Ads 468x60px

.

රතුගල ආදිවාසී නායකයාගේ බිරිඳගෙන් අසන්නට හිරිකිත හිතෙන කතාවක්‌...


පොලිසිය නැවතත් අශූචි බාල්දියක්‌ ඇඟේ හලාගෙන ඇති බව වාර්තා වේ. නිකංම නොවේ. අශූචි බාල්දිය හොඳින් දිය කර නාගෙන ඇති බව කිව යුතුය. මේ ගඳ ගහන වැඩවලට පොලිසියේ උදවිය කුමන හේතුවක්‌ නිසා හෝ ප්‍රියකරන බවක්‌ පෙනෙන්නට තිබේ. 

"ජරාව" සම්බන්ධයෙන් පොලිසිය නරක අන්දමට නම කැත කරගෙන සිටින අතරවාරයේම තව තවත් එවැනි සිදුවීම් වාර්තා වීම සුලභ කරුණක්‌ බවට පත්ව තිබේ. මෙවර පොලිසිය ඇදගෙන නා ඇත්තේ "රතුගල වැදි
නායකයා" ගේ නිවසට කඩා පැනීමෙනි. 

සිද්ධිය මෙසේය.

බිබිල රතුගල ආදිවාසී නායකයාගේ නිවසෙහි පසුගිය 23 වැනිදා "මල්වර මඟුලක්‌" (සාදයක්‌) පැවැත්වෙමින් තිබී ඇත. රාත්‍රී නවයට පමණ රත්මල්ගහඇල්ල පොලිස්‌ මුරපොළේ නිලධාරීන් හතරදෙනකු පැමිණ නිවසෙහි විදුලිය විසන්ධි කර රැස්‌ව සිටි 40 ක පමණ පිරිසකට අමානුෂිකව පහරදී තිබේ. 


පොලිසිය ද සුපුරුදු පරිදි මේ ගැන තමන්ට කියන්නට ඇති දේ කියා තිබේ. ඒ අනුව පොලිසිය එතැනට ගොස්‌ ඇත්තේ නිවසෙහි "බූරුපොළක්‌" පවත්වාගෙන යන බවට පොලිස්‌ හදිසි කැඳවීම් අංශයෙන් ලැබුණු තොරතුරක්‌ නිසා බව පොලිසිය සඳහන් කරති.

හරි වැරැද්ද කාගේ වුවද මේ වන විට ඇඟිල්ල දිගු වී ඇත්තේ පොලිසියටය. ඒ "පරණ වාර්තා" එතරම් හොඳ නැති නිසාය.

ඇඹිලිපිටියේදී පොලිසිය සල්ලං වූයේ මල්වර සාදයකට ගොස්‌ සෙල්ලම් දැමූ නිසාය. මෙවරද පොලිසිය ගොස්‌ ඇත්තේ මල්වර සාදයක්‌ පැවැත්වුණු නිවසකටය. ඇඹිලිපිටියේදී අරක්‌කු ඉල්ලූ පොලිසිය, රතුගලින් දඩ මස්‌ ඉල්ලුවා දැයි අපි නොදනිමු. 


අසන්නට හිරිකිත හිතෙන කතාවක්‌ද රතුගල ආදිවාසී නායකයාගේ බිරිඳ කියා ඇති බව වාර්තා වේ. ඇය කියන පරිදි පිරිමි උදවියට පහර දෙන මොහොතේ එක්‌ පොලිස්‌ නිලධාරියකු තමා කැලයට ඇදගෙන යැමට උත්සාහ දරා තිබේ. පොලිසිය එම චෝදනාවද ප්‍රතික්‍ෂේප කර තිබේ. 

කෙසේ හෝ පොලිසිය බූරු පොළවල් වැටලීමේ "මෙහෙයුමකටත්" වඩා කුමක්‌ හෝ "දඩයමක" යෙදී ඇති බව පෙනෙන්නට තිබේ. පසුගිය කාලය පුරාම මෙවැනි නැතැයි කී බොහොමයක්‌ කාරණා පසුව සැබෑ වූ අවස්‌ථා ගණන පොලිසියේ ලැඡ්ජාවට හේතු විය හැකි නිසා සටහන් නොකර සිටින්නට අපි තීරණය කළෙමු.

ඇඹිලිපිටියේදීත්, රතුගලදීත් තවත් බොහෝ ප්‍රදේශවලදීත් මෙවැනි පොලිස්‌ දඩයම් වාර්තා වූ විට පොලිස්‌ නිලධාරීන් ද ප්‍රහාරයකට ලක්‌ව රෝහල්ගතව සිටි බව අසන්නට ලැබිණි. සරලව කිව්වොත් පොලිසියට රටේ ජනතාවගෙන් ගුටි කන්නට සිදුව තිබේ. 


එහෙත් එසේ වී ඇත්තේ මෙවැනි "වැදිවැඩ" නිසා පොලිසිය කෙරෙහි ඇති විශ්වාසය මුළුමනින්ම බිඳ වැටී ඇති නිසාය. රතුගල සිදුවීමම උදාහරණයකට ගත්තොත්, ආදිවාසී ජනතාව කිසිවිටෙකත් බාහිර සමාජයට හිරිහැරයක්‌ වූ බවට වාර්තා වී නැත. ඇඹිලිපිටියේ සිදුවීම ගැන පොලිසිය කී ආකාරයට රතුගල ආදී වාසීන් අයුතු ජනරාශියකට එකතුවී සිටියේද නැත.

අයුතු ජනරාශියකට අත්අඩංගුවට ගන්නේ නම් ආදිවාසී ජනතාව අහිගුණ්‌ඨික ජනතාව බුරුතු පිටින් අත්අඩංගුවට ගත යුතුය. ඔවුන්ගේ සමාජ රටාවට අනුව එම පිරිස්‌ කොහොමත් සිටින්නේ රාශිගතවය (කණ්‌ඩායම්) වශයෙනි. එය අයුතු ජනරාශියක්‌ නොවේ. පොලිසිය එතැනදී කටයුතු කර ඇත්තේ 'පාතාල සාමාජිකයන්' මර්දනය කිරීමේ මෙහෙයුමක්‌ ආකාරයෙන් බව පෙනේ.

හින්දි චිත්‍රපටවල පෙන්වන ආකාරයට පොලිසිය යනු නරකම තැනකි. අපේ ශ්‍රී ලංකාවේ පොලිසිය හින්දි චිත්‍රපටවල පෙන්වන පොලිසිය ගාණටම පැමිණ තිබේ. කාකි නිල ඇඳුම ගෞරවාන්විත බවක්‌ උරුමකරගත් යුගයක්‌ තිබිණි. එකල පොලිසියේ පහළම නිලයක්‌ දරන්නෙකු ගැන වුව සමාජයේ තිබුණේ ගෞරව සම්ප්‍රයුක්‌ත බවකි. 


එම ගෞරවය කාකි නිල ඇඳුමින් පමණක්‌ නොව සිවිල් ඇඳුමින් සිටියදී පවා හිමිකරගත් නිලධාරීන් සිටි යුගයක්‌ද තිබිණි. අදටත් අතළොස්‌සක්‌ දෙනා එලෙස එම ගෞරවය සුරකින්නට උත්සාහ කරන බවක්‌ පෙනේ. 

එහෙත් එක හොඳ වැඩක්‌ කර පොලිසිය ශුද්ධ කරන්නට උත්සාහ කරන විට 'වැදි වැඩ' දහසක්‌ කර ඒ නම කැත කරන උදවිය බොහෝ සෙයින් සිටිති. රතුගල සිද්ධිය නැවත අපට පෙන්වා දෙන්නේ ඒ බවය.
 
Related Posts with Thumbnails