Ads 468x60px

.

කරන්ට්‌ වදින විදුලි බිලක්‌ අතැතිව සිටින ජනතාවට තවත් බරක්‌...


විදුලිබල මණ්‌ඩලය ගැන මේ වන විට වැඩිපුරම නිවේදන නිකුත් කරන්නේ, ප්‍රකාශයන් නිකුත් කරන්නේ විදුලිබල හා පුනර්ජනනීය බලශක්‌ති අමාත්‍යාංශයේ නියෝජ්‍ය අමාත්‍යවරයාය. ඇමැතිවරුන්,
නියෝජ්‍ය ඇමැතිවරුන් කොකු දමාගන්නා හැටියට එය ඉතා හොඳ ප්‍රවණතාවක්‌ බව සඳහන් කරමු.

කෙසේ හෝ නියෝජ්‍ය ඇමැතිවරයා ප්‍රකාශ කරන බොහෝ අදහස්‌වලට මුද්‍රිත මාධ්‍යයෙත්, විද්යුත් මාධ්‍යයෙත් හොඳ තැනක්‌ ලැබෙන බව පෙනෙන්නට තිබේ.

නියෝජ්‍ය ඇමැති අජිත් පී. පෙරේරා පසුගිය දවසක ද එවැනි වැදගත් ප්‍රකාශයක්‌ කර තිබිණි. ඒ, විදුලිබල මණ්‌ඩලයේ කාර්යක්‍ෂම කළමනාකරණයක්‌ ඇති කරන බවය. ගරු නියෝජ්‍ය ඇමැතිවරයා කියන පරිදි ශ්‍රී ලංකා විදුලිබල මණ්‌ඩලයේ පරිපාලනමය ව්‍යහය වෙනසකට ලක්‌කර එම ආයතනයට යහපාලන ක්‍රමවේදයක්‌ හ
දුන්වා දීමට නියමිතය. 

එහෙත් එය කිසිසේත් පෞද්ගලීකරණය කිරීමක්‌ නොවන බවත්, විදුලිබල අර්බුදයට විසඳුම් සෙවීම සඳහා පත් කළ කමිටුවේ නිර්දේශ මත එය සිදුකරන බවත් නියෝජ්‍ය ඇමැතිවරයා කියන්නේය. 

ඇත්ත වශයෙන්ම නියෝජ්‍ය ඇමැතිවරයා මේ අදහස්‌ පළ කරන්නේ විදුලි බලය විශාල අවුලක්‌ බවට පත්ව තිබෙන මොහොතකය. කැබිනට්‌ මණ්‌ඩලයද විදුලි බලය සම්බන්ධයෙන් යම් තීන්දුවක්‌ ගෙන ඇති බව නියෝජ්‍ය ඇමැතිවරයා කියන්නේය. ඒ හදිසි අවශ්‍යතාවක්‌ ඇති වුවහොත් පෞද්ගලික අංශයෙන් විදුලිය මිලදී ගැනීමටය. ඉදිරි මාස තුනක කාලයකට එය ක්‍රියාත්මක වීමට නියමිතය.

මේ "ප්‍රකාශ කරන" කාරණා දෙකම සැළකිල්ලෙන් බලන අපට පැහැදිලිව පෙනෙන කාරණයක්‌ වන්නේ විදුලිබල අර්බුදය "වවාගත්" ප්‍රශ්නයක්‌ බවය. මේ ආණ්‌ඩුව බලයට පත්වී, ඇමැති තනතුරුද බෙදාහදා ගත් පසු කාලයක්‌ යන තෙක්‌ම මණ්‌ඩලයේ කාර්යක්‍ෂම කළමනා කරණයක්‌ නැති බව තේරුණේ නැති වීම පුදුමයට කාරණයකි. රටේ ජනතාවට ඒ බව අවබෝධ වූයේ බොහෝ කලකට පෙරය.

විදුලිබලය සඳහා පෞද්ගලික අංශයෙන් මෙගාවොට්‌ 55 ක විදුලි ධාරිතාවක්‌ මිලට ගැනීමට කැබිනට්‌ තීරණයක්‌ ගන්නේ පෞද්ගලික අංශයෙන් බිලියන 200 ක විදුලිය ගැනීම ගැන කෝප් කමිටුවත්, විගණකාධිපති දෙපාර්තමේන්තුවත් විමර්ශනයක්‌ ආරම්භ කර තිබියදීය.

එහිදී විදුලිය ලබාගැනීම සඳහා අනුගමනය කළ ක්‍රමවේදය කවරක්‌දැයි වාර්තාවක්‌ ලබාදෙන ලෙස විදුලිබල මණ්‌ඩලයට නියෝග කිරීමට විගණකාධිපති දෙපාර්තමේන්තුව කටයුතු කර ඇත.

එම වාර්තාවේ සඳහන් වී ඇති කාරණා ඉතාම වැදගත්ය. විදුලිය මිලදී ගැනීමේදී විදුලි අවශ්‍යතාව සපුරාලීමට නොහැකි බව තීන්දු කළේ කුමන රාමුවක්‌ තුළද? එසේ ලබාගන්නා ප්‍රමාණය තීරණය කළේ කෙසේද? 


විදුලිය ලබාගත් මිල තීරණය කළේ කෙසේද? වැනි කාරණා එහිදී ප්‍රමුඛව දක්‌වා තිබේ. ඇත්ත වශයෙන්ම මෙය පෙර කී කැබිනට්‌ මණ්‌ඩල තීරණය සම්බන්ධයෙන් ද අදාළ කරගත යුත්තක්‌ බව අපි විශ්වාස කරමු. 

බිලියන 200 කට විදුලිය ලබාගැනීමේදී වැය වූ මෙගාවොට්‌ ප්‍රමාණය ගැන නිශ්චිත සඳහනක්‌ නැත. කැබිනට්‌ තීරණයට අනුව මෙගාවොට්‌ 55 ක විදුලි ධාරිතාවක්‌ ලබාගැනීමට නියමිතය.

හදිසි විදුලි අර්බුදයකදී ප්‍රයෝජනයට ගත හැකි නොරොච්චෝලේ ගල් අඟුරු විදුලි බලාගාරයේත් මෙගාවොට්‌ 900 ක විදුලි උත්පාදනයක්‌ සිදුවේ. එහෙත් එක්‌ යන්ත්‍රයක්‌ නිතරම කැඩී ඇති නිසා ඉන් ජනනය වන්නේ (යන්ත්‍ර දෙකකින් පමණක්‌) මෙගාවොට්‌ 600 ක්‌ පමණි. 


පෞද්ගලික අංශයෙන් මිලදී ගැනීමට නියමිත මෙගාවොට්‌ ප්‍රමාණය ආදේශ කරන්නේ එම යන්ත්‍ර දෙක ද අක්‍රිය වූ විට ද යන්න පැහැදිලි නැත.

ඒ කවරක්‌ වුවත් අප විශ්වාස කරන්නේ අදටත් කරන්ට්‌ වදින විදුලි බිලක්‌ අතැතිව සිටින ජනතාවට තවත් බරක්‌ වන අන්දමේ යෝජනා තවදුරටත් අවශ්‍ය නැති බවය. බිලියන 200 ක්‌ යනු කජු ඇට ද, කොස්‌ ඇට ද, ඊටම මෙගාවොට්‌ 55 ක මුදල එකතු වූ විට වැයවන්නේ විශාල මුදලකි. ඇමැති, නියෝජ්‍ය ඇමැති දෙපළම මේ ගැන ඇත්ත කතාව රටට කිව යුතුය.
 
Related Posts with Thumbnails