Ads 468x60px

.

වින්ද්‍යා දියණියණි, ඔබ වැනසූ, ඔබ කෙළෙසූ උන් මරා දැමීමට මිනිසුන් තුළ ඇතිවන අවංක ආවේගය


යාපනයේ දූපතක ජීවත් වූ 17 හැවිරිදි සුරූපී දෙමළ ජාතික පාසල් දැරියක්‌ වන ශිවලෝගනාදන් වින්ද්‍යා දෙමළ ජාතිකයන් පස්‌දෙනකු විසින් වරින් වර දූෂණය කර මරා දැමීමේ සිද්ධිය මුල් කරගෙන විශාල අවුලක්‌ හටගෙන තිබේ. 

දූෂකයන් පස්‌දෙනා මරා දැමීම සඳහා තමන්ට භාර දෙන ලෙසට බල කළ දහසක පමණ පිරිසක්‌ යාපනයේ උසාවි ගොඩනැඟිල්ලටද, පොලිස්‌ රථවාහන සහ බන්ධනාගාර රියවලට ද පහර දීම නිසා කඳුළු ගෑස්‌ සහ බැටන් ප්‍රහාර එල්ල කිරීමටත් කිහිප දෙනකු අත්අඩංගුවට ගැනීමටත්
ආරක්‍ෂක අංශවලට සිදුවිය. 

මෙය උතුරේ සිදු වූවක්‌ ලෙස සිතා, දෙමළ ජාතික පිරිමින් විසින් දෙමළ ජාතික දැරියකට කළ අසාධාරණයක්‌ ලෙස කියා ඇඟ බේරාගෙන කරබාගෙන සිටීමට දකුණේ සිටින අපට බැරිය. මන්ද, මරාදමන ලද මේ දැරිය අපගේ දියණියකි. අපගේ සහෝදරියකි. ඇය මිය යන්නේ උග්‍ර වේදනාවක්‌ විඳීමෙන් පසුවය. 

ඇගේ පිරිසිදුකම, නොයිඳුල් සිවුමැලි සිරුර සාහසිකයන් විසින් තලා පාගා දමන ලදී. මෙය මිනිස්‌කමට කෙළ ගැසීමකි. තරුණියකගේ පාරිශුද්ධත්වය මත වසුරු හෙළීමකි. උන් දරුණු වධයට ලක්‌ කර මරා දැමිය යුතුමය. 

එහෙත් එය කළ යුත්තේ කයිට්‌ස්‌ දූපතේ වැසියන්, යාපනයේ පදිංචි කාරයන්, දකුණෙන් උතුරට ගොස්‌ මානව අයිතිවාසිකම් සුරැකීමේ ව්‍යාපාරයේ නිරත වන ව්‍යාපාරිකයන් හෝ දේශපාලන කල්ලිකාරයන් නොව අධිකරණය ය. උසාවි - පොලිසි තිබෙන්නේ ඒ වැඩවලට ය. 

පොලිසිය අපරාධකාරයන් අත්අඩංගුවට ගෙන හැකි පමණින් යුතුකම් ඉෂ්ට කර උසාවියට ඉදිරිපත් කරනු ලැබේ. උසාවිය ඔවුන් රිමාන්ඩ් හිරගෙදරට යවයි. එතැනදී ඔවුන්ගේ වරදෙහි තරාතිරම දැන ගැනීමෙන් පසු සිරකාරයන් පවත්වන සංග්‍රහයකට මුහුණ දෙන්නට ඔවුන්ට සිදු වේ.

එහෙත් මෙවැනි ක්‍රියාදාමයක්‌ තිබියදී ශිවලෝගනාදන් වින්ද්‍යාගේ මරණයට විරෝධය පළ කිරීම සඳහා දහස්‌ ගණනක්‌ දෙනා ඉදිරිපත් වීම ටිකක්‌ අභව්‍ය ය. අත්අඩංගුවට ගන්නා අපරාධකාරයන් උසාවි දමනවා මිස ගමේ මිනිසුන්ට භාර දෙන සිරිතක්‌ පොලිසිය සතුව නැත. 


එහෙත් ඉන්දියාවේ මෙවැනි ක්‍රමවේදයක්‌ ඇති බව පසුගිය දා වාර්තා විය. ඒ ස්‌ත්‍රී දූෂණ සිදුවීම් දෙකක්‌ නිසා ය. මේ සිදුවීම් දෙකෙහිදීම අපරාධ කරුවන් පැහැර ගත් ගමේ කට්‌ටිය ඔවුන්ට පහර දී වධ දහඅටම දී ස්‌ත්‍රී දූෂණ සඳහා යොදාගත් උපකරණවලට බරපතළ හානි සිද්ධ කළහ. 

මේ සිදුවීම් දෙකට සම්බන්ධ එකෙක්‌ පැහැර ගන්නා ලද්දේ ඔහු රඳවා සිටි පොලිසියට පහර දීමෙනි. අනෙකා ඔහු හිරකර තිබූ රිමාන්ඩ් හිරගෙදර දොරවල් කැඩීමෙනි. එහෙත් මේ දෙකම සුදුසු නැත. අප ශිෂ්ට සමාජයක ජීවත් වන මනුස්‌සයෝ වෙමු.

යාපනය යනු අදටත් ඉතාම සංවේදී භූමියකි. මේ භූමියේ පත්තු වන රතිඤ්ඤයකට, බෝම්බයක බලය ඇත. දිගු කලක්‌ යුද්ධය නිසා දරුණු බැට කෑ යාපනයේ ජනයා හඳුන්කූරු එළියෙන් පවා තිගැස්‌සවිය හැකිය.


එසේ තිබියදී උසාවි, පොලිස්‌ සහ බන්ධනාගාර රථ, පොලිස්‌ නිලධාරීන් වැනි රජයේ දේපළවලට පහර දීම දේශපාලන වශයෙන් අර්ථකතනය කිරීමට බලාගෙන සිටින පිරිසක්‌ද වෙති. 

ශිවලෝගනාදන් වින්ද්‍යා පිළිබඳ සිද්ධියේ අයිතිය මේ කට්‌ටිය අතට නොයනු පිණිස සියලු දෙනා වගබලා ගත යුතුය. කෙසේ වුවද වින්ද්‍යා දියණියණි, ඔබ වැනසූ, ඔබ කෙළෙසූ උන් මරා දැමීමට මිනිසුන් තුළ ඇතිවන අවංක ආවේගය හරිම සාධාරණ ය.
 
Related Posts with Thumbnails