Ads 468x60px

.

සෞදි රටේ දහස්‌ ගණනක්‌ කරුණාවතීලා අත්විඳින අකරතැබ්බ...


මරණ තර්ජන මැද සෞදි රටේ කළුවර කාමරයක සිරකරගෙන සිටින බී. ජී. කරුණාවතී නමැති තිස්‌ අට හැවිරිදි තමන්ගේ බිරිඳගේ ජීවිතය බේරා දෙන්න යෑයි ඇගේ සැමියා විදේශ රැකියා අමාත්‍යාංශයෙන් ඉල්ලා සිටින බව සඳහන් ප්‍රවෘත්තියක්‌ ඊයේ පුවත් පළවී තිබිණි. 

ප්‍රවෘත්තියේ සඳහන් වන පරිදි විදේශ රැකියා ඒජන්සි දෙකකින් ව්‍යාජ ලිපි සකසා ඔහුගේ බිරිඳ සෞදියට යවා තිබේ.

මෙවැනි සිදුවීම් හද සසල කරවන සුළුය. කරුණාවතී දරුවන් දෙදෙනකු ගේ මවකි. තෙල් සැප ඇති රටවලින් ඇසෙන මෙවැනි බොහෝ සිදුවීම් වලදී පවුලේ උදවිය සියල්ලෝම අපා දුකේ වැටෙන බව අමුතුවෙන්

කිවයුතු නැත. 

ඒ, එම පවුලේ උදවියට ආදායම් මාර්ගයක්‌ අහිමි වීම නිසා නොවේ. තම සමීපතමයා වෙනුවෙන් කළ හැකි දෙයක්‌ නැති නිසාය. කරුණාවතීගේ සැමියා කියන පරිදි "විදේශ රැකියා ඇමැතිතුමියටද" මේ බව දැනුම් දී තිබෙන නමුත් තවමත් පියවරක්‌ ගෙන නැත. 

එසේ තිබියදී කොළඹිනුත් හද්දා පිටිසර ගම්වල මෙවැනි දුකට පත්වූ උදවිය මොන කෙංගෙඩියක්‌ කරන්නද? දරුමල්ලන් අතින් කටින් එල්ලාගෙන, විදේශ සේවා නියුක්‌ති කාර්යාංශයටත්, විදේශ කටයුතු අමාත්‍යාංශයටත් පුළු පුළුවන් හැටියට පැමිණ දුක්‌ගැනවිල්ල කියන එක හැරුණු විට ඒ අයට ඉතිරිවන්නේ තම දුක දෙවියන්ට කීම පමණි.

ඇත්ත වශයෙන්ම මැද පෙරදිග බැල මෙහෙවර සඳහා යන මෙවැනි බොහෝ පිරිසක්‌ වෙනුවෙන් අදාළ ආයතන සියයට සියයක්‌ කැප වෙතැයි කිව නොහැකි නමුත් යන්තමින් හෝ ඒ ගැන සොයා බැලීමක්‌ කරන බවද කිව යුතුය. 


ප්‍රශ්නය වන්නේ රට රැකියාවලට ගියාය කියන බොහෝ පිරිසක්‌ රටින් පිටව ඇත්තේ කොහොමදැයි අගක්‌ මුලක්‌ සොයා ගන්නට නොහැකි වීමය. කරුණාවතීගේ සැමියාම ඊට උත්තර සපයා තිබේ. "විදේශ රැකියා ඒජන්සි දෙකකින් ව්‍යාජ ලිපි ලේඛන හදලා මගේ බිරිඳ රට යෑව්වා." ඔහු කියන්නේ එබන්දකි.

2016 වර්ෂයේ සිට විදේශ සේවා නියුක්‌ති කාර්යාංශයේ ලියාපදිංචි නොවී මැදපෙරදිග යන කිසිවෙකුත් සම්බන්ධයෙන් වගකීමක්‌ ගන්නේ නැතැයි විදේශ සේවා ඇමැතිනි තලතා අතුකෝරල මහත්මියද පවසා තිබිණි. 


පසුගිය කාලයේ "කරුණාවතී" මෙන්ම තෙල් රටවල ගෘහ සේවයට ගොස්‌ සැප වෙනුවට දුකම වළ¹ විවිධ වධ හිංසාවලට ලක්‌ව ඒ ඒ රටවල සුරක්‍ෂා නිවාසවල රැඳී සිටි එකසිය පනහකට ආසන්න පිරිසක්‌ මෙරටට පැමිණි බව වාර්තා විණි. 

ඒ කිසිවකුත් හරිහම්බ කරගත් දෙයක්‌ නොතිබිණි. පැමිණ තිබුණේ හිස්‌අතින්ය. තවත් එවැනි හය සියයකට ආසන්න පිරිසක්‌ දුකට පත්ව සිටින බව ඒ පැමිණි පිරිස පවසා තිබිණි.

හැබෑව නම් මේ ගිය කිසිවෙකු හෝ විදේශ සේවා නියුක්‌ති කාර්යාංශයේ හෝ අදාළ වගකිවයුතු කිසිදු තැනක නීත්‍යානුකූල සටහන් තැබීමකින් පසුව පිටත්ව නොගිය බවය. 


දරුවා පාසලට ඇතුළත් කර ගැනීමේ සිට රැකියාවට ඇතුළත් වීම දක්‌වා සියලු කටයුතු "පහසුවෙන්" කර ගන්නට ඕනෑම තක්‌කඩියකුට රැවටෙන රටක, ඕනෑම කෙනෙක්‌ "හොර ඒජන්සි කඩයකට" මාට්‌ටු වීම පුදුමයට කාරණයක්‌ද නොවේ. 

ඊළඟ කාරණය වන්නේ මේ ගිය වැඩි පිරිසක්‌ " මැද පෙරදිග ගෘහ සේවය" රැකියාව ලෙස තෝරාගත් පිරිස වීමය. කොළඹින් පිට ඈත ගම්වල බොහෝ දෙනෙකුට ඒ හැරෙන්නට මැද පෙරදිග ගොස්‌ වෙනත් රැකියාවක්‌ සොයා ගන්නට නැති නිසාම නොවේ.

දූ දරුවන්ට අධ්‍යාපනය ලබා දෙන්නට, හොඳ ගෙයක්‌ නොව ඉන්න හිටින්නට තරමින් සෑහෙන ගෙයක්‌ සාදා ගන්නට තෙල් රටවල බැල මෙහෙවර කර හෝ කීයක්‌ හරි හම්බ කරගන්නවා යෑයි සිතන අහිංසක අම්මලාට හොර ඒජන්සි කඩකරුවන් කියන සුරංගනා කතා නිසාය.

අප විශ්වාස කරන්නේ මේ ශ්‍රමිකයන් රට පැටවීමේ ක්‍රමවේදයේ අවිධිමත් බවක්‌ ඇති බවය. ගෘහ සේවය මෙන්ම තවත් රැකියා අවස්‌ථා බොහොමයක්‌ ඒ රටවල තිබේ. තෙල් සල්ලිවලින් සැප විඳිනවා හැරෙන්නට ඒ රටවල අයට රැකියා කිරීමේ ඉස්‌පාසුවක්‌ නැත. 


එහෙයින් එම රැකියා අවස්‌ථා සොයා ගැනීමත්, ඒ අනුව ශ්‍රමිකයන්ගේ සුදුසුකම් අනුව ඒවා වර්ග කිරීමත්, ඔවුන් ලියාපදිංචි කිරීමත් කළ යුතුය. ශ්‍රමිකයන් විදෙස්‌ගත කළ යුත්තේ එවැනි ක්‍රමවේදයක්‌ පදනම්වය. 

එමෙන්ම, හොඳ වැටුප්, ශ්‍රමිකයාගේ ආරක්‍ෂාව, ඔවුන්ගේ සුබසාධනය ගැන එම රටවල් දක්‌වන උනන්දුව ගැනද අවධානය යොමුකළ යුතුය. කරුණාවතීලාට පමණක්‌ නොව තවත් දහස්‌ ගණනක්‌ අත්විඳින අකරතැබ්බවලට මුහුණදීමට එවැනි ඉක්‌මන් වැඩපිළිවෙළක්‌ අවශ්‍යය.
 
Related Posts with Thumbnails