Ads 468x60px

.

දිවිපුදා කැකිරාවේ බැංකු කොල්ලය වැළැක්‌වූ ඇසල.

හරියටම පස්‌වරු එකයි තිහයි. කැකිරාව නගරයේ රෝහල ඉදිරිපිට එන්. ඩී. බී. බැංකුවේ බෝම්බ පිපුරුමක්‌..."

හෙල්මට්‌ එකක්‌ දාගත්ත කලුපාට ජැකට්‌ එකක්‌ පැළඳි හැඩිදැඩි තරුණයෙක්‌ බැංකුවට ඇතුල් වෙන්න හදයි. එළියේ සිටි ආරක්‍ෂක නිලධාරි ඇසල ඔහුගේ ඇතුළු වීම වැළැක්‌ වූවා. ඇසල ඔහුට හෙල්මට්‌ එක ගලවන්න කීවත් ඔහු එය ගැලෙව්වේ නැහැ. ඔහු බැංකුව තුළට බලහත්කාරයෙන් ඇතුළු වෙන්න හදද්දී ඇසල ඔහුව බදා ගත්තා... 


එවිට ඔහුව පොර බදනවා දැක්‌කා. එය දුටු අසල දෙදෙනකු ඇසලට උදව් කළත් එකවර පිපිරීමත් සමඟම දෙදෙනාම ලේ විලක්‌ මැද වැටී සිටියා.

ඇසල ජයසිංහ සමඟ කැකිරාවේ එන්. ඩී. බී. පෞද්ගලික බැංකුවේ පෞද්ගලික ආරක්‍ෂක සේවයේ යෙදී සිටි ආරක්‍ෂක නිලධාරි විදානආරච්චි

මහතා එසේ පැවසීය.

ඇසල ජයසිංහ (29) එක්‌දරු පියා කැකිරාවේ බැංකු මංකොල්ලය වැළැක්‌වීමට ගොස්‌ සිය ජීවිතය පූජා කළේ එලෙසය.

කැකිරාව, මුඩපෙරුමාගම පදිංචි බී. බන්දුලසේන (62) සහ සීතා සෙනෙහෙලතා (51) යන දෙමාපියන්ට දාව 1986-07-23 කැකිරාවේදී උපත ලැබූ බී. ඇසල ජයසිංහ (29) කුඩා කල මුඩපෙරුමාගම විද්‍යාලයෙන් මූලික අධ්‍යාපනය ලබා කැකිරාව ශ්‍රීමත් බස්‌තියන් සිල්වා මහ විද්‍යාලයෙන් අපොස සාමාන්‍ය පෙළ සමත්ව උසස්‌ පෙළ වාණිජකරණය සඳහා කැකිරාව මධ්‍ය විද්‍යාලයට ඇතුළත්ව උසස්‌ අධ්‍යාපනයට පෙනී සිටිමින් පසුව 2007 වර්ෂයේදී ශ්‍රී ලංකා පොලිස්‌ සේවයට ඇතුළත්ව පරිගණක ක්‍රියාකරුවකු ලෙස අලුත්ගම පොලිසියේ 2012 දක්‌වා සේවය කර ඇත. එම කාලය තුළ ඇසල දෙමළ මාධ්‍යයද ප්‍රගුණ කර තිබේ.

අලුත්ගම පොලිසියේ සේවය කරන කාලයේ එහිදී දැන හැඳිනගත් ශෂිනි ඩිලන්කා සමඟ විවාහ වූ ඇසල දැන් වයස අවුරුදු තුනක්‌ වූ චතුර්ණි පමෝද්‍යා දියණියගේ ආදරණීය පියාණන්ය. ඇසල ජීවිතයෙන් සමුගත් බදාදා දින ආදරණීය බිරිඳ සහ දියණිය සිය ගමට ගොස්‌ සිටියහ.

මගේ රත්තරන් පුතා මට හරිම ආදරෙයි. මම ගොවිතැන් කරලයි ජීවත් වන්නේ. තාත්තේ තාත්තාට දැන් වැඩ කරන්න අමාරුයි. මම පොලිසියෙන් ඉවත් වෙලා ඇවිත් තාත්තගේ ගොවිතැන් කටයුතුවලට උදව් කරනවා කියලා 2012 දී පොලිසියෙන් ඉවත් වෙලා ඇවිත් උදව් කළා. මට ඔය පුතයි දුවයි විතරයි ඉන්නේ.. 


ජනවාරියේ කැකිරාවේ එන්. ඩී. බී. බැංකුව විවෘත කළ දවසේ සිට ඇසල පුතා එහි වැඩ කළා. සිද්ධිය වුණ දවසේ මම දවල්ට කෑම පාර්සලයත් ගිහිල්ලා දීලයි ආවේ. මෙහෙම දෙයක්‌ වෙයි කියලා අපි කවුරුවත් හිතුවේ නැහැ... දැඩි කම්පනයට සහ ශෝකයට පත්ව සිටින ඇසලගේ පියා වන බන්දුලසේන මහතා එසේ පැවසීය.

ඇසල හරිම සංවේදී දරුවෙක්‌... කුඩා කාලයේ සිටම ගමේ හිටිය හොඳම ළමයෙක්‌. ඇසලට මෙහෙම දෙයක්‌ වෙයි කියලා අපි කවුරුත් හිතුවේ නැහැ... ඇසලගේ හදිසි මරණය නිසා දැඩි ලෙස කම්පා වෙන මුඩපෙරුමා ගම සඳ ශ්‍රී පියරතනාරාමයේ විහාරාධිපති පූජ්‍ය නිකුල ආනන්ද හිමියන් ඇසලගේ නිවසට පැමිණ සිටි ගම්වාසීන් සමග එසේ ශෝකය ප්‍රකාශ කළේය.

සියල්ල සිදුවී අවසන් වී ඇත. බිරිඳ සහ දියණිය මෙලොව තනිකර ඇසල දිවි පුදා අවසන්ය. පෞද්ගලික ආරක්‍ෂකයකු ලෙස කැකිරාව පෞද්ගලික බැංකුවේ සේවය කළත් ඔහු තම සේවාව නිර්භීතව ඉටුකරමින් බැංකු කොල්ලය වැළැක්‌වූයේ සිය ජීවිතය පූජා කරමිනි. 


දැන් ඇසලගේ බිරිඳට සහ ආදරණීය දියණියට ආදර සැමියෙක්‌ සෙනෙහෙබර පියෙක්‌ අහිමිව තිබේ. ඇසල එසේ නොකළානම් බැංකුව සතු මුදල් පැහැරගෙන ජීවිත හානිද සිදුවීමට ඉඩ තිබුණි.

ඇසලගේ බිරිඳ ශෂිනි ඩිලන්කා මෙසේ පැවසුවාය. මමයි දුවයි ලොකු තාත්තා බලන්න අලුත්ගම ගියේ ලොකු තාත්තාට අසනීප නිසයි. ඇසල එදා උදේ මට දුරකථනයෙන් කතා කරලා ප්‍රවේශමෙන් එන්න කීවා. අපි නොසිතූ ලෙස අපිව තනි කරලා ඇසල යන්න ගියා...

මරණය කවදා කොතැනක කෙලෙසක සිදුවේදැයි කවුරුත් නොදනිති. සිත් පිත් නැති මංකොල්ලකරුවකු නිසා දැන් ඇසල දැයෙන් සමුගෙනය. එසේ සමුදුන්නේ තම රාජකාරිය දේවකාරියක්‌ ලෙස සලකා ඉටුකිරීම නිසාවෙනි. ඇසලගේ අවසන් කටයුතු අද සෙනසුරාදා සවස කැකිරාව මුඩපෙරුමාගමදී සිදුකෙරේ.
 
Related Posts with Thumbnails