Ads 468x60px

.

ජනතා‍ව පිස්සු කෙළින නිදර්ශන කිහිපයක්


රටේ සිදුවන දේවල් ගැන විචාරාක්ෂියෙන් බලන කෙනෙකුට යහපත් සිදුවීම් මෙන් ම අයහපත් සිදුවීම් ද දැකගැනීමට හැකිවනු ඇත. ඇතැම් සිදුවීමක් ගැන සතුටු විය හැකි ය. ඇතැම් සිදුවීම් ගැන සතුටු විය නො හැකි ය. තවත් සිදුවීම් ගැන පුදුම සිතෙනු ඇත. 

එක අතෙකින් බලන විට හොර-ජාවාරම්වලට, සල්ලාලකම්වලට සමීප වු දේශපාලනය ශුද්ධ වූ තැනක් කරා ගමන් කරමින් සිටී. ශ්‍රී ලංකාවේ නූතන දේශපාලකයා හොරකමට මැළිවෙයි. සල්ලාලකමට බිය වෙයි. 

තව අතෙකින් දේශපාලනයට හා සල්ලිවලට යටත් වූ පොලිසිය දැන් කොන්ද කෙළින් තබාගෙන ස්වාධීන ව කටයුතු කරයි. අධිකරණයත් එසේ ම ය. මෙතෙක් සුදු වෑන් ඇතුළු රාජ්‍ය ත්‍රස්තවාදයට බියපත් වූ
සාමාන්‍ය ජනතාව නිදහස උපරිමයෙන් භුක්ති විඳිති. 

ඒ අතර එම ජනතා‍වගෙන් ම කොටසක් පිස්සු කෙළිති. නිදර්ශන කිහිපයක් සමඟ එය පැහැදිලි කරන්නට කැමැත්තෙමු.

නාත්තන්ඩිය පළාතේ මවක් සිය දරු දෙදෙනා ද සමඟ ළිඳකට පැන දිවි නසා ගැනීමට තැත් කළාය. බාල දරුවා මිය ගියේ ය. මව හා වැඩිමහල් දරුවා ජීවිතය බේරා ගත්හ. ඒ අසල්වාසීන්ගේ කරුණාව නිසා ය. මේ ආරවුලට හේතුව සැමියාගේ අනියම් සම්බන්ධයක්ලු! 


ඔහු නිතරම කාන්තාවකට දුරකථන ඇමැතුම් ලබා දෙන බවක් ද සැකකාර මව කියා තිබේ. පළමුව කිව යුත්තේ මෙතරම් මෝඩ ස්ත්‍රියක් තවත් නැති බව ය. සැමියාගේ අනියම් සම්බන්ධයක් ඇතොත්; දරුවන් ඊට පළිද?

මෙබඳු සිද්ධියක් ඉදිරිපිට මේ මව ක්‍රියාකර ඇත්තේ මුළුමනින් ම වැරැදි ලෙස ය. තව අතෙකින් අතිශය මෝඩ ලෙස කාන්තාව ක්‍රියාකර ඇත්තේ ය. මේවා හැඟුම්බර මිනිසුන්ගේ නරක ආදර්ශ බවට ද පත්වනු ඇත.

දැන් පොලිසිය ස්වාධීන ය. අධිකරණය ස්වාධීන ය. එසේ නම්; කළ යුතුව තිබුණේ පොලිසියට ගොස් පැමිණිල්ලක් ඉදිරිපත් කොට නීතියේ පිහිට පැතීම ය. ඒ ඔස්සේ සැමියාට දඬුවම් ලබාදීමට ඇයට හැකියාව තිබිණි. 


එහෙත් මේ ස්ත්‍රිය කර ඇත්තේ සැමියාගෙන් පළිගැනීම සඳහා තම දරුවන්ගේ ජීවිතද, තමන්ගේ ජීවිතයද බිල්ලට දීමට යෑම ය. රටේ ඇතැම් කාන්තාවන්ට සංසුන් මනසක් නැත. ප්‍රශ්නයක් දෙස විචාරාක්ෂියෙන් බැලීමේ හැකියාවක් නැත. මේවා මෙසේ සිදුවන්නේ මන්දැ’යි සොයා බැලිය යුතුය.

පුවත්පත් වාර්තා කළ තවත් සිද්ධියක් අප සිහියට නැගේ. එක්තරා ප්‍රදේශයක කොලුවෙක් කඩමණ්ඩියක් අසල හොර ගල් අහුලමින් සිටියේ ය. මුදලාලි කෙනෙක් කොලුවා ගැන අවධානයෙන් සිටියේය. කොලුවා බයිසිකලයක් හොරෙන් රැගෙන ඈතට දිව යමින් සිටියේ ය. 


මුදලාලිගේ අවධානය නිසා බඩුත් සමඟ හොරා පොලිසියට කොටු විය. කොලුවාගෙන් ප්‍රශ්න කිරීමේ දී කියා ඇත්තේ ඔහු තම පියා සොයාගෙන ඈත නගරයකට යන්නට ගිය බව ය. පරීක්ෂණයේ දී හෙළිවූයේ දරුවා මා පිය සෙනෙහස අහිමිව ආච්චි කෙනෙකු ළඟ ජීවත් වන බව ය. මේ කතාව ද අ‍ෙප් සමාජ විසමතාවේ එක්තරා පැතිකඩක් හෙළිදරව් කරයි.

පුවත්පත් වාර්තා කළ තවත් ඛේදවාචකයක් අප සිහියට නැගේ. එම සිද්ධියට අනුව බාලවියේ පාසල් දැරියක් තමා පැමිණි පාසල් බස් රථයට ම යට වී මිය ගියා ය. එය අතිශය ශෝචනීය සිද්ධියක් ලෙස රට පුරා ප්‍රචලිත විය. 


කරුණු සොයා යන විට පැහැදිලි වී ඇත්තේ පාසල් බස් රථය බෙහෙවින් අබලන් වූ එකක් බව ය. එහි තිරිංග හරි හැටි වැඩ කරන්නේ නැත. අනෙකුත් උපාංග ද එලෙස ම අබලන් ය. සිද්ධිය වූ දිනයේ කුමන හෝ හේතුවක් නිසා රියැදුරාට ලැබී ඇත්තේ අබලන් බස් රථය ය. ඔහු එය ධාවනය කොට වටිනා ජීවිතයක් විනාශ කළේ ය.

අප විසින් තෝරාගනු ලැබූයේ පුවත්පත්වල පළ වූ විශේෂ සිදුවීම් කිහිපයක් පමණී. එහෙත් රට දෙස බලන විට පෙනී යන්නේ අසහනය, නොසැලකිල්ල, ඉවසීමක් නැතිකම, මෝඩකම සමාජය පුරා පැතිර ඇති බව ය. 


සැමියා පිළිබඳ අවිශ්වාසයක් නිසා අසරණ දරුවෙක් මිය ගියේ අම්මාගේ මෝඩකම නිසා ය. එම මව අවිශ්වාසයෙන් හා බියෙන් ජීවත්වන අසාමාන්‍ය ස්ත්‍රියක ලෙස හඳුන්වා දිය හැකි ය. අවිශ්වාසය හා අනිසි බිය එක්තරා මානසික රෝගයක් ලෙස ද සැලැකේ. අපේ සමාජය කල්පනා කරන විලාසය තුළනාත්මක නැති බවක් එයින් පැහැදිලි වේ.

දරුවකු බයිසිකල් හොරකු බවට පත් වූ වෘත්තාන්තය පසුපස ඇත්තේ බෙහෙවින් දුක හිතෙන කතාවකි. ඒ දරුවාට පියා දැකීමේ බලවත් ආශාවක් තිබෙන්නට ඇත. දරුවන් මේ තරම් අසරණ වන්නේ ඇයි? ඔවුන් මෙතරම් හුදෙකලා වන්නේ ඇයි? ඔවුන්ගේ ආරක්ෂාව ඇතුළු වගකීම් පවරා ගන්නේ කවරහුද? 


පාසල් දැරියගේ මරණයට අදාළ සිද්ධිය තුළ ද තවත් කතාවක් තිබේ. එහි වැඩිහිටි ව්‍යාපාරිකයා දරුවන්ගේ ජීවිත තුට්ටුවකට සලකා නැත. එසේ සැලකුවේ නම්; අබලන් බස් රථයක් ගෙන දරුවන් ප්‍රවාහනය කරන්නේ නැත.

දෙවන ලෝක යුද්ධයෙන් පසු බටහිර ලෝකය පුරා, බිය, අවිනිශ්චිත බව, සැකය හා කලකිරීම පැතිර ගියේ ය. යුද්ධයෙන් පසු නිදහස භුක්ති විඳින මිනිසුන් අතර ශෝකවන්නෝ සිටියෝ ය. විකාර කරන්නෝ සිටියෝය. 


මෙහි ප්‍රතිබිම්භයක් සාහිත්‍ය කලා ඔස්සේ ද නිරූපණය විය. නාට්‍ය කලාවේ දී එය නියෝජනය වූයේ විකාර රූපී රංගනයෙන් හා කුරිරු රංග‍නයෙන් ය. එහෙත් මේ තත්ත්වය තාවකාලික විය. මේ වනවිට රටේ ඇතිවෙන ඇතැම් සිදුවීම්වලින් පෙනී යන්නේ අතීත අත්දැකීමක ප්‍රතිඵලය. 

ඒවා ගැන කනගාටු වන අතර ම සමාජයේ කලකිරීම හා අවිනිශ්චිත බව පිටුදැකීම සඳහා වැඩපිළිවෙළක් ද අවශ්‍ය බව පෙනී යයි. එබඳු වැඩසටහන් ක්‍රියාත්මක කිරීමෙන් මිනිස් සමාජයේ බුද්ධිය අවදි කළ හැකි ය.
 
Related Posts with Thumbnails