Ads 468x60px

.

නීතිමය රාමුවට වඩා කැලෑ පාළුවන්ගේ හා දේශපාලුවන්ගේ බලය වැඩි බව....


කැලෑ පාළුවා යන්නට සමාන වචනයක්‌ වේ නම් ඒ දේශපාලුවාය. කැලෑව විනාශය කරා ගෙන යන්නේ කවරෙක්‌ද එතැන දේශපාලනඥයෙකු සිටී. දේශපාලනය විනාශ කරා ගෙන යන්නේ කවරෙක්‌ද ඒ ද දේශපාලනඥයාය. 

කැලෑව ගැනත් දේශපාලනය ගැනත් නැවත අපට කතා කරන්නට සිදුව තිබේ. ඒ වවුනියාව ආසිකුලම් වනාන්තරයේ සිදුවන මහා විනාශය නිසාය. කතාව ඉතාම කෙටියෙන් මෙසේය. වවුනියාව සිදම්බරපුරම්,
ආසිකුලම් රක්‍ෂිතයේ අක්‌කර සියයකට ආසන්න ප්‍රමාණයක පැතිර තිබූ සාර වන ගහනය කපා මුඩුබිම් බවට පත්කර ඇත්තේ නීති විරෝධීවය. 

එසේ විනාශ කර දමන ලද ඉඩම් අත්පත් කරගෙන පවුල් 60 ක්‌ පදිංචි කරවා තිබේ. ඒ පර්චස්‌ අසූවක්‌ පමණ වූ ප්‍රමාණයක්‌ එක්‌ පවුලකට ලබා දෙමිනි. ඒ අය වවුනියාව දිස්‌ත්‍රික්‌කයේ යුද්ධයෙන් පීඩාවට පත්වූ ජනතාව බව සඳහන් කර තිබුණත් ඊට පැහැදිලි සාක්‍ෂි නැත. 

දැන් එම පිරිස එම රක්‍ෂිත වනාන්තරයට අයත් භූමියේ නිවාස ගොඩනැඟිලි ඉදිකිරීමට කටයුතු කරමින් තිබේ.

ප්‍රශ්නය වන්නේ ආසිකුලම් රක්‍ෂිතය කවර හෝ තකතීරුවෙකු එලෙස විනාශ කර දමද්දීත් ඒ බව වගකිවයුතු කිසිදු නිලධාරියෙකු නොදැන සිටීමය. කෙසේ හෝ මේ මජර ක්‍රියාවලියට දේශපාලනඥයකු සෘජුවම සම්බන්ධ බව කියෑවේ. 


(කොහොමත් අමන වැඩක්‌ සිදුවන තැනක දේශපාලනඥයකු අනිවාර්යයෙන්ම සිටිය හැකි තත්ත්වයක්‌ මේ රටේ නිර්මාණය වී ඇති නිසා ඒ ගැන සියයට සියයක්‌ම අපට විශ්වාසය තැබිය හැකිය.)

මේ ප්‍රශ්නය ආසිකුලම් රක්‍ෂිතයට පමණක්‌ පොදු ප්‍රශ්නයක්‌ නොවේ. අපේ රටේ කවර තරාතිරමක වුව දේශපාලනඥයකු වුව පරිසර විනාශයක්‌ ගැන තබා මෙලෝ හසරක්‌ නොදන්නා අය බව ඔප්පු කර ඇත්තේ වරක්‌ දෙවරක්‌ නොවේ. හිතන්නට පතන්නට හැකි අතලොස්‌සක්‌ වූ විදග්ධ, යමක්‌ කමක්‌ තේරෙන දේශපාලනඥයින්ට මේ රට වෙනස්‌ කිරීම පහසු කාරණයක්‌ නොවන්නේ මේ මෝඩරැල නිසාය. 


එහෙව් මෝඩ දේශපාලනඥයකුට වනාන්තර විනාශය "වත්ත සුද්ද" කිරීම තරම්ම පහසු කාරණයකි. රට පුරා නාය යද්දිත් රට එකම වතුර වළක්‌ බවට පත්වෙන ගංවතුර ගලද්දීත් ඊට හේතුව මේ පරිසර විනාශයම බව විද්වත් පිරිස්‌ දිගින් දිගටම පෙන්වා දෙන තත්ත්වයක්‌ තුළදීත් වනාන්තර හෙළි පෙහෙළි කරන්නට අනුබල දෙන එකාට "මෝඩයා" යෑයි ප්‍රසිද්ධියේ නොකියා වෙන මොනවා කියන්නද?

මෙහෙව් තකතීරුවන් මෙවැනි ජාතික අපරාධ රටට වසන් කරන්නට යොදා ගන්නා අපුරු උපක්‍රමය "යුද්ධයෙන් පීඩාවට පත් ජනතාව පදිංචි කරවීම" යන්නයි. විල්පත්තුව විනාශ කරන මිනිහා කියන්නේත්, ආසිකුලම් රක්‍ෂිතය විනාශ කරන මිනිසා කියන්නෙත් මේ කතාවමය. 


යුද්ධය අවසන් කර වසර හතක්‌ ගතවන තුරුත් මේ "ජනතාව පදිංචි කරවිම" ආණ්‌ඩුවකට කළමනාකරණය කරගන්නට බැරිව තිබේ. අමන දේශපාලනඥයින් ප්‍රයෝජනයට ගන්නේ ආණ්‌ඩුවේ ඒ දුර්වලකමයි. 

රාජ්‍ය දේපොළ තමන්ට හිතු හිතූ හැටියට ඕනෑ ඕනෑ අයට බෙදා දෙන්නට හැකි "බලයක්‌" තිබෙන තවත් අය සිටී නම් ආණ්‌ඩුවකින් ඇති වැඩේ මොකක්‌ද? රටේ නීතියට වඩා මේ කැලෑ පාළුවන්ගේ නීතිය බලවත් වූයේ කොහොමද?

2009 අංක 65 දරන පනතින් අවසන් වරට සංශෝධිත 1907 අංක 06 දරන වන සංරක්‍ෂණ ආඥ පනතේ 20 වැනි වගන්තියට අනුව රජයට අයත් වනාන්තරයක්‌ එළි පෙහෙළි කිරීම, කපා ඉවත් කිරීම, ස්‌ථිර හෝ තාවකාලික ගොඩනැඟිලි ඉදිකිරීම, ඒවායේ පදිංචිවීම, වගා බිම් ස්‌ථාපිත කිරීම නීති විරෝධී ක්‍රියාවකි. 


එවන් නීති විරෝධී ක්‍රියාවල නිරතව සිටින පුද්ගලයකු හෝ ඒ සඳහා ආධාර හෝ අනුබල ලබාදෙන පුද්ගලයකුද වරදකරුවකු වේ. ආසිකුලම් රක්‍ෂිතය හිතුමතේට විනාශ කරන්නේ මෙවැනි තත්ත්වයක්‌ යටතේය. 

වනාන්තරයක්‌ එළි කරනවා යනු ගෙදර වත්ත පිටිය උදලු ගෑම තරම් සරල ක්‍රියාවක්‌ නොවන බව අපි කීවෙමු. එතරම් විනාශයක්‌ සිදුවන විට ඒ බව අදාළ දිස්‌ත්‍රික්‌ ලේකම් කාර්යාල, ප්‍රාදේශීය ලේකම් කාර්යාල නොදැන සිටි බවත් කීමම අමු බොරුවකි. මේවා නරක පූර්වාදර්ශයන්ය. 

හෙට අනිද්දා වන විට මේ බෝවන රෝගය තවත් දේශපාලඥයන්ට වැළඳීමට ඇති ඉඩකඩ බොහෝ වැඩිය. ප්‍රධානතම ගැටලුව වන්නේ නීතිමය පියවර ගැනීමට හැකියාව ඇති අණපනත් බොහෝ තිබියදීත් ඒවා දිගින් දිගටම නිවි හැනහිල්ලේ සිදුවීමය. 

ඒ නිසාම මේ නීතිමය රාමුවට වඩා කැලෑ පාළුවන්ගේ හා දේශපාලුවන්ගේ බලය වැඩි බව ස්‌ථිර වශයෙන්ම කිව හැකිය.
 
Related Posts with Thumbnails