Ads 468x60px

.

තවමත් අනතුර තේරුම් ගෙන නැති බ්‍රසල්ස්‌ ප්‍රහාරය...


බෙල්ජියමේ බ්‍රසල්ස්‌ අගනුවර සෙවැන්තම් ජාත්‍යන්තර ගුවන් තොටුපළේත්, උමං දුම්රියපළ අසලදීත්, බෝම්බ තුනක්‌ පුපුරා ගියේ ජාත්‍යන්තරයම සසල කරමිනි. ඊයේ වන විට වාර්තා වී තිබුණේ, එම බෝම්බ පිපිරීමට පසුව 34 දෙනෙකු ජීවිතක්‍ෂයට පත්ව 170 කට අධික පිරිසක්‌ තුවාල ලබා ඇති බවය. ප්‍රහාරයේ වගකීම අයි. එස්‌. අයි. එස්‌. ත්‍රස්‌තවාදීන් භාරගෙන තිබේ.

රටක්‌ වශයෙන් අපිදු මේ සිදුවීම ගැන දැඩිව කම්පා වන්නෙමු. ඒ අන් කිසිදු කාරණයක්‌ නිසා නොව ත්‍රස්‌තවාදය, අන්තවාදය, ම්ලේච්ඡත්වය

පිළිකුල් කරන ජාතියක්‌ වෙසෙන රටක්‌ හැටියට ය. ත්‍රස්‌තවාදයේ කුරිරු බව සම්බන්ධයෙන් අපට අත්දැකීම් රාශියක්‌ තිබේ. එහෙයින්ම ඝාතනය වූ සියල්ලන් වෙනුවෙන් ශෝකය ද ප්‍රකාශ කර සිටින්නෙමු.

2001 සැප්තැම්බර් 11 වැනිදා ඇමරිකානු ලෝක වෙළෙඳ මධ්‍යස්‌ථානයට එල්ල වූ ප්‍රහාරයෙන් පසුව, ත්‍රස්‌තවාදී ප්‍රහාරයක්‌ නිසා ජාත්‍යන්තරය බොහෝ සේ කම්පනයට පත් වූයේ 2015 නොවැම්බර් මාසයේ ප්‍රංශයේ පැරිස්‌ නුවරට එල්ල කළ ප්‍රහාරයේදීයි. ඒ ද අයි.එස්‌.අයි.එස්‌. ම්ලේච්ඡයන් විසින් එල්ල කරන ලද ප්‍රහාරයකි. මේ තුන්වැනි අවස්‌ථාවයි.

ප්‍රංශයේ පැරිස්‌ නුවරට එල්ල කළ ප්‍රහාරය සේම බ්‍රසල්ස්‌ නුවරට එල්ල කළ ප්‍රහාරය ද ඉතා සංවිධානාත්මක එකකි. එම ප්‍රහාරය තැනක්‌, ප්‍රදේශයක්‌ හෝ මර්මස්‌ථානයක්‌ ඉලක්‌ක කර ගනිමින් එල්ල කළ ප්‍රහාරයක්‌ නොව, ස්‌ථාන කිහිපයක්‌ ඉලක්‌ක කරගත් ප්‍රහාරයකි. 


වැඩි විනාශයක්‌ සිදු කර, ප්‍රංශයටත්, බ්‍රසල්ස්‌ නුවරටත් පාඩමක්‌ ඉගැන්වීම ත්‍රස්‌තයන්ගේ අරමුණ වී තිබුණු බව පැහැදිලිය. පසුගිය 18 වැනි සිකුරාදා අයි. එස්‌. ත්‍රස්‌ත සංවිධානයට සම්බන්ධ යෑයි කියන සලේ අබ්දෙල්සාම් අත්අඩංගුවට ගැනීමට ප්‍රංශ සහ බ්‍රසල්ස්‌ ආරක්‍ෂක අංශ කටයුතු කර තිබිණි. පැරිස්‌ ප්‍රහාරයේ ප්‍රධාන සැකකරුවා වන්නේ මේ කියන 'අබ්දෙල්සාම්' ය.

කරුමයකට මෙන් ලොව පුරා විහිද ඇති ත්‍රස්‌තවාදී සංවිධාන ගැන ඇඟ ලොමු දැහැගැන්වෙන තොරතුරු සපයන, ඒ ඒ රටවලට ඇති තර්ජන ගැන අනතුරු අඟවන ඇමරිකාව, බ්‍රිතාන්‍යය, ප්‍රංශය ප්‍රමුඛ බොහෝ රටවල බුද්ධි අංශවලට මෙවැනි ප්‍රහාර ගැන හාංකවිසියක්‌වත් දැන ගන්නට නොලැබීමය. 


කෙසේ හෝ මේ ප්‍රහාර සියල්ලම ජාත්‍යන්තර යුද විශේෂඥයන්ටත් (යුද අපරාධ ගැන විමර්ශනය කරන) ජාත්‍යන්තර බුද්ධි අංශවලටත් අගනා පාඩමක්‌ කියා දේ. එපමණක්‌ නොව ත්‍රස්‌තවාදය සමඟ ගනුදෙනු කරන බොහෝ රටවලට එළැඹ තිබෙන අනතුර පිළිබඳ පාඩම් කියා දෙන්නකි. 

පැරිස්‌ ප්‍රහාරයත් සමඟම ජර්මන් ජනාධිපතිනිය කීවේ ත්‍රස්‌තවාදය සහමුලින් ම ඉවත් කළ යුතු බවය. බ්‍රසල්ස්‌ ප්‍රහාරය හෙළා දකිමින් ජාත්‍යන්තරයේ බොහෝ රටවල් ප්‍රකාශ නිකුත් කර තිබෙනු අන්තර්ජාලය පිරික්‌සීමේදී පෙනේ. 

එහෙත් ත්‍රස්‌තවාදය ව්‍යාප්ත වීමේ බරපතළකමත්, ත්‍රස්‌තවාදය පෝෂණය කිරීමෙහි ඇති අනතුර ගැනත්, ත්‍රස්‌තවාදයේ භයානකකමත්, ත්‍රස්‌තවාදය මුලිනුපුටා දැමීමේ යුක්‌ති යුක්‌ත බවත් රටක්‌ වශයෙන් ලොවට ආදර්ශයෙන්ම පෙන්වා දුන්නේ ශ්‍රී ලංකාවයි. 

ඒ යුතුකම ඉෂ්ට කළ මිනිසුන්ට ඒ නිසාම විවිධ කෙණෙහිලිකම් සිදුවීම වෙනම කාරණයකි. දැන් මේ මොහොත වන විට කුරිරු ත්‍රස්‌තවාදය පිටු දැකිය යුතු යෑයිද. මේ ම්ලේච්ඡත්වය සහමුලින් උපුටා දැමිය යුතු යෑයි ද කියමින් සිටින රටවල් එකල ත්‍රස්‌තවාදීන් හැඳින්වූයේ 'විමුක්‌තිකාමීන්' යනුවෙන් බව ද අමතක කළ යුතු නැත.

බෙදුම්වාදය වෙනුවෙන් ද ඊනියා නිජබිම් අයිතිය වෙනුවෙන් ද සටන් වැද සිටි ම්ලේච්ඡ ත්‍රස්‌තයන්ගේ බොහෝ 'කඳවුරු' පිහිටා තිබුණේ යුරෝපයේ බොහෝ රටවලම බව අමතක කළ යුතු නැත. 


එපමණක්‌ නොවේ විවිධ රටවල ත්‍රස්‌ත ක්‍රියාකාරකම් පෝෂණය කිරීමේ මෙහෙයුම් මධ්‍යස්‌ථාන පිහිටා තිබුණේ අද තර්ජනයට ලක්‌ව තිබෙන රටවලමය. පැරිස්‌, බ්‍රසල්ස්‌, පිපිරීම් ඒ රටවලට අගනා පාඩමක්‌ කියා දී ඇතැයි අප මුලින් සඳහන් කළේත් ඒ නිසාය.

බ්‍රසල්ස්‌ ප්‍රහාරයේ වගකීම භාරගෙන ඇති අයි.එස්‌.අයි.එස්‌. ම්ලේච්ඡයන් යනු එල්.ටී.ටී.ඊ.යට පසු බිහිව තිබෙන කුරිරුතම සංවිධානය බව අපේ විශ්වාසයයි. තමන්ට එරෙහි තමන්ගේ මූලධර්මවාදී මතවාදයන් පිළිනොගන්නා කිසිවෙකුත් ජීවත් නොවිය යුතු යෑයි අයි.එස්‌. ත්‍රස්‌තයෝ විශ්වාස කරති. 


මේ ම්ලේච්ඡයන් අති අමානුෂික මිනිස්‌ ඝාතන සිදු කරන්නේ දෙවියන්ගේ නියමය එය බව කියමිනි. මේ දේව නියමයට අනුව ජාත්‍යන්තරයේ තවත් බොහෝ රටවල බෝම්බ පිපිරීමට නියමිත බවක්‌ පෙනෙන්නට තිබේ.
 
Related Posts with Thumbnails