඹුවේ මළ සිරුර මේ ආකාරයට සොයාගැනීමෙන් පසුවය.

පොලිසියේ නොසැලකිල්ල ගැන යාපනේ ජනතාව වීදියට බැස්සේ මෙම මන්දගාමී පිළිවෙත නිසාය. ඔවුන් ඝාතකයන් සොයාදෙන ලෙස බලකළ අතරම මියගිය විත්‍යාගේ අවසන් කටයුතු විශාල උද්ඝෝෂණ මැද සිදුවුණා.

විත්‍යාගේ මව සිවලෝගනාදන් සරස්වතී මින් කලකට පෙර වෛද්‍යවරයෙකුගේ නිවසක සේවය කර තිබුණ අතර එම නිවස බිඳින්නට ආ පුද්ගලයින් තිදෙනෙකු ඇය දැක එම සොරුන් අල්ලාදෙන නඩුවිභාගයේදී හඳූනාගැනීමේ පෙරට්ටුවේදී මෙම ප්‍රදේශයේ පදිංචි ඔවුන් ගැන සාක්ෂි ලබාදී ඇත.


විත්‍යාගේ මවට දියණියගේ මරණය ගැන සැක අය කවුදැයි ඇසූ විට පොලිසියට ඇය කියා ඇත්තේ මෙම සොරුන් අල්ලාදුන් සිද්ධිය නිසා ඔවුන් තමා සමග උරනව සිටින බැවින් ඔවුන් මේ ඝාතනයට සම්බන්ධයක් තිබිය හැකි බවකි. 


ඒ අනුව මිනීමැරුමෙන් දින කිහිපයකට පසු එම පටුමගේ පදිංචි සහෝදරයින් තිදෙනෙකු පොලිසිය මගින් සැකපිට ප්‍රශ්න කළ අතර ඔවුන් වැඩි වේලාවක් යන්නට පෙර සිද්ධියට සම්බන්ධ බවට පාපොච්චාරණය කළා.

මෙම තිදෙනාගේ සාක්ෂි මත මෙම දූෂණය හා මිනීමැරුම කොන්ත්‍රාත්තු වක් මත සිදු කර ඇති බවත් එයට සම්බන්ධ තවත් අය අතර 5 දෙනෙකු සිටින බවත් ප්‍රකාශ වුණා. කොළඹ රැකියාවල් කරන 4 දෙනෙකු සහ කයිට්ස් ප්‍රාදේශීය සභාවේ රියදුරෙකු මෙම පස්දෙනාට අයත්වුණා. 


පොලිසිය පසුදාම ඔවුන් අත්අඩංගුවට ගත්තා. කයිට්ස් ප්‍රාදේශීය සභාවේ රියදුරු පොලිස් කොස්තාපල්වරියක හා පෙමින් බැඳී ඇයව විවාහ කරගන්නට සූදානමින් සිටි අයෙකි.

පසුව සොයා බැලීමේදී කොළඹ රැකියාවල් කළ අනෙක් සතරදෙනා මෙම ඝාතනය සඳහාම පුංකුඩුතිව් පැමිණ තිබුණ අතර මිනීමැරුමෙන් පසුදා යළි කොළඹට පළාගොස් තිබුණ අතර සිසුවියගේ අවසන් කටයුතු පැවති අවස්ථාවේ සැකයක් ඇති නොවන්නට නැවත පුංකුඩුතිව් පැමිණ අවමගුලටද සහභාගීවී ඇත. 


අවසන් කටයුතු වලින් පසු නැවත සති අන්තය නිමාවී කොළඹ යන්නට ඔවුන් සැලසුම් කර තිබුණ නමුත් මවගේ සාක්ෂි මත අත්අඩංගුවට පත් තිදෙනාගේ පාපොච්චාරණය නිසා ඔවුන් පස්දෙනා එම ප්‍රදේශයේදීම පොලිසිය කොටු කරගෙන තිබුණා. 

මේ අතර ඝාතනයට සැක 9 වැන්නාවූ ස්විස් පුරවැසිකම හිමි ශ්‍රීලාංකික ද්‍රවිඩ පුද්ගලයෙකු අල්ලාදෙන්නට පුංකුඩුතිව් ජනතාව එදින රාත්‍රියේ කටයුතු කර තිබුණ නමුත් ඔහු අත්අඩංගුවට ගන්නට පොලිසිය එදින කටයුතු කර තිබුනේ නැත. දේශපාලන බලපෑමක් නිසා එය එදින ව්‍යවර්ථවූ බව වාර්තා වෙනවා.

ඔහු පොලිසියට ගෙනයාමට වැළකූවේ යාපනයේ නියෝජ්‍ය ඇමතිනියක හා ප්‍රකට නීතීඥයෙකු බවටද යාපන වැසියන් අතර රාවයක් පැතිරී ඇත.
මේ අතර සිද්ධියට සම්බන්ධ ස්විස් පුරවැසි ද්‍රවිඩ පුද්ගලයා ප්‍රදේශයෙන් පළාගොස් කොළඹ වැල්ලවත්තේ සැගවූණ අතර ඔහුගේ නිවස ගිනිබත් කරන්නට යාපන තරුණයින් ක්‍රියාකර තිබුණා. 


එජාපයේ යාපන සංවිධායක දුවාරගේෂ්වරන් යාපන පොලිසියට සිදු කළ පැමිණිල්ලකට ඇහුම් කන්දෙමින් වැල්ලවත්තේ සැගව සිටි ස්විස් ජාතිකයා හසුවුනේ පසුගිය 19 වනදාය.

රුපියල් 50000 ක්වූ දූෂණ කොන්ත්‍රාත්තුව සිසුවියගේ මවගෙන් පලිගන්නට ක්‍රියාත්මකවී ඇති බව පොලිසියට කරුණු අනාවරණයවී ඇති අතර එම මුදලින් රුපියල් 10000 ක අත්තිකාරමක් මත සිසුවිය පැහැරගෙන ඇති බවත් දූෂණය හා මරාදැමීම පසුව සිදු කර ඇති බවත් වාර්තා වුණා. මෙම දූෂණය හරියාකාරව කළ බව ඔප්පු කිරීමට හා කාලකණ්නි වින්දනය තකා මෙම ස්විස් ජාතිකයා දූෂණය හා ඝාතනය වීඩියෝ කර ඇති බවද පරීක්ෂණ වලදී හෙළි වෙමින් පවතිනවා.

පොලිසිය මේ සම්බන්ධව දක්වන අඩු සැලකිල්ල හා දේශපාලනිකව සැකකරුවන් අල්ලා නොගැනීම ගැන යාපනය පුරා හර්තාල් හා විරෝධතා ගොඩනැගුනේ මේ පසුබිම තුළය. මෙම සිද්ධියට සම්බන්ධ තවත් අය සිටින බවටත් දේශපාලන මැදිහත්වීම් නිසා ඔවුන් අල්ලන් නැතිව සිටින බවටත් සැකයක් හා විශාල මහජන හඩක් මතුවූයේ මේ නිසාය. තමන්ට මේ ගැන යුක්තිය ඉටුනොව් යයි කියා උසාවියට ගල් ගසා 127 දෙනෙකු රිමාන්ඩ් කරන්නට පොලිසිය ක්‍රියා කලේ මෙයින් පසුවයි.


මේ අතර පේදුරු තුඩුවේ විරෝධතා නිසා මාර්ග අවහිර කිරීමේ වරදට තවත් 26 දෙනෙකු පසුව අත්අඩංගුවට ගැනුණා.

යාපනයෙන් වාර්තාවන තවත් කාරණාවක් වූයේ මෙම සිද්ධිය දැන් මුළු යාපනයේම ප්‍රකට මාතෘතාවක් වීම මත තම දේශපාලන වාසිය තකා ටීඑන්ඒ ඇතුළු පක්ෂ සිසුවිය වෙනුවෙන් පෙනී සිටින බව පෙන්වමින් කැපී පෙනෙන්නට හදන බවයි. ඒ නිසා අනවශ්‍ය විරෝධතා රැල්ලක්ද නිර්මාණය වී ඇති බව යාපනයෙන් වාර්තා වනවා.

ඝාතනයට ලක් වූ සිසුවියගේ පියා අංශභාග රෝගයට ගොදුරුව එක්තැන්ව සිටින්නෙකු වන අතර ඇගේ මළ සිරුර සොයාගත් විසිතුන් හැවිරිදි සොහොයුරු කුලී වැඩකර පවුල නඩත්තු කරන අයෙකි.
මිය ගිය සිසුවිය උසස් පෙළ කලා අංශයෙන් අධ්‍යාපනය ලබන බවත් ඇය ඉංග්‍රීසි විෂයට දක්ෂතා දක්වන පාසලේ කැපීපෙනෙන සිසුවියක බවත් පැවසුණා.


මියගිය විත්‍යාට වැඩිමල් සොයුරියකද සිටින අතර ඇය උසස් පෙළ සමත්ව විශ්වවිද්‍යාල අධ්‍යාපනය ලබන්නියකි.



 
 
Related Posts with Thumbnails