Ads 468x60px

.

2016 රිය අනතුරු වළකන වසරක්‌ කර ගන්නට...!


පසුගිය වසරේ අවසන් සතියේදී අවධාරණය කළ කාරණයක්‌ පිළිබඳව නැවත සටහන් කිරීමට සිදුව තිබේ. ඒ පසුගිය වර්ෂය තුළ සිදු වූ රිය අනතුරු සංඛ්‍යාව අවසන් සතිය වන විට වැඩි අගයක්‌ ගෙන තිබුණා යෑයි කියන බරපතල ප්‍රවෘත්තියයි.

රටේ ජනතාවගේ පමණක්‌ නොව වගකිව යුතු කොයි කාගේත් අවධානයට ලක්‌විය යුතු කාරණයක්‌ වුවද මේ ගැන කිසිවකුත් එතරම්

සැලකිල්ලක්‌ දක්‌වා නැති බවක්‌ පෙනේ. මේ ගැන හරිහැටි අවධානයක්‌ යොමු වී නැති බව අප කියන්නේ වගකීමෙනි. 

2015 වර්ෂයේ මාරක රිය අනතුරු සංඛ්‍යාව දෙදහසද ඉක්‌මවා තිබේ. රිය අනතුරුවලින් මියගිය සංඛ්‍යාව දෙදහස්‌ පන්සීයද ඉක්‌මවයි. මෙය 2014 වර්ෂයට වඩා වර්ධනීය තත්ත්වයකි. එකක්‌ දෙකක්‌ නොව දෙදහසද ඉක්‌මවන තෙක්‌ ප්‍රශ්නයට විසඳුම් සොයා ගැනීමට නොහැකිවීම නොසැලකිල්ල ලෙස අප ස්‌ථිරවම කියන්නේ ඒ නිසාය.

මාර්ග ආරක්‍ෂාව පිළිබඳව ජාතික සභාවේ වාර්තාවලට අනුව මේ මොහොත වන විට ශීඝ්‍රයෙන් ඉහළ යන මාර්ග රිය අනතුරු හේතුවෙන් දිනකට පුද්ගලයන් හයත් - හතත් අතර ප්‍රමාණයකට දිවි අහිමි වන බව කියෑවේ. තුවාල ලබන ප්‍රමාණය ඊටත් වඩා වැඩිය. 


මේ රිය අනතුරු සිදුවීමේ ප්‍රවණතාව සම්බන්ධ සිද්ධීන් විමර්ශනය කිරීමේදී පැහැදිළි වන විශේෂ කාරණයක්‌ තිබේ. ඒ එම අනතුරු වැඩි වශයෙන් සිදුවී ඇත්තේ අධික වාහන තදබදයක්‌ හෝ දවසේ කාර්යබහුල අවස්‌ථාවන්හි නොවන බවය.

(තදබදයක්‌ පවතින අවස්‌ථාවලදී වාහන එකිනෙක ගැටීම් වාර්තා වන නමුදු ඒවා මාරක රිය අනතුරු ලෙස වාර්තා වූ අවස්‌ථා අවමය) බොහෝ රිය අනතුරු සිදුව තිබෙන්නේ මාර්ගය "නිදහස්‌" වූ අවස්‌ථාවලය. රාත්‍රිය හෝ දහවල යනුවෙන් එහි වෙනසක්‌ දක්‌නට නැත.

2015 වර්ෂයේ අවසන් දින කිහිපයේ (දෙසැම්බර් 26 වැනිදා සහ 30 වැනිදා) වරකාපොළදී සහ නෙලුම්දෙණියේදී සිදුව තිබූ අනතුරු ඊට නිදසුන්ය. වරකාපොළ අනතුර සිදුව තිබුණේ උදේ පාන්දරය. මාර්ගය නිදහස්‌ය. වාහනයක්‌ එන්නේ ඉඳහිටය. එවැනි පසුබිමක අනතුරක්‌ සිදුවීමට ඇති ඉඩකඩ පිළිබඳ මානසිකත්වය ඉබේම පහව යන්නේය.

නෙලුම්දෙණියේ අනතුර සිදුව තිබුණේ පාන්දරක නොවුණත් මාර්ගය නිදහස්‌ව තිබී ඇති බව වාර්තා වේ. වෑන් රථයක්‌ නුවර පාරේ වම්පස මාර්ගයෙන් අයිනට වන්නට නවතා තිබූ මොහොතක අධික වේගයෙන් පැමිණි ටිපර් රථයක්‌ එම වෑන් රියෙහි ගැටී අසල වූ ප්‍රපාතයකට පෙරළී තිබේ. මේ අනතුර නිසා දස දෙනකු ජීවිතක්‍ෂයට පත්ව තිබිණි.

මීට පෙරද අප වරින් වර සටහන් කළ පරිදි මේ මාරක රිය අනතුරුවලට ප්‍රධානතම හේතුව වී තිබෙන්නේ රිය පදවන්නන්ගේ සේම පදිකයන්ගේද නොසැලකිලිමත් බවය. 


ඇත්තෙන්ම මාර්ග තදබදය පවතින මොහොතක පමණක්‌ නොව දවසේ ඕනෑම වේලාවක මහා මාර්ගයේ ගමන් කරන වාහන කොතරම් සංඛ්‍යාවක්‌ මාර්ග නීති පිළිපදිමින්, විනයගරුකව ගමන් කරනවා දැයි ඒ ගැන විමර්ශනය කරන ඕනෑම කෙනකුට අවබෝධ වන කාරණයකි.

වාහනයක සුක්‌කානම "බරපතල ආයුධයක්‌" යෑයි සිතාගෙන චණ්‌ඩිකමක්‌ හිතට ගෙන රිය පදවන නසරානි රියෑදුරන් ගැන අමුතුවෙන් ලිවීමට අවශ්‍ය නැත. එවැනි අත්දැකීම් දිවයිනේ කොයි තැනක වුව වාහනයක්‌ පදවා ඇති අයෙකුට ලැබී ඇති බව නිසැකය. 


මහ පාරේ රිය පදවන්නේ තමන් පමණක්‌ යෑයි සිතා අවිනීත ආකාරයට රිය පදවන්නන්ද, රිය පැදවීමට පමණක්‌ නොව ඕනෑම රැකියාවක්‌ කිරීමේදී ප්‍රගුණ කළ යුතු හික්‌මීම, විනය අහෝසි වූ මදාවි රියෑදුරන්ද මාර්ග සංඥ නීති රීති පිළි නොපදින්නන්ද රිය අනතුරුවලට මූලිකවම හේතු වී තිබෙන බව කිව යුතුය.

විශේෂයෙන් රියෑදුරු පුහුණු පාසල්වලදී රියෑදුරු පුහුණුව ලබාදීමේදී මෙකී කාරණය පිළිබඳව වැඩි සැලකිල්ලක්‌ දැක්‌විය යුතුය. නොඑසේනම් රියෑදුරු බලපත්‍ර ලබාදීමේ පරීක්‍ෂණය, පවතින මට්‌ටමට වඩා "බරපතල" එකක්‌ බවට පත් කළ යුතුය. මෙහිදී අප බරපතල යන වචනය අවධාරණය කරන්නේ බලපත්‍ර නිකුත් කිරීමේදී පවතින ක්‍රමය "සරල" එකක්‌ නිසාය.

(බර වාහන රියෑදුරු බලපත්‍රවල ක්‍රමවේදය පවා වෙනස්‌ විය යුතු බව අපේ අදහසයි.) පරීක්‍ෂකවරයා සමඟ හැතැම්මක්‌ දෙකක්‌ ගමන් කර "රිව(ර්)ස්‌" එකක්‌ ගැසූ පමණින් රියෑදුරු බලපත්‍රයක්‌ ලබා දෙනවාට වඩා මාර්ගයේ තදබදය පවතින අවස්‌ථාවල මාර්ග සංඥ පුවරු අසලදී රියෑදුරු බලපත්‍රයක්‌ අපේක්‍ෂා කරන්නෙකුගේ හැසිරීම, විනය, අවනත වීම, ඉවසිලිමත් බව මේ ආදී බොහෝ කරුණු ගැන විමර්ශනය කර රියෑදුරු බලපත්‍ර නිකුත් කිරීමේ වැඩපිළිවෙළක්‌ සැකසිය යුතුය. 


මේ වන විටත් රියෑදුරු බලපත්‍ර ලබාගෙන ඇති රියෑදුරන්ටද පොලිස්‌ රථවාහන අංශයේ මැදිහත්වීමෙන් හෝ එකී කාරණා සම්බන්ධයෙන් යම් වැඩපිළිවෙළක්‌ ක්‍රියාත්මක කළ යුතුය. විශේෂයෙන් පුද්ගලික බස්‌ රථ සහ ත්‍රිරෝද රථ රියෑදුරන් බොහෝමයකගේ නොහික්‌මුණු හැසිරීම් පිළිබඳව නිසි අවධානයක්‌ යොමු කිරිම කළ යුතුය.

පවතින නීති රීතීන් යාවත්කාලීන කරමින් නිරන්තර අවධානයක්‌ යොමු නොකළහොත් 2016 වර්ෂය අවසානය වන විට මාර්ග රිය අනතුරු සංඛ්‍යාවේ වර්ධනය ගැන පමණක්‌ අපට කතා කරන්නට සිදුවනු නොඅනුමානය.
 
Related Posts with Thumbnails