Ads 468x60px

.

ලයිලා ප්‍රශ්නය කවරක්‌ වුවත් ලලයි.... ලිලයි... ලයි... කියමින් සුදි කරන බලධාරීන්...


රටට ප්‍රශ්නවලින් අඩුවක්‌ නැත. හැමදාමත් කුමක්‌ හෝ ප්‍රශ්නයක්‌ නිසා අර්බුදකාරී තත්ත්වයක්‌ මතුවීම රටේ ජනතාවට හුරුපුරුදු දෙයක්‌ වී හමාරය. එහෙත් සමහර ප්‍රශ්න හුරුපුරුදු දෙයක්‌ බවට පත්වනවා
වෙනුවට රටට දැනෙන, ආර්ථිකයට තදින්ම දැනෙන අර්බුදයක්‌ බවට පත්වීම සුළුවෙන් තැකිය නොහැක.

දැන් කරලියට පැමිණ තිබෙන ධීවරයන්ගේ ප්‍රශ්නය එබන්දකි. මේ වන විට රටේ විවිධ ප්‍රදේශවල ධීවර ජනතාව එක්‌ව ධීවර උද්ඝෝෂණ සංවිධානය කරති.

උද්ඝෝෂණ සඳහා නිමිත්ත වී ඇත්තේ තහනම් කරන ලද ධීවර ආම්පන්න භාවිතය සඳහා ධීවර ඇමැතිවරයා විසින් නැවත අවසර ලබාදී ඇතැයි කියන සිද්ධියකි. තහනම් දැල් සහ ආම්පන්න භාවිතය තහනම් කළේ 2015 දෙසැම්බර් 31 වැනිදාය. එහෙත් 2016 ජනවාරි 16 වැනිදා සිට චක්‍රලේඛයක්‌ මගින් නැවත ඊට අවසර ලබා දී ඇති බව කියති. 


ධීවරයෝ උද්ඝෝෂණයේ යෙදෙන්නේ කවුරුන් හෝ ගත් මේ තකතීරු තීරණයට එරෙහිවය. ඊට හේතුවක්‌ තිබේ. මේ කියන තහනම් පන්න ලෙස හඳුන්වන්නේ "ලයිලා" දැල් හා "සුරුක්‌කු" දැල්ය. එම දැල් යොදා මාළු ඇල්ලීමේදී ඉතා කුඩා මසුන් පවා එම දැලට හසුවෙති. 

ඒ නිසාම ඉක්‌මනින්ම මත්ස්‍ය සම්පත වඳවී යැමේ තර්ජනයක්‌ ඇති බව ඒ සියලුම ධීවරයන් පවසා සිටිති. සුරුක්‌කු හා ලයිලා දැල් මගින් ඉතා කෙටි කාලයක්‌ තුළ විශාල මසුන් ප්‍රමාණයක්‌ අල්ලා ගැනීමේ වාසියක්‌ තිබේ. 

එහෙත් එහි ඇති අවාසිය ඊට වඩා ප්‍රබලය. තහනම් පන්න නිසා කුඩා මාළු වඳවී යැම පමණක්‌ නොව මුහුදු පත්ලේ විවිධ ශාක - පැළෑටිවලටද හානි පැමිණෙන බව අදාළ බලධාරීන් දැනුවත් කරන ලද්දේ ඉතා දීර්ඝ කාලයක පටන් බව අපි සිහිපත් කරමු. 

අදාළ පන්න සඳහා තහනමක්‌ ක්‍රියාත්මක කරන ලද්දේද එහෙයිනි. එසේ තිබියදී තහනම ඉවත් කරන මට්‌ටමේ අන්තිම නරක තීරණයක්‌ ගත් විට ධීවරයන් පාරට බැසීම සාධාරණය.

ත්‍රිකුණාමලය, මන්නාරම, කල්පිටිය, හලාවත, පුත්තලම, වෙන්නප්පුව, බත්තලංගුණ්‌ඩුව වැනි ප්‍රදේශවල ධීවරයෝ පාරට බැස්‌සේ සමස්‌ත ධීවර ජනතාවටම දැනෙන මේ ප්‍රශ්නය විස
ගන්නටය. එහෙත් තවමත් ඒ ප්‍රශ්නයට විසඳුම් ලබා දෙන බවක්‌ පෙනෙන්නට නැත.

කොහොමත් එවැනි ප්‍රශ්න විසඳනවා වෙනුවට ඇමැතිවරුන්ට වෙනත් ප්‍රශ්න ඇති බව පෙනේ. ධීවර විෂය භාර කැබිනට්‌ ඇමැතිවරයාටත් එම විෂයෙහිම කටයුතු කරන රාජ්‍ය ඇමැතිවරයාටත් විස
ගැනීමට තිබෙන ගැටලුව "ධීවර ප්‍රශ්නයට" වඩා බෙහෙවින් ලොකුය. ඒ දෙදෙනාටම ඇත්තේ බලතල පිළිබඳව ප්‍රශ්නයකි.

බලතල තිබුණද ඇමැතිවරු ජනතා ප්‍රශ්න විසඳන්නේ නැති බව ඇත්තය. එය වෙනම කතාවකි. කැබිනට්‌ ඇමැතිවරයා කියන්නේ රාජ්‍ය ඇමැතිවරයාට වැඩ බැරි බවය. දැන් රාජ්‍ය ඇමැතිවරයා කියන්නේද ඒ කතාවය. 


මේ දෙදෙනාම එකතු වී තමන්ට "වැඩ පුළුවන්" බව පෙන්වන්නට අවස්‌ථාවක්‌ ලැබී තිබේ. ඒ, මෙම ධීවර උද්ඝෝෂණයට හේතුව වූ අර්බුදය විසඳීමය. කරුමෙට මෙන් එසේ කරන්නට යෑයි එම දෙපළට උපදෙස්‌ දෙන්නට හෝ කිසිවෙකුත් වත්මන් ආණ්‌ඩුවේ නැති බවක්‌ පෙනේ.

තහනම් පන්න නිසා විශාල මසුන් ප්‍රමාණයක්‌ මියගොස්‌ මත්ස්‍ය සම්පත හීනවීමේ අවදානමක්‌ ඇති බව ධීවරයෝ පෙන්වා දෙති. රට වටේම මුහුද තිබියදීත් රටේ පුරවැසියන්ට දිනකට ලැබෙන්නේ මාළු ග්‍රෑම් 63 ක්‌ බව සමස්‌ත ලංකා පොදු ධීවර සම්මේලනයේ සභාපති නිහාල් ගලප්පත්ති පවසයි. පෙර කී පරිදි මත්ස්‍ය සම්පත විනාශ වී ගියහොත් තත්ත්වය කොහොමට හිටීවිදැයි අපි අදාළ බලධාරීන්ගෙන් අසමු.

ලයිලා ප්‍රශ්නය කවරක්‌ වුවත් ලලයි.... ලිලයි... ලයි... කියමින් සුදි කරන බලධාරීන්ගෙන් ධීවර ජනතාවට වැඩක්‌ නැත. ධීවරයන් මේ පාරට බැස්‌සේ එක ප්‍රශ්නයක්‌ වෙනුවෙන් පමණය. ඇත්තටම එය ධීවරයන්ගේ පමණක්‌ නොව රටේම ප්‍රශ්නයකි. ධීවර ජනතාවට තවත් ප්‍රශ්න එමටය. 


එම ප්‍රශ්න අතර ඇමැති දෙපළගේ ප්‍රශ්නය නැත. ධීවර ජනතාව පමණක්‌ නොව රටේ හැමෝම බලාපොරොත්තු වූයේ සම්මුතිවාදය අනුව වැඩ කරන ඇමැතිවරු සිටින ආණ්‌ඩුවකි.
 
Related Posts with Thumbnails