Ads 468x60px

.

'විද්‍යා' දියණියගේ ජීවිත පූජාවෙන් පසක් කර ගත යුතු පරම සත්‍යය


පාසල් දියණියකට වින කළ නරුමයන් රැළකට දඬුවම් දෙන ලෙස ඉල්ලා යාපනයේ ජනතාව වීදි බැස ඇත. ත්‍රිකුණාමලය, පුත්තලම දක්වා මේ විරෝධතා රැල්ල පැතිරී ගොස් තිබේ.

යාපනය කයිට්ස්හි පුන්කුඩුතිව් මහා විද්‍යාලයේ අධ්‍යාපනය ලබමින් සිටි විද්‍යා සිවලෝගනාදන් නමැති 18 හැවිරිදි ශිෂ්‍යාව පාසල නිමවී පෙරළා සිය නිවෙස බලා එමින් සිටියදී පැහැරගෙන ගොස් සමූහ දූෂණයකට ලක්කර මරා දැමීම යාපනය ගිනියම් කළ සිද්ධියට මුල්විය.

සිසුවියගේ මළ සිරුර හමුවීමෙන් පසු වහාම ක්‍රියාත්මක වූ පොලිසිය සිද්ධියට සම්බන්ධ සැකකරුවන් 9 දෙනකු අත්අඩංගුවට ගනු ලැබීය. 

අනතුරුව ඔවුන් අධිකරණයට ඉදිරිපත් කෙරිණි. මිනීමරුවන් එල්ලා මරන්නැයි බල කරමින් යාපනය අධිකරණ සංකීර්ණය ඉදිරිපිටට රැස්වූ
විශාල පිරිස අතරින් ප්‍රචණ්ඩකාරී හැසිරීමක් මතු වූයේ ඉන් අනතුරුවය. 

කුමන හේතුවක් නිසා හෝ පොලිසිය නීතිය අකුරටම ඉටු කරමින් සිටියදී මෙලෙස පොලිසියට හා රජයේ ගොඩනැඟිලිවලට පහරදෙමින් කලහකාරී ලෙස හැසිරීම කිසිසේත් අනුමත කළ නොහැකිය. දකුණේ වේවා උතුරේ වේවා නීතිය අතට ගැනීමට කිසිවකුට අයිතියක් නැත.

දෙමළ ජාතික සිසුවියව දූෂණය කර මරා දැමීමට සම්බන්ධ වූවන් සියලු දෙනාම දෙමළ ජාතිකයෝ වෙති. ඇයව ම්ලේච්ඡ ලෙස දූෂණය කර සාහසික ලෙස මරා දැමීමට, පස්දෙනකු ඍජුව සම්බන්ධ වී ඇතැයි අනාවරණය වී තිබේ. එකම 'ජනවර්ගයක' සාමාජිකයන් අතින් මෙය සිදු නොවී වෙනත් ජාතියක පිරිසක් අතින් මෙය සිදුවූවා නම් තත්ත්වය මීට වඩා බරපතළ වන්නට ඉඩ තිබිණි.

තවමත් සිංහල - දෙමළ විරසකය සමහන් වී නොතිබීමත්, දෙපැත්තේම ජාතිවාදී අවස්ථාවාදීන් සුවවෙමින් පවතින තුවාලය නිරන්තරයේ පෑරීමත් ඊට හේතුවය. යාපනයේ හර්තාලය 'කොටි' යළි හිස එසවීමක් යැයි දකුණේ සිටින ඊනියා දේශප්‍රේමීන් දැනටමත් තැන තැන නන් ‍ෙදාඩවමින් සිටීම ඊට කදිම නිදසුනකි.

යුද්ධය අවසන් වී අවුරුදු හයක් ඉකුත් වී තිබුණද තවමත් උතුරේ දැවෙන ප්‍රශ්නවලට විසඳුම් ලැබී නැත. මෛත්‍රිපාල සිරිසේන මහතාට අති බහුතර ඡන්දයක් ඉකුත් ජනාධිපතිවරණයේදී උතුරෙන් ලැබුණේ ඒ නිසාය. 

සිසුවියගේ ඝාතකයන්ට විරෝධය දැක්වීමේ ජනරාශියේදී පුපුරා ගියේ පුපුරු ගසන ඒ 'පීඩනය' විය හැකිය. එය භයානක වන්නේ 'සාමය' නොඉවසන උතුරු - දකුණු මිත්‍රත්වයට එරෙහි වන අන්තවාදීන් පිරිසක් උතුරේ සිටීම නිසාය. 'සිංහල ආණ්ඩුව' සමඟ දෙමළ ජනතාවට පයුරු පාසානයක් තිබිය නොහැකිය යන්න ඔවුන්ගේ තර්කයයි. 

අධිකරණය, පොලිසිය වැනි 'රජයේ ගොඩනැඟිලි' සිංහල ආණ්ඩුවේ සංකේත ලෙස ඔවුහු සලකති. අධිකරණයට එල්ල වූ 'ගල්මුල්' එලෙස සිතන්නන්ගේ අත්වලින් එල්ලවූවා විය හැකිය.

මෙහිදී පොලිසිය ඇතුළු ආරක්ෂක අංශ ඉතා පරිස්සමින් හා ඉවසීමෙන් කටයුතු කර ඇති බව පෙනේ. එය අතිශය වැදගත් කාරණයකි. 

පොලිස්පතිවරයා වහා යාපනයට ගොස් තත්ත්වය නිරීක්ෂණය කර අවශ්‍ය උපදෙස් ලබාදීම මේ අවස්ථාවේ සිය වගකීම අවබෝධ කර ගැනීමක් ලෙස සැලකිය හැකිය.

ම්ලේච්ඡත්වයට, සාහසිකත්වයට හා නරුමකමට ජාති, කුල, ආගම් භේද නැත. ඒ වෙනුවෙන් මරාගෙන මැරෙන්නට වුව ඉදිරිපත් වන්නෝ අවස්ථාව පැමිණි විට සියලු සළුපිළි උනා දමා සැබෑ ස්වරූපය ප්‍රදර්ශනය කරති. යාපනයේ පාසල් දියණියට වින කළ නීචයන්ට ඇගේ 'ජාතිය' ට වඩා වැදගත් වූයේ සිය තිරිසන් ආශාවන් සන්තර්පණය කරගැනීමේ හා පළිගැනීමේ නරුම අරමුණ සාක්ෂාත්කර ගැනීම පමණි. 

'මනුෂ්‍යත්වය' කෙලෙසා ගත් විට මිනිසුන් තිරිසනුන් හා සමානය. සිංහල, දෙමළ, මුස්ලිම් ජාතිකයන් වේවා බෞද්ධ, ක්‍රිස්තියානි, ඉස්ලාම් ආගමික යන් වේවා සියලු දෙනාට ඒ යථාර්ථය පොදු ධර්මතාවකි. යාපනයේ 'විද්‍යා' දියණියගේ ජීවිත පූජාවෙන් පසක් කර ගත යුතු සත්‍යය එය මිස වෙනකක් නොවේ.
 
Related Posts with Thumbnails