Ads 468x60px

.

මේ ප්‍රශ්නයට පිළිතුරු දීම අලි එළවනවාට වඩා අමාරු ඇයි...?


නැවතත් "අලි" කතා මතුවෙමින් තිබේ. අලි කතා හිතන තරම්ම අලි සයිස්‌ ඒවා නොවන බව කවරෙකු කීවද, පෙනෙන්නට තිබෙන හැටියට කතාව බැරෑරුම්ය. ඊයේ දිනයේදී අලි ප්‍රහාරයක්‌ නිසා සිදුවූ තවත් ශෝචනීය මරණයක්‌ ගැන සියලු මුද්‍රිත හා විද්යුත් මාධ්‍ය වාර්තා කර තිබිණි. එහිදී වල් අලි ප්‍රහාරයෙන් මියගොස්‌ තිබුණේ ප්‍රාදේශීය මාධ්‍යවේදියෙකි. 

මින්නේරිය, සමගිපුර හල්මිල්ල ඇළ ප්‍රදේශයේ ගම් වැදුණු අලින් ගැන වාර්තා කිරීමට ගොස්‌ සිටියදී ඔහු එම අවාසනාවන්ත මරණයට මුහුණපා සිටියි. අලි ගම් වැදීම පිළිබඳව වාර්තාකරණයේ යෙදුණු තවත් මාධ්‍ය
වේදියකු සඳහන් කරන ආකාරයට මියගිය මාධ්‍යවේදියා බිම වැටුණු පසු අලියකු පැමිණ ඔහුගේ පපු ප්‍රදේශය ඔළුවෙන් තදකර ඇත. 

ගම් වැදුණු අලින් සමීපයටම ගොස්‌ ඔවුන් මෙම වාර්තාකරණයේ යෙදී ඇත්තේ අලි උවදුර ගැන ජනතාවට දැනෙන ආකාරයේ ප්‍රවෘත්තියක්‌ ලබාදීමට බව සැක නැත. සමහරු මෙය අනුවණකමක්‌ යෑයිද අලියෙකු ඉදිරිපිටට ගොස්‌ කැමරා කිරීම පිස්‌සුවක්‌ නොවේ යෑයිද විවිධ විග්‍රහ ඉදිරිපත් කරති. 

ඒ කිසිවක්‌ වලංගු නොවන අතාර්කිත ප්‍රකාශයන්ය. යුදමය ගැටුම් පවතින ප්‍රදේශවල මාධ්‍යවේදීන් ඒ අවදානම දරාගෙන වාර්තාකරණයේ යෙදෙන්නේ නියම තොරතුර ජනතා හැඟීම්වලට ආමන්ත්‍රණය කළ හැකි ඡායාරූප, ප්‍රවෘත්ති සපයාගත හැක්‌කේ ඒ ආකාරයෙන් බව දන්නා නිසාය.

සමහරවිට මරණයට පත්වන තුරුම මේ මාධ්‍යවේදියා අලි ගැන ජනතාවට ඇත්තම කීවේ මේ අවදානම දරාගෙන විය හැකිය. ඒ අර්ථයෙන් ගත්කල මෙය මියගිය ප්‍රියන්ත රත්නායක මාධ්‍යවේදියාට පමණක්‌ පොදුවූ ප්‍රශ්නයක්‌ නොවේ. එය අලි මිනිස්‌ ගැටුම් පවතින සෑම ප්‍රදේශයකටම පොදු ගැටලුවකි.

අවම වශයෙන් මාසෙකට එකක්‌ හෝ දෙකක්‌ (මරණ වාර්තා වුවත් නැතත්) අලි ප්‍රහාර ගැන වාර්තා වීම සාමාන්‍යය.

දැන් කවුරුත් දන්නා පරිදි අලි ප්‍රශ්නයට හේතුව අලින්ගේ බිම් මිනිසුන් විසින් අත්පත් කර ගැනීමය. ඇත්තටම සිදුවන්නේ අලින් ගම් වැදීම නොව උන් උන්ට අයත් බිම් කඩවල් සොයා පැමිණීමය. 


ඒ එන අතරවාරයේ සුපුරුදු ගහ කොළ, ලඳු කැලෑ, තණ පිරුණු මාවත් වෙනුවට හෙළි පෙහෙළි කළ බිම් කඩවල් මැද ඉදිවුණු නිවාස, එහා මෙහා යන මිනිසුන් දකින විට අලින්ගේ සිහිය විකල් වීම අරුමයක්‌ නොවේ. 

පැළ ඉනි වැටට මිනිසුන් කා කොටා ගන්නා කාලයක, තමන්ගේ ඉඩම අල්ලාගත් මිනිස්‌ සතාට එරෙහිව අලියා සටනට බැසීම ස්‌වභාවයක්‌ බව අපේ විශ්වාසයයි.

තමන්ගේ "ඉඩම" සොයා එන සද්දන්තයන්ට අත් විඳින්නට වන්නේ නොසිතු විරූ අකරතැබ්බයන්ටය. පසුගිය කාලය පුරාම වගා ළිංවලට, මඩ වගුරුවලට වැටී එරී සිටින අලින් බේරා ගැනීමේ මෙහෙයුම් මෙන්ම වෙඩි තබා මරා දැමූ සද්දන්තයන්ගේ විශාල ශරීරද බොහෝ ප්‍රමාණයක්‌ හමුවිය. 


දැන් මේ ප්‍රශ්නය ලෙහෙසියෙන් විසඳිය නොහැකි තැනකට පැමිණ තිබේ. එහෙත් තවමත් යම් මට්‌ටමකට විසඳිය හැකි තත්ත්වයක්‌ද ඉතිරිව තිබෙන බව අමතක කළ යුතු නැත.

බොහෝ ප්‍රදේශවල අලි මිනිස්‌ ගැටුමට ලබාදී ඇති විසඳුම් විසුළු සහගතය. විදුලි අලි වැට උපක්‍රමශීලීව පෙරළා දමා ගම් වදින ආකාරය අලින් මේ වන විට අවබෝධ කරගෙන හමාරය. තවත් සමහර ප්‍රදේශවල අලි ප්‍රශ්නය ඇති ප්‍රදේශවල ජනතාවට ලබාදී ඇති ඉඩම් වලටද අලි ප්‍රහාර එල්ල වේ. 


සාමාන්‍යයෙන් වල් අලි තමන්ගේ බිම් ප්‍රදේශවලින් එක්‌වරම ඉවත්ව යන්නේ නැත. කොටින්ම කිව්වොත් වල් අලි පලවා හැරීම ලෙහෙසි පහසු කටයුත්තක්‌ නොවේ. වල් අලි පලවා හැරීම නිවසට එන සුනඛයන්, හරකුන් පලවා හරිනවා සේ කළ හැක්‌කක්‌ නොවේ. 

අලි පලවා හැරීමට අලුතින් කැලෑ මාර්ග සැකසිය යුතුවේ. අලි ප්‍රමාණවත් සංඛ්‍යාවකට අවශ්‍ය ආහාර ඇති ප්‍රදේශයක්‌ද විය යුතුය. උන් නැවත නොඑන ආකාරයෙන් සැලසුම් සකස්‌ කළ හැක්‌කේ එවිටය.

මේ ප්‍රශ්නය "බ්‍රෑන්ඩ් නිව්" වර්ගයේ එකක්‌ නොවේ. කල් ඉකුත් වූ ප්‍රශ්නයකි. පසුගිය කාලය පුරාම මේ ප්‍රශ්නයට විසඳුම් සෙවිය හැකි යෑයි විශ්වාසය කළ හැකි ආයතන, දෙපාර්තමේන්තු "හරියටම" වැඩ කළ බවක්‌ පෙනෙන්නට නැත. 


එසේ කළා යෑයි කිසිවෙකු හෝ අභියෝග කරන්නේනම් අපට ඇති සරලම ප්‍රශ්නය වන්නේ එසේනම් තාමත් අලි මිනිස්‌ ගැටුම අවසන් නොවී තිබෙන්නේ ඇයි දැයි යන්නය. සමහරවිට මේ ප්‍රශ්නයට පිළිතුරු දීම අලි එළවනවාට වඩා අමාරු එකක්‌ වනු ඇත. 

අප කල්පනා කරන්නේ අලි එළවීමටත් වඩා මේ ගැටලුවලට නිවැරදි පිළිතුරක්‌ සෙවිය නොහැකි අලි පොරවල් එළවා දමන්නේ කොහොමද යන්නය. දේශපාලන අධිකාරියේ පවා එතෙක්‌ මෙතෙක්‌ අලි ප්‍රශ්නයට මැදිහත්වීම අලි විහිළුවක්‌ බවට පත්වී හමාරය.

ප්‍රියන්ත රත්නායක පමණක්‌ නොව තවත් බොහෝ දෙනෙක්‌ මේ ප්‍රශ්නය නිසා ජීවිතය පුද කර අවසන්ය. අලුත් ආණ්‌ඩුව හෝ මේ අර්බුදය විසඳීම සඳහා විධිමත් වැඩ පිළිවෙළක්‌ සැකසිය යුත්තේ දිවි පිදූ අයට ගෞරවය පිණිසය. රටට සම්පතක්‌ වන සීමිත අලි ගහණය ආරක්‍ෂා කරනු පිණිසය.


අලි ප්‍රහාරයෙන් මියගිය මාධ්‍යවේදියාගේ කැමරාවේ තිබූ සංවේදී වීඩියෝව - සංවේදී දර්ශන සහිතයි
 
Related Posts with Thumbnails