Ads 468x60px

.

නීතිය, හා දඬුවම ගැන මහජනයා තුළ ඇති විශ්වාසය


අපරාධය, නීතිය හා දඬුවම් යළිත් ප්‍රශ්න කිරීමකට ලක් වී තිබේ. එලෙස ම වඩේ සුදාගේ සිට මහාලිංගම් දක්වා ස්ත්‍රී දූෂකයන් කෙරෙහි මහා සමාජ වෛරයක් බුර - බුරා නැඟෙන්නට පටන්ගෙන තිබේ. වඩේ සුදා දුම්රියේ ගමන් ගත් සුරූපී තරුණියක් දූෂ්‍යකොට ඈ වෙලක ඔබා මරා දැම්මේ ය. 

මහාලිංගම් තවත් හතර දෙනෙක් කැටුව පාසල් ශිෂ්‍යාවක් සමූහ දූෂණයට ලක් කොට පසුව මරා දැමූහ. වඩේ සුදා දැන් මහ උළු ගෙදර යහතින් සිටී. මහාලිංගම් ඇතුළු පිරිස ද අත්අඩංගුවට ගෙන ඇත. එහෙත් නඩු අසා නැත. තීන්දුව දීමට තවත් කාලයක් ගත වනු ඇත.

තත්ත්වය මෙසේ තිබිය දී ඊයේත්, පෙරේදාත් යාපනයේ ඇති වූ උණුසුම් කාරී තත්ත්වය එතරම් යහපත් නැත. පොලිසියට සිය රාජකාරි කරන්නට ඉඩක් නොලැබිණි. උසාවියට නීතිය විභාග කරන්නට ද අවස්ථාවක්

නොලැබිණි. යාපනය පුරා විරෝධතා පැවැත්විණි. 

කඩ - සාප්පු වසා දැමිණි. උසාවියේ ගොඩනැගිලිවලට ප්‍රහාර එල්ලවිණි. මෙයින් පෙනී යන්නේ නීතිය කෙරෙහි මහජනයා තුළ පවත්නා අවිශ්වාසයයි. පිරිසක් අපරාධකරුවන් ඉල්ලා කෑගැසූහ. තව පිරිසක් චූදිතයන්ට මරණ දඬුවම දෙන ලෙස ඉල්ලා කෑගැසූහ.

ශ්‍රී ලංකාවේ නීති ක්‍රියාත්මක වීමට අනුව මරණ දඬුවම ලබා දීම යනු එක්තරා විහිළුවකි. මරණ දඬුවම ප්‍රකාශයට පත් වුව අපරාධකරුවා කිසි දිනෙක පෝරකයට ගෙන යන්නේ නැත. මේ අනුව නීතිය, හා දඬුවම ගැන මහජනයා තුළ විශ්වාසයක් හා ප්‍රසාදයක් නැත. ඒ හැරෙන්නට පසුගිය කාලය තුළ නීතිය දේශපාලන අධිකාරිත්වයට යටත් වී තිබිණි. 


දැන් එබඳු තත්ත්වයක් නැතත් නීතිය ක්‍රියාත්මක වීම ප්‍රමාද ය. නඩු විභාග කිරීම ද ප්‍රමාදය. ජනතාව කුලප්පු වී පාරට බැසීමට මෙකී ප්‍රමාදය හේතුවක් වන්නටද පුළුවන. එහෙත් නීතිය ඉදිරිපිට ජනතාව කලහකාරී ලෙස හැසිරීම අපට අනුමත කළ නොහැකිය. මෙබඳු ගැටුම් නිසා අපරාධකරුවන්ට දඬුවම් ලබා දීම තවත් ප්‍රමාද වන්නට පුළුවන.

සිවලෝගනාදන් විද්‍යා නම් දහඅට හැවිරිදි රූමත් ශිෂ්‍යාව සමූහ දූෂණයකට ලක්වීම හද කම්පා කර වන සිද්ධියකි. දූෂකයන් කෙතරම් තිරිසන් ලෙස හැසිරී තිබේ ද යත් එක් අපරාධකරුවෙක් සමස්ත දූෂණ ක්‍රියාවලිය වීඩියෝ ගතකර ඇත. 


දැරියගේ මව සමඟ ප්‍රධාන අපරාධකරුවා ඇති කරගත් වෛරයක් පිරිමසා ගැනීම සඳහා මේ අපරාධය සිදු කර ඇති බවක් හෙළිදරව් වී ඇත. එහෙත් මෙහි සත්‍ය කතාව තව ම හෙළිදරව් වී නැති බවක් පෙනී යයි. 

අපරාධය හා අපරාධකරුවන් අතර වෙනත් සබඳතා තිබෙන්නට පුළුවන. දූෂණයට ලක් වූ තරුණිය හා ඇයගේ පවුලේ අය ද අපරාධකරුවන් සමඟ සබඳතා පැවැත්වූවා වන්නට ද පුළුවන. එවිට මේ සිද්ධියෙහි ස්වරූපය වෙනස් වෙයි.

මේ අපරාධයත් සමඟ විමසා බැලිය යුතු තවත් කරුණු කිහිපයක් තිබේ. පළමුවන්න යම් බලයක් සහිත අයට උතුරේ දී අපරාධයක් සිදුකොට හදිසියේම කොළඹ වැල්ලවත්තට පැනවිත් එතැනින් පිටරට යෑමෙන් අපරාධයකින් වසන් විය හැකිය යන්න යි. 


සිද්ධියේ ප්‍රධාන අපරාධකරුවා හෙවත් ප්‍රධාන චූදිතයා වූ මහාලිංගම් අනුගමනය කළේ එම සැලැසුම ය. දෙවැන්න යුද්ධයක් හා ත්‍රස්තවාදී ක්‍රියාවලියක් පැවැති ප්‍රදේශයක මිනිසුන්ගේ ගොරෝසු සිත් මෘදු - මොළොක් කිරීම සඳහා වැඩපිළිවෙළක් ඇති කළ යුතු බව ය. යුද්ධය නිමා වී වසර හයක් ගත වී ඇතත්; අප එබඳු වැඩසටහනකට ගොස් නැත. එය අපේ අඩුවකි.

සිවලෝගනාදන් විද්‍යා නම් ශිෂ්‍යාව දූෂ්‍ය කොට මරා දැමීමේ සිද්ධියේ දී අපරාධකරුවන්ට වැඩි කාලයක් නිදැල්ලේ සිටින්නට අවස්ථාව ලැබුණේ නැත. ඒ ගැන ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුවට අපගේ කෘතඥතාව පළ විය යුතුය. පැය ගණනක් තුළ අපරාධකරුවන් අල්ලාගෙන තිබේ. 


සිදු වූ උණුසුම්කාරී තත්ත්වය සංසිඳවීම සඳහා පොලිස්පතිවරයා පවා යාපනයට ගොස් තිබේ. පොලිසිය වෙනදාට වඩා ක්‍රියාශීලී බව ද ඉතා බුද්ධිමත් ව හැසිරෙන බවද පෙනෙන්නට තිබේ. මහලිංගම් නම් සැකකරුවා වෙනත් රටකට පැන ගියේ නම්; මේ තත්ත්වය වෙනස් වීමට ඉඩ තිබිණි. පොලිසිය මහලිංගම්ට වඩා ඉස්සර වී ඇත.

ඉන්දියාව මෙන් ම ශ්‍රී ලංකාව ද ස්ත්‍රී - දූෂණවලට ප්‍රසිද්ධ වෙමින් පවතී. එය ඉතා අවාසනාවන්ත තත්ත්වයකි. ස්ත්‍රීන්ට හිරිහැර කිරී‍මට එරෙහි දඬුවම් දැඩි කරන නීති සම්මත වී ඇතත්; ස්ත්‍රී දූෂණ වල අඩුවක් පෙනෙන්නට නැත. 


ඒ වෙනුවට ස්ත්‍රීන් දූෂ්‍ය කොට මරා දැමීමේ සිද්ධි බහුල වෙමින් පවතී. රටේ නායකයන්ගේ දැඩි අවධානය මේ දෙසට යොමු විය යුතු යැයි අපට සිතේ. යහපාලනය තහවුරු වන්නේ කාන්තාවකට නිදහසේ තම කටයුතු කරගෙන යෑමට ඉඩ-ප්‍රස්ථා තිබුණොත් පමණි.
 
Related Posts with Thumbnails