Ads 468x60px

.

තවත් එක මැතිවරණ යුද්ධයක් ආරම්භ වීමට පෙර..


ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් පසුගිය සිකුරාදා, එනම් ජුනි 26 වැනිදා මධ්‍යම රාත්‍රියේ සිට ශ්‍රී ලංකාවේ හත්වැනි පාර්ලිමේන්තුව විසුරුවා හරිනු ලැබ තිබේ. ඒ අනුව 2016 අප්‍රේල් අගදී නිල කාලය අවසන් වීමට තිබූ හත්වැනි පාර්ලිමේන්තුව ඊට මාස දහයකට පෙරාතුව විසුරුවා ඇත. 

රටේ ජනතාව ස්‌වකීය සර්වජන ඡන්දයෙන් තෝරා පත්කර එවනු ලැබූ මහජන නියෝජිතයන්ගේ ධූර කාලය ද එතෙකින් නිමා වන්නේ ය.

දැන් එළැඹ ඇත්තේ දේශපාලනඥයන්ට තරග බිමක්‌ ද, මහජනතාවට කටුක කාල පරිච්ඡේදයක්‌ ද, අතරමැදි මුදලාලි පන්තියේ බොහෝ දෙනකුට වසන්ත සමයක්‌ ද, ආදී වශයෙන් වූ අච්චාරු කාල වකවානුවකි. පසුගිය දශක දෙකක තුනක කාල වකවානුව පුරාම රටේ ජනතාවගේ

පාර්ශ්වයේ සිට අප ඇසු දුටු, අත්විඳි දේශපාලන විපරීතතාවන් ඊට ඉඳුරාම දෙස්‌ දෙයි.

යාන්තම් හෝ හිතට සැනසිල්ලක්‌ දැනෙන අන්දමේ මැතිවරණයක්‌ පැවතියේ නම්, ඒ පසුගිය ජනවාරි 08 වැනිදා පැවැති ජනාධිපතිවරණයයි. පූර්ව මැතිවරණ ප්‍රචණ්‌ඩ ක්‍රියා අවම වශයෙන්ද, පශ්චාත් මැතිවරණ ප්‍රචණ්‌ඩත්වය බින්දුවක්‌ වශයෙන් ද එම ජනාධිපතිවරණය විශිෂ්ටත්වයට පැමිණි බව සටහන් කළ යුතු ය. 


එහි ගෞරවය ප්‍රධාන අපේක්‍ෂකයන් දෙදෙනාටම හිමිවන්නාහ. ප්‍රධාන අපේක්‍ෂකයන් දෙදෙනා තුළම තිබූ දේශපාලන පරිණතභාවයේ පිළිබිඹුවක්‌ වූ එම ජනාධිපතිවරණය ඉදිරියේදී පැවැත්වීමට නියමිත 'මහ මැතිවරණයට' පූර්වාදර්ශයක්‌ කර ගැනීම වටනේ ය.

මහ මැතිවරණය පැවැත්වීමට නියමිතව ඇත්තේ අගෝස්‌තු මස 17 වැනිදාය. නාම යෝජනා භාර ගැනීම ජුලි හයවැනිදා සිට 13 වැනිදා දක්‌වා සිදු කෙරේ. ඇත්තෙන්ම කිවහොත් 08 වැනි පාර්ලිමේන්තුව සඳහා අපේක්‍ෂකයන් යුද වැදීම ආරම්භ කරන්නේ නාම යෝජනා භාරදීමෙන් අනතුරුව ය. 


රටේ ජනතාවට කටුකතම කාල පරිච්ඡේදයක්‌ උදා වන්නේ යෑයි අපි සඳහන් කළේ ඒ කාල සීමාවෙන් අනතුරුව ය. කුස්‌සියටම පැමිණ තේ ඉල්ලාගෙන බොන, හිරමනය උඩ වාඩි වී දුක සැප බෙදා ගන්නා අපේක්‍ෂකයන්ගේ ආදර කරුණාව ඉවසාගත හැකිය. 

එහෙත් පොලිතින් බැනර්, කටවුට්‌ වලින් පටන් ගෙන රතිCඳ්C¹ කරලින් අවසන් කරන, පරිසරය කා දමන 'පබ්ලිසිටි' වැඩ රටේ ජනතාවට හිසරදයකි. පොකට්‌ රැස්‌වීමේ සිට මහ රැලි දක්‌වා ඝෝෂා නැගීම ද ජනතාවට පිළිකුලකි. 

විනයවත් බවත්, සංයමයත් ඇති කර ගත යුතු මැතිවරණයකට පසුගිය ජනාධිපතිවරණය පාඩමක්‌ බව අප කියන්නේ එබැවිනි. ජනතාව පීඩාවට, දුකට පත් වීම යකාට ගියදෙන් කියමින් මැතිවරණය බිස්‌නස්‌ එකක්‌ බවට හරවා ගන්නා බොහෝ දෙනකුට 'ආචාරශීලී මැතිවරණයක්‌' යනු ව්‍යාපාර බංකොලොත්වීමක්‌ යෑයි අර්ථකථනය කළ හැක. 

අපේ හැඟීම අනුව පෝස්‌ටර්, කටවුට්‌ බැනර් ගැසීමේ සිට පොලිතින් කොඩිවැල් ඇදීම දක්‌වා තිබෙන්නේ මැතිවරණ ප්‍රචණ්‌ඩත්වයට අත වනන ක්‍රියාදාමයකි. තමාගේ අපේක්‍ෂකයාගේ කොඩිවලට, පෝස්‌ටරයට, බැනරයට හොඳම තැන දෙනු පිණිස කරන සටන ආධාරකරුවන්ගේ සටනක්‌ බවට පත් වේ. 

ඊළඟට එය අපේක්‍ෂකයන්ගේ සටනක්‌ බවට නිරායාසයෙන් ම පත් වේ. ඊළඟට පුවක්‌ගස්‌වලින් අටවාගත් මැතිවරණ කාර්යාලයක්‌ කඩා බිඳ දැමීමකි. ඊට ප්‍රතිචාර වශයෙන් ප්‍රතිපාක්‍ෂිකයන්ට වෙඩි තැබීමකි.

මේ සියල්ල නතර කළ හැක්‌කේ ආචාරශීලී බවට මුල්තැන දීමෙනි. මැතිවරණ කොමසාරිස්‌වරයා කීවේ එළඹෙන මැතිවරණය සඳහා වියදම කෝටි 400 ක්‌ පමණ වනු ඇති බවයි. 


එහෙත් එය එක්‌ දිස්‌ත්‍රික්‌කයක අපේක්‍ෂකයන් සිය ප්‍රචාරණ කටයුතුවලට යොදන මුදලට වඩා අඩු එකක්‌ බව ද හෙතෙම වැඩිදුරටත් කීවේ ය. පබ්ලිසිටියේ තරම ගැන තවත් කතා කුමට ද?

ඉදිරියේදී පත්කර ගැනීමට නියමිත අපේක්‍ෂකයන්ගේ 'පැටිකිරිය' සොයා බලන්නට යෑයි හෝ දූෂිතයන්ට, මදාවියන්ට ඡන්දය භාවිතා නොකරන්න යෑයි කියන්නට වැඩි අකුරු නාස්‌තියක්‌ අවශ්‍ය නැත. 


ඒ, ඒ වග අප දිගින් දිගටම කී නිසා ය. මනාපය බිහිසුණු අවියක්‌ බව නැවත කියන්නට ද අවශ්‍ය නැත. ඒ අවසන් මොහොතේ මනාපය වළට දමා පස්‌ ටික වසන්නට ලැබුණු අවසන් අවස්‌ථාවද දැන් මඟහැරී ගිය බැවිනි.

අපට කියන්නට ඇත්තේ මෙපමණය. දේශපාලන සංහිඳියාවකට මඟ පෙන්විය හැකි ජනාධිපතිවරයෙක්‌ සිටින රටක, ශිෂ්ට සම්පන්න මිනිසුන් මැතිවරණ 'අපේක්‍ෂකයන්' බවට පත් කිරීම පක්‍ෂ නායකයන්ගේ වගකීමය. ආචාරශීලී, ශිෂ්ට සම්පන්න මැතිවරණයක්‌ සඳහා දායකත්වය ලබාදීම ජනතාවගේ වගකීමය.
 
Related Posts with Thumbnails