Ads 468x60px

.

තම වෘත්තිය වෛශ්‍යා වෘත්තියෙහි යොදවන බන්ධනාගාර නිලධාරීන්...


පසුගිය 2015 සැප්තැම්බර් මාසයේදී මේ රටේ සියලුම පුවත්පත්වල ප්‍රමුඛ පුවතක්‌ බවට පත්ව තිබූ ප්‍රවෘත්තියක්‌ නැවතත් ඔබට සිහිපත් කරමු. ඒ, දැනට මරණීය දණ්‌ඩනය නියම වී සිටින වෙලේ සුදාගෙන් ඊසි කෑෂ් ක්‍රමයට කෝටි ගණනක මුදලක්‌ 174 දෙනකුට ලැබී තිබුණු බව ය. 

ඒ වෙලේ සුදා අත්අඩංගුවට පත්වීමට පෙරය. ඒ දිනවල වාර්තා වී තිබුණේ ඉන් 45 දෙනකුම බන්ධනාගාර නිලධාරීන් බව ය. 

ඊටත් පසු 2015 දෙසැම්බර් මාසයේ පළමු සතියේ අවසන් දින කිහිපයේ වාර්තා වූයේ මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සමඟ සමීප
සබඳතා පැවැත්වූ බවත් මත්ද්‍රව්‍ය සම්බන්ධව විවිධ චෝදනාවලට ලක්‌ වී ඇති බවත් කියන බන්ධනාගාර නිලධාරීන් තිස්‌දෙනකුගේ වැඩ තහනම් කර ඇති බව ය. ඒ අතුරින් 17 දෙනකුම වෙලේ සුදාගෙන් ලක්‍ෂ ගණනක මුදලක්‌ ලබා ගත් අය බව කියෑවිණි.

තත්ත්වය කොතරම් බරපතළ දැයි කියන්නට තවත් අටුවා ටීකා අවශ්‍ය නොවේ. පසුගිය සතියේ අවසානයේ වාර්තා වූ අලුත්ම ප්‍රවෘත්තිය ද එම බරපතළ තත්ත්වය දෙගුණ තෙගුණ කරවන අන්දමේ එකකි. 


ඒ, වැලිකඩ බන්ධනාගාර නියාමකවරයෙක්‌ රැඳවියන්ට ජංගම දුරකථන 53 ක්‌ ලබා දී ඇතැයි කියන සිද්ධියයි. වැලිකඩ හිරගෙදර ෆොන් ෂොප් (PHONE SHOP) එකක්‌ බවට පත් කරගත් මේ නියාමකවරයා පාතාල නායකයකු ලෙස පෙනී සිටිමින් කප්පම් ද ලබා ගෙන ඇතැයි කියති.

බන්ධනාගාරයෙන් මෙවැනි ඉතාම නරක ආරංචි ලැබුණේ අද ඊයෙක සිට නොවේ. එහි අතීත කතාව බොහෝ පැරැණි ය. බත් පැකට්‌ටුව අස්‌සේ සඟවාගෙන ගෙනියන දුම්වැටියෙන් පටන් ගෙන ගංජා මිටිය, කුඩු පැකට්‌ටුව දක්‌වා වර්ධනය වූ ක්‍රියාවලිය තුළ හරි හම්බ කරගත් ගාඩ්වරු ගැන බොහෝ කතා තිබේ. 


ඇත්තෙන්ම බන්ධනාගාරය තුළ කළ නො හැක්‌කේ කවරක්‌ද යන්න කෙනෙක්‌ පවසන තරමටම තත්ත්වය වර්ධනය වී තිබෙන බව කිව යුතුය. බන්ධනාගාරයේ පරිපාලනයට පත්වන කවර නිලධාරියකු හෝ වේවා තත්ත්වය දැන් සමනය වී ඇතැයි කීවද හිටි හැටියේ අමුතු කතන්දර එළියට එන්නේ ඒ නිසා ය.

බොහෝ නියාමකවරුන්ට එල්ලවන චෝදනා අතර බන්ධනාගාරය තුළට මත්ද්‍රව්‍ය හා ජංගම දුරකථන රැගෙන යැම, මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සමඟ සමීප සබඳතා පැවැත්වීම, සැකකරුවන්ට විශේෂ පහසුකම් සැලසීම ආදී බොහෝ කාරණා තිබේ. 


විශේෂයෙන් අධිකරණ භූමියකදීම මත්ද්‍රව්‍ය ජාවාරම්කාර රැඳවියකු සමඟ නිදහසේ කතාබහ කිරීමට ඔහුගේ ඥාතියකුට පහසුකම් සලස්‌වා තිබූ බව ද පසුගිය කාලයේ වාර්තා වී තිබිණි.

අප මේ කියන්නේ සමස්‌ත බන්ධනාගාරයම 'කුණු වී' ඇතැයි යන්න නොවේ. එහෙත් වෘත්තිය වෛශ්‍යා වෘත්තියෙහි යොදවන සුළු පිරිස සමාජයට මුදා හරින පණිවුඩය නරක එකකි. බන්ධනාගාරගත වන ඕනෑම අපරාධකරුවකුට බන්ධනාගාර නිලධාරීන් 'කුලියට' ගැනීමට හැකි වේ යෑයි කෙනකුට සිතීම සාධාරණ ය.

බන්ධනාගාරය යනු අපරාධකරුවකුගේ 'ගෙස්‌ට්‌ හවුසිය'ක්‌, දුරකථන හුවමාරු මධ්‍යස්‌ථානයක්‌, අපරාධ මෙහෙයවීමෙහි හා කප්පම් ගැනීමේ මූලස්‌ථානයක්‌ බවට පත්කර දීමට අවශ්‍ය පසුබිම සකස්‌ කරන්නේ නියාමකවරු යෑයි කියා ගන්නා සමහර අපතයන් ය.

අපරාධකරුවන්ට ඒ ආකාරයෙන් උදව් ලබාදෙන නියාමකයන් හොරකමත්, ජඩකමත්, වෘත්තිය බවට පත් කර ගත්තවුන් ය. 


බන්ධනාගාරය තුළදී අත්අඩංගුවට ගන්නා බොහෝ ජංගම දුරකථන දෙකයි පනහේ ෆොන් විය නො හැක. සුපිරිම ගණයේ ස්‌මාට්‌ ජංගම දුරකථන විය හැකි බව අපේ විශ්වාසයයි. එකෙකු දෙන්නෙකු හිරේට ගිය පමණින් මේ කතාව එසේ නතර වී යෑයි කිසිසේත් සිතිය යුතු නැත. 

බන්ධනාගාරයේ බොහෝ සෙල්ලම් පරම්පරාවෙන් පරම්පරාවට උරුම ව ඇතැයි අපි විශ්වාස කරමු. වර්තමාන බන්ධනාගාර කොමසාරිස්‌ ජනරාල්වරයා මේ තත්ත්වය හොඳින්ම දන්නා බවට මෙන්න කැට.... 

ඊට හේතුව ඔහු බන්ධනාගාර නිලධාරියකු ලෙස වසර ගණනාවක පූර්ණ අත්දැකීම් ඇති නිසා ය. තත්ත්වය පාලනය කිරීමට ඔහුට නො හැකි නම් කිසිවෙකුටත් නො හැකි බව අවධාරණය කළ යුතු ය.
 
Related Posts with Thumbnails