Ads 468x60px

.

"පොලිසියේ මහත්මයා" සිය දියණිය හා බිරිඳ ඉදිරිපිට කල කැත වැඩේ..


"කෝෂ" සමග පොලිසියට නොව පොලිසියේ සමහර මහත්වරුන්ට ප්‍රශ්න ඇති බව පෙනෙන්නට තිබේ. පසුගියදා මහරගම ප්‍රදේශයේ ව්‍යාපාරික යෙකුගේ වෘෂණ කෝෂවලින් අල්ලා පොලිසියේ ඉහළ නිලධාරියකු පහරදී තිබුණේ ඒ නිසාය. 

අදාළ පුද්ගලයා (සැකකරුවා) කර තිබූ වරද වූයේ හෙල්මට්‌ නොපැළඳි පුද්ගලයකු යතුරු පැදියේ පිටුපස ආසනයේ හිඳුවාගෙන යාමය. පවතින නීතිය අනුව වැඩේ වැරදිය. එහෙත් ඊට නීතිය ක්‍රියාත්මක කළ යුත්තේ
වෘෂණ කෝෂ වලින් අල්ලා බව නීති පොතේ සඳහන්ව නැත. 

මේ "පොලිසියේ මහත්මයා" සිය දියණිය හා බිරිඳ ඉදිරිපිටදීම මේ කැත වැඩේ කරන අතරවාරයේම අවීනිත ආකාරයට බැණ වැදුණු බවද අදාළ පුද්ගලයා කියන්නේය. ඔහු ඊට සාක්‌ෂි වශයෙන් සිය ව්‍යාපාරික ස්‌ථානයේ ඇති සී.සී.ටී.වී. (CCTV) කැමරා දර්ශණද ඉදිරිපත් කරයි. 

පොලිසියේ මෙවැනි අවිනීත හැසිරීම් ගැන පෙර වාර්තා බොහෝමයකි. කෝෂ සමග පොලිසියට ඇති ප්‍රශ්න සෑහෙන තරම් බව අපි කීවෙමු. 

පොලිසියේ සමහර උදවියගේ ශබ්ද කෝෂයද අතිශය අශීලාචාරය. සීසීටීවී කැමරා දර්ශණ සමග ව්‍යාපාරිකයා පොලිසියේ ඉහළ නිලධාරින්ට මේ ගැන පැමිණිලි කළ නිසා මෙය අනාවරණය වුවද මෙය සාමාන්‍ය තත්ත්වය බව අපේ විශ්වාසයයි.

පොලිසියේ මහත්වරුන්ගේ මේ හැසිරීම විවිධ අවස්‌ථාවල විවිධ වේෂයන් ගනී. සුපිරි වාහනයක්‌ වරදක්‌ කර අසුවුවහොත් පොලිසියේ මහත්වරු අදාළ රියෑදුරාගේ වෘෂණ කෝෂ මිරිකා තර්ජනය කර එතැනින්ද නොනැවතී වාහනයේ විදුලි කෝෂ ද ගලවා දමනු ඇතැයි කිසිවෙකු සිතන්නේ නම් එය මුලාවකි. එවිට කෝෂ සියල්ල යහතිනි. 


ශබ්ද කෝෂයද මිහිරිය. නැතිනම් පසුගිය වකවානුවේ ක්‌ලබ් වැදී ගුටි කෙළගත් මහ මග නීතිය හා සාමය බිඳ දැමූ සුපිරි ප්‍රභූවරුන් එවුන්ගේ පුතුන් හා විවිධ දේශපාලනඥයන්ගෙන් රෝහල්වල මුත්‍රාශය ආශ්‍රිත රෝග සායන පිරී ඉතිරී යන්නට ඉඩ තිබිණි. වෙලේ සුදාගේ වාසනාවට නැතිවුණේ ඔහුගේ නඩු පොත පමණි.

කෙසේ හෝ අප විශ්වාස කරන්නේ පොලිසියේ ඇතැම් මහත්වරුන් "නිතිය හා සාමය" යන්නෙහි කෝෂාර්ථය පවා තවමත් තේරුම් ගෙන නැති බවය.

පොලිස්‌ සේවය ආරම්භ වන්නේ 1796 දී කොළඹ නගරය ආශ්‍රිතව මුර සේවාවක්‌ ලෙසය. එය ක්‍රමිකව ව්‍යාප්ත වී 1865 අංක 16 දරණ ආඥපනත මගින් 1866 සැප්තැම්බර් 03 දා ස්‌ථිර සේවයක්‌ ලෙස ස්‌ථාපනය කර තිබේ.


පොලිසිය මහජන හා දේපළ ආරක්‌ෂාවට කැපවූ සේවයකි. මනාවූ සේවාවක්‌ කෝෂ මිරිකමින් දඬුවම් දෙන තැනකට යාම එතරම් හොඳ තත්ත්වයක්‌ නොවේ.

කුරුණෑගලදී පොලිස්‌ නිලධාරියකු අමානුෂික ලෙස ඝාතනය කළ මොහොතේ එය හෙළා දුටු ජනතාවම, පෙරළා පොලිසිය කෙරෙහි පිළිකුළෙන් බලන්නේ මෙවැනි හේතු නිසාය.

පසුගිය කාලය පුරාම විටින් විට මෙවැනි පොලිස්‌ පහරදීම්, පොලිස්‌ අත්අඩංගුවේ සිටියදී මියයැම් බොහෝමයක්‌ වාර්තා විණි. ඒ සිදුවීම් නිසාම සාමාන්‍ය ජනතාව තුළ පොලිස්‌ සේවය කෙරෙහි මතුව ඇත්තේ තදබල අප්‍රසාදයකි, පිළිකුලකි. 


එය රටේ කොතැනක හෝ පැන නගින උද්ඝෝෂණ හා විරෝධතාවයන් හිදී දැකගත හැකි කාරණයකි. උද්ඝෝෂණ හෝ විරෝධතා පවත්වන්නේ වෙනත් කාරණාවක්‌ නිසා වුවද වැඩේ අහවර වන්නේ පොලිසියට ගල් මුල් ප්‍රහාර එල්ල කරමිනි.

ශ්‍රී ලංකා පොලිසියට ප්‍රශංසාවන් ඉතා අඩුවෙනුත් නින්දාව වැඩි වශයෙනුත් ලැබෙන්නට මෙවැනි කාරණා හේතුවන බව කිව යුතුය. මහමඟ අව්ව, වැස්‌ස නොතකා දුහුවිලි නාමින් රාජකාරියේ යෙදෙන පොලිස්‌ නිලධාරියකු ට වුව අපමණ කළකිරීම්, පීඩාවන් ඇති බව අපි දනිමු. 


එහෙත් එය සිය "සේවාව" ඉටු කිරීමේදී නිදහසට කාරණාවක්‌ ලෙස යොදාගැනීම කළ නොහැක්‌කකි. අප මේ අත්විඳිමින් සිටින්නේ ඒ නිල ඇඳුමයට සිටි මිනිසා අතුරුදන්වීමේ ඛේදවාචකයයි.
 
Related Posts with Thumbnails