Ads 468x60px

.

රුපියල් ලක්‍ෂයක්‌ තරම්වත් නැති හිඟන පඩියකට "ඇමැතිකම" වැනි "රස්‌සාවක්‌" කරන්නට වීම..


රුපියල් ලක්‍ෂයක පඩියකින් මන්ත්‍රීවරයකුට ජීවත්වීමට නොහැකි බව උසස්‌ අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍ය ලක්‍ෂ්මන් කිරිඇල්ල මහතා පවසා තිබිණි. මැති ඇමැතිවරුන්ගේ දීමනා ඉහළ දැමීමට ගත් තීරණය අත්හිටුවීම නිසා උපන් ශෝකයෙන් අමාත්‍යවරයා මේ බව කීවේ යෑයි අපි කීයටවත් විශ්වාස නොකරන්නෙමු. 

රුපියල් ලක්‍ෂයකින් ජීවත්වීමට හැක්‌කේ කවර කෙනෙකුටදැයි ඇමැතිතුමාට හොඳින්ම අවබෝධ වී තිබෙන බවද අපි විශ්වාස කරන්නෙමු. රුපියල් ලක්‍ෂයක්‌ තරම්වත් නැති හිඟන පඩියකට
"ඇමැතිකම" වැනි "රස්‌සාවක්‌" කරන්නට වීම ගැන ලක්‍ෂ්මන් කිරිඇල්ල ඇමැතිතුමා සිටින්නේ දැඩි විස්‌සෝපයෙනි. තරමක කේන්තියෙනි. 

තමන්ගේ විෂයට අයත් මහාමාර්ග අමාත්‍යාංශයේ අධිවේගී මාර්ගයේ ටිකට්‌ කවුන්ටරයේ සිටින තරුණ කොලු ගැටයාගේ පඩිය රුපියල් 65,000 ක්‌ (හැට පන්දහසක්‌) බවත්, මන්ත්‍රීවරයකුට ලැබෙන්නේ රුපියල් පනස්‌ දහසක්‌ පමණක්‌ බවත් ඇමැතිවරයා කියන්නේ ඊරිසියාවෙන් දැයි අප කියන්නට දන්නේ නැත. 

කිරිඇල්ල ඇමැතිතුමා පමණක්‌ නොව තවත් බොහෝ ඇමැතිවරු මෙතරම් අඬන්නේ ඇයි? මෙතරම් අමාරුවෙන් දේශපාලනය කරන්නේ ඇයි? "ඇමැති රස්‌සාවේ" පඩි අඩු නම් වැඩි පඩියකට දන්නා කියන රස්‌සාවක්‌ කරගෙන කීයක්‌ හෝ වැඩිපුර හම්බ කර ගන්න එක වඩාත් සුදුසු බව අපි යෝජනා කරමු. 

අඩු පඩි කරුමය නිසා මහා දුකක්‌ විඳින ජ්‍යෙෂ්ඨ දේශපාලනඥයන් වහා කළ යුතු සද්කාර්යයක්‌ තිබේ. ඒ, තමන්ගේ දරුවන්ගේ වයසේ සිටින පාර්ලිමේන්තුවේ තරුණ මැති ඇමැතිවරුන්ට "මන්ත්‍රී රස්‌සාවෙන්" ඉවත් වී හයිවේ ටිකට්‌ කවුන්ටර්වල රස්‌සාවට යන ලෙස අවවාද කිරීමය. තරුණ මන්ත්‍රීවරුද බුද්ධිමත්ව මේ අර්බුදකාරී තත්ත්වය අවබෝධ කරගත යුතුය.

ප්‍රාථමික කර්මාන්ත ඇමැති දයා ගමගේ මහතාද මේ තත්ත්වය හොඳින්ම අවබෝධ කරගත් බවක්‌ පෙනෙන්නට තිබේ. දයා ගමගේ ගරු ඇමැතිවරයා මෙවැනි අදහසක්‌ පළකර ඇත්තේය.

ඔහු කියන පරිදි " සමාජ සේවාවේ" නිරතවීමට පාර්ලිමේන්තුවට පැමිණෙන මන්ත්‍රීවරුන්ට දැනට ලැබෙන මුදල ප්‍රමාණවත් නැත. ඒ නිසාම ඇතැම් මන්ත්‍රීවරු අයථා ආදායම් මාර්ග වෙත යොමුවීමේ නරක අත්දැකීම් දකින්නට තිබේ.

"සමාජ සේවය" කරන්න නම් පාර්ලිමේන්තුවට එන්නේ අහවල් කෙංගෙඩියට දැයි අප අසන්නේ නැත. "සමාජ සේවය" පිණිස පාර්ලිමේන්තුවට පැමිණි බව කිරිඇල්ල ඇමැතිවරයාට නොකියන ලෙසද අපි ඉල්ලා සිටිමු. 


ඊට හේතුව මේ වන විට දැඩි විස්‌සෝපයෙන් සිටින ඇමැතිවරයාගේ උත්තරය "ඕනෑ ගොනකුට සමාජ සේවය කරන්න පුළුවන්." මට්‌ටමේ එකක්‌ වන්නට ඉඩ ඇති නිසාය. හොඳම දේ දන්නා කියන රස්‌සාවක්‌ කරගෙන සමාජ සේවයත් කරගෙන පාඩුවේ හිඳීමය.

මේ හිඟන රස්‌සාවකට (සමාජ සේවයට) විත් වුවමනා නැති කුණු කතා අසන්නට තරම් ජනතා නියෝජිතයන් දෙකේ කොළයට වැටෙන්නේ ඇයි?

සමහර දේශපාලනඥයන්, නීතිඥයෝය. තවත් සමහරු විවිධ විෂයයන්හි (ඉංජිනේරු, ගණකාධිකාරි, වෛද්‍ය) කෙළ පැමිණි විද්වත්තුය. ආචාර්ය මහාචාර්යවරුය. දයා ගමගේ ඇමැතිවරයා වැනි ඉහළ පෙළේ ව්‍යාපාරිකයෝද ඒ අතර සිටිති. 


අපට අසන්නට ඇත්තේ රුපියල් ලක්‍ෂයකට මෙතරම් සවුත්තු වන්නේ ඇයිදැයි යන ප්‍රශ්නයයි. මැතිවරණ වේදිකාවලදී "වැටුප ද පරිත්‍යාග කර ජනතා සේවයට කැප වෙමි"යි කී කට්‌ටියද මේ අතර අඩු නැත.

තවත් සමහර දේශපාලනඥයෝ "දේශපාලනය" හැරුණු විට කරන දෙයක්‌ පෙනෙන්නට නැතිමුත් නොම්මර එකේ කෝටිපතියෝය.

රුපියල් ලක්‍ෂයේ හිඟන පඩිය මේ අයට අදාළ කර ගන්නේ කොහොමද? මන්ත්‍රීවරු සියයකට අරක්‌කු තැබෑරුම් ඇති බව කියති. තැබෑරුමක මාසික ආදායම ලක්‍ෂ 20 කි. රුපියල් ලක්‍ෂයේ හිඟන පඩියට මේ උදවිය මෙතරම් පොළොවේ පස්‌ කන්නේ ඇයි?

කෙසේ වුවත් ජනතාව පාර්ශ්වයේ අපට මේ කිසිවක්‌ අදාළ නැත. අපට හොඳින් කාබී, සමාජ සේවයත් කරගෙන යහමින් ජීවත්වීමට තරම් වැටුපක්‌ ලැබේ.
 
Related Posts with Thumbnails