Ads 468x60px

.

හොරුන්ගේ අම්මාගෙන් පේන අසමින් සිදුකරන පරීක්‍ෂණ පිළිගැනීමට තවදුරටත් රටේ ජනතාව සූදානම් නැති බව...


අපේ පොලිසිය මුළු රටටම පමණක්‌ නොවේ මුළු ලෝකයටම තමන්ගේ නග්න සිරුර ප්‍රදර්ශනය කළ ආසන්නම දිනය පසුගිය බ්‍රහස්‌පතින්දාය. 

ඒ සිසුනට කළ ම්ලේච්ඡ පහරදීමය. ඉන් පසු දින කිහිපයේදීද පොලිස්‌ දෙපාර්තමේන්තුවේ ඇතැම් ඉහළ නිලධාරීහු බ්‍රහස්‌පතින්දා නිරුවත් වීම සාධාරණීකරණය කරමින් මාධ්‍ය හමුවේ තවත් තමන්ගේ නග්නත්වය
පෙන්වා සිටියහ. අදත් එසේමය... පොලිසිය තම නග්න සිරුර රෙදි කඩකින් ආවරණය කරගනු වෙනුවට තව තවත් ප්‍රදර්ශනය කරමින් සිටී.

උසස්‌ ජාතික ගණකාධිකරණ ඩිප්ලෝමාව හදාරන සිසු සිසුවියන් පසුගිය බ්‍රහස්‌පතින්දා පාරට බැස්‌සේ සිය පෞද්ගලික ඉල්ලීම් දිනා ගැනීම උදෙසා නොවේ. මෙතෙක්‌ කලක්‌ තම පාඨමාලාවට තිබූ පිළිගැනීම පසුගිය ආණ්‌ඩුවෙන් අහෝසි කිරීම නිසා එම පිළිගැනීම යළි ලබාදෙන ලෙස ඉල්ලා සිටිමින්ය. එය අද එම පාඨමාලාව හදාරන සිසුන්ගේ මෙන්ම අනාගතයේදී එය හදාරන සිසුන්ගේත් අයිතිවාසිකමක්‌ වෙනුවෙන් කරන ඉල්ලීමකි.

උසස්‌ ජාතික ගණකාධිකරණ පාඨමාලාව (HNDA) උපාධියක්‌ හා සම කරමින් 1996 වසරේදී ගැසට්‌ නිවේදනයක්‌ නිකුත් කර ඇත. එම ගැසට්‌ නිවේදනය එදා සිට 2014 දක්‌වා බලපැවැත්විණ. 


එහෙත් පසුගිය අප්‍රේල් මාසයේ මෙම ගැසට්‌ නිවේදනය අහෝසි කරමින් HNDA පාඨමාලාව උපාධිය හා සම මට්‌ටමේ නොසැලකීමට එවක බලයේ සිටි රාජපක්‍ෂ ආණ්‌ඩුව කටයුතු කළේය. එපමණක්‌ නොව වසර තුනක්‌ දක්‌වා පාඨමාලා කාලය සීමා කළේය.

වෙනසක්‌ නොමැත. එවක ආණ්‌ඩුවේ මැති ඇමැතිවරු අද යහපාලන ආණ්‌ඩුවේද යහතින් මැති ඇමැතිකම් දරති. එදා උසස්‌ අධ්‍යාපනය ලබන සිසුන්ගේ ඔලු පලා ගලන ලේ දැක සතුටු වූ ඇමැත්තන් මේ යහපාලනය යෑයි කියන කාලයේද ඇමැත්තෝය. කැලේ මාරු වී ඇත. එහෙත් කොටියා කොටියාමය. පුල්ලි මාරුවී නැත.

තම පාඨමාලාව පෙර පරිදිම උපාධියක්‌ සේ පිළිගන්නා ලෙසට ඉල්ලමින් යහපාලන ජනාධිපතිවරයා ජනවාරි 8 දා පත්වූ මුල් සතියේදීම තවත් ඉල්ලීම් තිහක්‌ සමඟ ලිපියක්‌ ඉදිරිපත් කළ බව අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්‌ඩලයේ කැඳවුම්කරු ළහිරු විෙ-සේකර මහතා ප්‍රකාශ කර ඇත.


ඉන් ඉල්ලීම් එකොළහක්‌ පිළිබඳ සාකච්ඡාවක්‌ ලබා දෙන ලෙසට උසස්‌ අධ්‍යාපන අමාත්‍යාංශයද ලිපියක්‌ යොමුකර ඇත. මැතිවරණයෙන් පසුවද එකී ඉල්ලීම්වලට පිළිතුරු නැති බව ළහිරු විෙ-සේකර පවසයි.

දැන් මේ HNDA ගැටලුවට දින පන්සිය පනහකට ආසන්නය. තම අයිතිය ඉල්ලා පසුගිය බ්‍රහස්‌පතින්දා විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම ඉදිරිපිටට HNDA සිසුහු පැමිණ උද්ඝෝෂණය කළහ. ඉන් පසු සිදුවූයේ කුමක්‌ද.. අද වන විට මුළු රටම දනී.

මේ සිසුන්ට පොලිසිය එළව එළවා පහර දෙන අයුරු මාධ්‍ය ඔස්‌සේ දුටු කාගේත් සිත් සසල විය. මේ අපේ දරුවන්ය. අධ්‍යාපන අයිතිය උදෙසා පෙනී සිටින්නන්ය. සිසුවියන්ට අමානුෂික ලෙස පොලු පහර එල්ල කරන පොලිස්‌ බැලයන්ද රූපවාහිනී, පුවත් ඔස්‌සේ දුටුවෙමු. 


පුවත්පත් ඡායාරූපවලින් දුටිමු. කඳුළු ගෑස්‌, ජල ප්‍රහාරවලින් හෙම්බත් වූ සිසුන්ට එළව එළවා පහර දෙන අයුරු දුටිමු. අඩපණවී බිම වැටුණු දරුවන්ට මෘග ලෙස පහර දෙන පොලිසියේ නිර්ල-ජිත නිවටකමද දුටිමු.

සිසුහු බොහෝ පිරිසක්‌ තුවාල ලැබූහ. අතලොස්‌සක්‌ රෝහල්ගත වූහ. බහුතරය රෝහල්ගත නොවී ප්‍රතිකාර ලබා පිටව ගියේ අත්අඩංගුවට පත්වීමෙන් වැළකීමටය. එහෙත් සිසුන් රැසක්‌ අත්අඩංගුවට ගත් පොලිසිය පසුදා ඔවුන් ඇප මත මුදාහැරීමට සිදුවිය.

උද්ඝෝෂණ මැඩ පැවැත්වීම සඳහා මේ තාක්‌ පැවැති සියලු ආණ්‌ඩු අනුගමනය කළේ ම්ලේච්ඡ ක්‍රියාමාර්ගය. හිසට පොල් පරාල ඇණ ගසා වෛද්‍ය සිසුන් ඝාතනය කළ අප්‍රසන්න අතීතයක්‌ අපට ඇත.

සිසුන්ට මෙසේ එල්ල කළ පොලිසියේ මැර ප්‍රහාරය සාධාරණීකරණය කිරීමට කැඳවූ මාධ්‍ය හමුවකදී උසස්‌ පොලිස්‌ නිලධාරින් යළිත් තම දෙපාර්තමේන්තුව නිරුවත් කළහ. ගිරවකු මෙන් දොඩවන මාධ්‍ය ප්‍රකාශකලාද මාධ්‍ය හමුවේ ප්‍රසිද්ධියේ නිරුවත් වූයේ ළඳබොළඳ ප්‍රකාශ නිකුත් කරමිනි.

පුවත්පතක පළමු ඡායාරූපයක්‌ පෙන්වා එය වැරදි අර්ථකථනයක්‌ ලබාදෙන ලෙස ගත් ඡායාරූපයක්‌ බව කී මේ ගිරා පෝතකයන් සිසුවිය බිම වැටී සිටිද්දී ඇයට එම ස්‌ථානයෙන් පිටව යැමට උදව් කළ බව කීහ.

එහෙත් පෙරේදා මාධ්‍ය හමුවක පෙනී සිටි එම සිසුවිය ප්‍රකාශ කළේ පොලිස්‌ නිලධාරීන් එම අවස්‌ථාවේ තමන්ට අමානුෂික ලෙස පහරදුන් බවය.

ලේ ගලන හිස දැතින් බදාගෙන දිව යන සිසුවකුගේ ඡායාරූපයක්‌ මාධ්‍යයේ පළවිය. පොලිස්‌ ගිරා පෝතකයන් පැවසුවේ එම සිසුවාගේ ඔලුව පැලුවේ පොලිසිය නොව අසල තිබූ බසයක වැදීමෙන් බවය.

මෙම උද්ඝෝෂණයේදී පොලිස්‌ නිලධාරීන් සිසුන්ට ප්‍රහාර එල්ල කළේ බැටන් පොලුවලින් පමණක්‌ නොවේ. ඔවුන් අත වෙනත් පොලුද තිබෙනු දැකගත හැකිවිය. පොලිස්‌ මාධ්‍ය ප්‍රකාශක එය සාධාරණීකරණය කිරීම සඳහා කළේ තවත් විහිළු ප්‍රකාශයකි.

උද්ඝෝෂණයක්‌ මැඩපැවැත්වීමේදී පොලිස්‌ නිලධාරීන්ට අවශ්‍යනම් බැටන් පොල්ල වෙනුවට වෙනත් ඕනෑම පොල්ලක්‌ භාවිත කළ හැකි බව ඔහු කීවේය. අවම බලය යනු පළමුව බැටන් ප්‍රහාර, දෙවනුව හා තෙවනුව කඳුළු ගෑස්‌ සහ ජල ප්‍රහාර බවට විහිළු ප්‍රකාශයක්‌ මාධ්‍ය ප්‍රකාශකයා කීවේය.

"අවම බලය" නොව පොලිසිය දැන් ක්‍රියාත්මක වන්නේ අවශ්‍ය බලය පෙන්වමින් බවද මේ මාධ්‍ය ප්‍රකාශක සඳහන් කළේය.

අවම බලය වෙනුවට උපරිම බලය පෙන්වමින් නිරායුධ සිසුන් ඉදිරියේ මැරයන් සේ හැසිරුණු පොලිසිය දැන් තමන්ට නීතියෙන් ලබා දී ඇති "අවම බලය" අවශ්‍ය බලය ලෙසද සංශෝධනය කරගෙන තිබෙන්නේ අත්තනෝමතික ලෙසද යන්නත් සොයා බැලිය යුතුය.

පොලිසිය මෙසේ විසූක දස්‌සන පෙන්වමින් සිටිද්දී රටේ උසස්‌ අධ්‍යාපනය භාර මහාමාර්ග ඇමැතිවරයාද රටට විහිළු සපයමින් සිටී. සිසුනට අවශ්‍ය වූයේ කොක්‌කක්‌ දමා ගන්නට බව ඔහු මාධ්‍යයට ප්‍රකාශ කර තිබිණි.

සත්‍යයකි, උද්ඝෝෂණයකදී උද්ඝෝෂකයන් උත්සාහ කරන්නේ එය රටේ දැඩි අවධානයට ලක්‌කර ගැනීමටය. ඒ සඳහා පොලිස්‌ ප්‍රහාර එල්ල වන්නේ නම් එය උද්ඝෝෂකයන්ට ආශිර්වාදයකි.

මුග්ධ ප්‍රහාරයක්‌ එල්ල කරමින් පොලිසිය සිදුකර ඇත්තේ මේ සිසු උද්ඝෝෂණය සාර්ථක කරලීම සඳහා වක්‍රාකාර සහයක්‌ ලබාදීමය.

මෙම උද්ඝෝෂණය සම්බන්ධව උසස්‌ අධ්‍යාපන ඇමැතිවරයා නිකුත් කළ ලිපියේ සිංහල භාෂාව භාවිත කර ඇති ආකාරය පිළිබඳවද මේ දිනවල සමාජ මාධ්‍ය ඔස්‌සේ හෙළිදරව් වෙමින් තිබේ.

කටුනායකදී පැවැති උද්ඝෝෂණයකදී රොෂේන් චානක, හලාවත ධීවර උද්ඝෝෂණයේදී ධීවරයකු ඝාතනය වූයේද පොලිස්‌ පහරදීම්වලිනි, රතුපස්‌වලදී නිරායුධ අහිංසකයන් ඝාතනය වූයේ හමුදා ප්‍රහාරවලිනි. ඒ පසුගිය එජනිස ආණ්‌ඩුව කාලයේදීය.

ඒ ආණ්‌ඩුව පෙරළා දමා මේ ආණ්‌ඩුව පිහිටුවා ගෙන මාස දහයකි. මේ මාස දහය තුළදී පෙර ආණ්‌ඩුවේ හිටපු මැති ඇමැතිවරුන්ට ඒ අතීතය අමතක වූ සැටි... හේතුව අද විරුද්ධ විපක්‍ෂයේ සිටින නිසා විය හැක.

අධ්‍යාපනයේ ගෞරවනීය, අයිතිය ඉල්ලා ප්‍රජාතන්ත්‍රවාදීව උද්ඝෝෂණය කළ සිසුන්ට පොලිසිය කළ ම්ලේච්ඡ පහරදීම ඊට නොදෙවෙනි වූ පොලිසියේ ගෝත්‍රික ප්‍රකාශ ද ඒකාබද්ධ විපක්‍ෂය හෙළා දකින බව රොෂේන්ලා, හලාවත ධීවරයන්, රතුපස්‌වල ජනතාවට වෙඩි තැබූ පොලිසිය හා හමුදාව මෙහෙයවූ ආණ්‌ඩුවේ සිටි ඩලස්‌ අලහප්පෙරුම මන්ත්‍රීවරයා ප්‍රකාශ කර ඇත.

HNDA සිසුන්ගේ මේ සිසු සාධාරණ ඉල්ලීම් කොන්දේසි විරහිතව ඉටුකර දෙන ලෙසද ඩලස්‌ අලහප්පෙරුම මන්ත්‍රීවරයා සුවබර නින්දකට පසුව අවදි වී අද ප්‍රකාශ කර සිටී.

මේ HNDA පාඨමාලා උපාධියට සමකළ ගැසට්‌ පත්‍රය අහෝසි කළේ ඔහු කැබිනට්‌ටුවේ සිටි ආණ්‌ඩුව බව අලහප්පෙරුම මන්ත්‍රීවරයා නොදැන සිටීම අතිශය කනගාටුදායකය.

සිසුනට එල්ල කළ මෙම මුග්ධ ප්‍රහාරය පිළිබඳ විමර්ශනයක්‌ කරන ලෙස ආසියානු මානව හිමිකම් කොමිසමද පොලිස්‌ කොමිසමට දැනුම් දී ඇත. ඒ අනුව පොලිස්‌ කොමිසම විමර්ශනයක්‌ අරඹා ඇත. අගමැතිවරයාද මේ පිළිබඳ වාර්තා කැඳවා ඇත.

උද්ඝෝෂකයන්ට ප්‍රහාර එල්ල කිරීමට අදාළ කමිටු, වාර්තා ඕනෑ තරම් අතීතයේ ඇත. එහෙත් ඒ එකදු වාර්තාවක්‌වත් මෙතෙක්‌ ප්‍රසිද්ධ කර නැත. තම නිරුවත පෙන්වමින් ක්‍රියාකර පොලිස්‌ දෙපාර්තමේන්තුව ශීලාචාර කිරීම සඳහා අලුත පිහිටුවූ පොලිස්‌ කොමිසමට වගකීමක්‌ ඇත. 


ඒ සඳහා මෙවැනි විමර්ශන අපක්‍ෂපාතීව සිදුකිරීම වැදගත්ය. අගමැතිවරයා ට ද යහපාලනය ජනතාවට වහකදුරු නොවීම සඳහා කටයුතු කිරීමේ වගකීම පැවරී ඇත. එනිසා ඔහු කැඳවන වාර්තා ද අපක්‍ෂපාතී විය යුතුය.

මෙතෙක්‌ කළක්‌ කළාත් මෙන් හොරුන්ගේ අම්මාගෙන් පේන අසමින් සිදුකරන පරීක්‍ෂණ, විමර්ශන හා තීන්දු තීරණ පිළිගැනීමට තවදුරටත් රටේ ජනතාව සූදානම් නැත.

ප්‍රජාතන්ත්‍රවාදී රටක මහජන විරෝධතා, උද්ඝෝෂණ මූලික අයිති වාසිකමකි. ජනවාරි පැවැති ආණ්‌ඩුව මෙම ජනතා අයිතිවාසිකම් දිගින් දිගටම උල්ලංඝනය කළ නිසා ජනවාරි 08 දා මුල්ම වෙඩිමුරයත්, අගෝස්‌තු 17 දා මහ මැතිවරණයෙන් අවසන් වෙඩිමුරත් තුළින් ජනතාව ඒ ආණ්‌ඩුව ගෙදර යවනු ලැබීය. ඒ බවද යහපාලකයන් අමතක නොකළ යුතුය.

- අජිත් අලහකෝන්
 
Related Posts with Thumbnails