Ads 468x60px

.

තද කර ගැනීමට ඇති පටියේ ඉඩ ප්‍රමාණය...


පසුගිය 21 වැනි සඳුදා මධ්‍යම රාත්‍රියේ සිට, ග්‍රෑම් 450 ක්‌ බරැති පාන් ගෙඩියක මිල රුපියල් හතරකින් ඉහළ දැමීමට සමස්‌ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය කටයුතු කර තිබිණි. මේ නිසාම රටේ ජනතාවගේ හිස මතට පැටවෙන බර ග්‍රෑම් 450 කට වඩා වැඩිවන බව කිව යුතුය. 

අපේකම ගැන හැඟීමෙන් පාන් පිටි ත්‍රස්‌තවාදයක්‌ ගැන කතා කරන නමුත් රටේ ජනතාවගෙන් බහුතරයක්‌ පාන් සමඟ ඇති බැඳීම සැඟවිය නොහැක්‌කකි. ප්‍රංශ නිදහස්‌ සටන නිසා ආර්ථික අර්බුදයකට මැදි වූ
ජනතාව ප්‍රංශයේ ලුවී රජුගේ මාලිගය ඉදිරියට පැමිණ කෑගසන විට ලුවීගේ ඇඹේනිය වූ මාරි ඇන්ටනොව් රැජින කීවේ "පාන් නැත්නම් කේක්‌ කාපල්ලා" යනුවෙනි.

ප්‍රංශයට ඒ කතාව හරිය. අපට හරි යන කතාව රටේ බොහෝ දේශපාලනඥයන්ගේ මුවින් නිතර පිට වේ. ඒ "බතට හුරුවෙයල්ලා" යන්නයි. එහෙත් "සහල් ගිනි ගණන් යෑයි" කියමින් රටේ ජනතාව ජනාධිපති මැඳුර ළඟ තබා, බිම් මට්‌ටමේ ආසන සංවිධායකවරයෙක්‌ගේ නිවස අසල හෝ උද්ඝෝෂණය කරන්නේ නැත. 


ඒ කිසිවෙකුත් "හාල් නැත්නම් කේක්‌ කාපල්ලා" කියන්නේද නැත. එසේ කියන්නට බැරි හේතුවක්‌ තිබේ. "කේක්‌" කෑ හැකි අන්දමට "සියලු දීමනා" වැඩි වූයේ ද ඒ උදවියටම වන නිසාය. ජනතාවට පානුත් නැත. හාලුත් නැත.

පාන් දුප්පතාගේ ආහාරයකි. එදත් අදත් අපේ රටේ පාන් වැඩිපුරම පරිභෝජනයට ගන්නේ වතු කම්කරු ජනතාව සහ මධ්‍යම පාන්තික ජනතාවය. මුල් යුගයේ පාන් කරත්තයත්, පාන් මාමාගේ බයිසිකලයත් එනතුරු දොරකඩට වී සිටි ජනතාව අදත් මගටම වී සිටිති. 


ඒ "චූන් පාන්" එනතුරුය. "මියුසික්‌" සමඟ එන ත්‍රීවීල් පෙට්‌ටියේ හෝ බට්‌ටා වෑන් රිය වටකරගෙන අදත් ඒ පිරිස පාන්, මාළු බනිස්‌, සීනි බනිස්‌, ක්‍රීම් බනිස්‌ ගනිති. 1939-1945 යුගයේ ශත 10 - ශත 25 ට තිබූ යුගයේ පටන් පාන් ගෙඩියක්‌ රුපියල් 54 ක්‌ දක්‌වාම මිල ඉහළ යනතුරුත් පාන් චූන් අඩු වී නැත. දැනගන්නට ඇති පරිදි රටේ දිනකට පාන් ගෙඩි ලක්‍ෂ 25 ක්‌ පමණ නිෂ්පාදනය කෙරේ.

සාර් පාලනයට එරෙහිව විප්ලවය කරන යුගයේදී "ලෙනින්" ද "පාන්" ගැන කතා කර තිබිණි. ලෙනින් කීවේ "පාන් සහ සාමය" ජනතාවට ලබාදෙන බවය. දේශපාලනය තුළ "පාන්" යනු වැදගත් සාධකයක්‌ බව ඉන් තහවුරු වේ. 


1980 වර්ෂයේ රුපියලකුත් ශත අනූතුනකට (රුපියල් 1.93 කට) තිබූ පාන් රාත්තල 1990 වන විට රුපියල් 5.05 ක්‌ දක්‌වා ඉහළ නැඟ තිබිණි. 

1994 වර්ෂයේ චන්ද්‍රිකා බණ්‌ඩාරනායක කුමාරණතුංග මහත්මියගේ ජනාධිපතිවරණ පොරොන්දුවක්‌ වූයේද තමා බලයට පත්වූ පසු රුපියල් තුනයි පනහට පාන් රාත්තලක්‌ ලබාදෙන බවය. එය ස්‌ථාවර පොරොන්දුවක්‌ නොවිණි. ඉතාම කෙටි කාලයක්‌ තුළ එම මිල නැවත වැඩි විණි. 

කෙසේ හෝ මේ ප්‍රශ්නය එදිනෙදා කීයක්‌ හෝ හරි හම්බ කරගෙන පාන් කාලක්‌ කා ප්ලේන්ටියක්‌ බී ජීවිතය ගැටගහගන්නා උදවියට බරපතළ එකක්‌ වන බව නියතය. පාන් පෙත්තක්‌ සමඟ මාළු පෙත්තක්‌ කා මෝල්ට්‌ පානයක්‌ ඒ උදේ පාන්දර ටොරින්ටන් වටරවුමේ, දියවන්නාවේ ශාරීරික ව්‍යායාම් සඳහා යන එන බොහෝ උදවියට "රුපියල් හතර" වැඩිවිම කඡ්ජක්‌ නොවන්නට පුළුවන.

ලෝක වෙළෙඳපොළේ තිරිඟු පිටි මිල අඩු වී ඇති නිසා පිටි මිල අඩුවනු ඇතැයි පසුගිය සතිය තුළ තමන් බලාපොරොත්තුව සිටි නමුත් එසේ සිදු නොවූ බව සමස්‌ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය පවසයි. 


පාන් මිල වැඩිවන්නේ ඒ අනුවය. ආනයනික තිරිඟු ඇට කිලෝවක්‌ සඳහා ලබා දී තිබූ බදු සහනය ඉවත් කිරීම නිසා ප්‍රධාන පෙළේ සමාගම් ද තිරිඟු පිටි කිලෝ ග්‍රෑමයක මිල රුපියල් 7.20 කින් ඉහළ දමා තිබිණි.

දැන් රටේ ජනතාවට හාලුත් නැත. පානුත් නැත. තද කර ගැනීමට ඇති පටියේ ඉඩ ප්‍රමාණය ද ඉවර ය.
 
Related Posts with Thumbnails