Ads 468x60px

.

මගියා විඳින මේ දුක්‌ කන්දරාවට බදු බරත් එකතුවන විට...


ස්‌ථිර වශයෙන්ම බස්‌ ගාස්‌තු වැඩිවීමට නියමිත බව රටේ ජනතාව දැනගත්තේ අදක ඊයෙක නොවේ. මාස කිහිපයකට උඩදීය. ඒ රටේ ජනප්‍රිය ජ්‍යෙතිර්වේදියකු පළ කළ අනාවැකියක්‌ නිසා නොවේ. 

අනාවැකිකරුවන් කී නිසාද නොවේ. පසුගිය අයවැයෙන් පසු එක දිගට සංශෝධන ගෙන ආ පසුවත්, ඊට පසු ඒ සියල්ලම කැපී යන්නට වැට්‌ බදු ඉහළ දැමීමත් බස්‌ ගාස්‌තු පමණක්‌ නොව තවත් බොහෝ දේවල මිල
වැඩි කිරීමට හේතුවිය හැකි බව අවබෝධ වූ නිසාය. 

රටේ ජනතාව ගොනාට ඇඳ ඇතැයි රටේ පාලකයන් සිතා සිටියද ප්‍රායෝගික ඇත්ත ගැන රටේ ජනතාවට තිබෙන දැනුම ඉහටත් උඩිනි. පෞද්ගලික බස්‌ රථ හිමියන් ගාස්‌තු වැඩි කිරීමක්‌ ඉල්ලන්නේද ඒ ප්‍රායෝගික ඇත්ත අනුවය. 

පෞද්ගලික බස්‌ හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විඡේරත්න (බස්‌ ගාස්‌තු නැංවීමෙහි සර්ව බලධාරීතුමා) පසුගිය මැයි මාසයේ ඒ ගැන මුල්වරට කීවේ මෙහෙමය. "වැට්‌ බද්ද සියයට 4 කින් වැඩි කිරීමත් සමගම පෞද්ගලික බස්‌ රථ කර්මාන්තයට අදාළ පිරිවැයවල ඉහළ යැමක්‌ සිදුවේ. ඒ අනුව ලබන ජුලි 01 වැනිදා සිදුවන වාර්ෂික බස්‌ ගාස්‌තු සංශෝධනයේදී බස්‌ ගාස්‌තු වැඩිවීමක්‌ අපේක්‍ෂා කෙරේ".

ඊට පසු එය සියයට 15 ක වැඩිවීමක්‌ විය යුතු බවත් නැතිනම් දීපව්‍යාප්ත බස්‌ වර්ජනයකට යන බවත් ගැමුණු පරපුරේ සියල්ලෝම (සියලුම බස්‌ සංගම්) එක හෙළා කීහ. ඊටත් ටික දිනකට පසු "ගැමුණු මහතා" අමුතු සත්තමක්‌ දැමීය. 


ඒ අනුව මාර්ග තදබදය නිසා විශාල ඉන්ධන පිරිවැයක්‌ දැරීමට සිදුවන නිසා "මාර්ග තදබද ගාස්‌තුවක්‌ද" මගීන්ගෙන් අයකළ යුතු බව ප්‍රකාශ විණි. අමනෝඥ සහ උද්ධච්ඡ කතාවට බොහෝ දෙනෙක්‌ විරෝධය පෑහ.

බස්‌ ගාස්‌තු වැඩිවිය යුතු යෑයි කියන කතාව සියයට සියයක්‌ම නොවුණත් ඇත්තම කතාව විය හැකිය. බස්‌ රථයකට ගෙන්වන අමතර කොටස්‌, ටයර් මේ සියල්ලට වැට්‌ බදු එකතු කෙරේ. එවිට ඒ වියදම දරා ගැනීමට රටේ ජනතාවගේ බස්‌ ටිකට්‌ටුවට ඒ බර පැටවීම හැර ඒ අයට වෙන විකල්පයක්‌ පෙනෙන්නේ නැති වන්නට පුළුවන. 


ඒත් මේ කාරණය නියත වශයෙන්ම ගහෙන් වැටුණු මිනිහාට ගොනා ඇනීමකි. මේ වන විට තමන්ගේම කියා වාහනයක්‌ ගන්නට සිටි අයත් වාහන තිබෙන අයත් වැඩි වශයෙන් භාවිත කරන්නේ පොදු ප්‍රවාහන සේවයයි. ඒ ද අධික බදු බර හමුවේ එවැනි විකල්පයකට යා යුතු නිසාය. ගැමුණු පරපුරේ අය අනින්නේ ඒ ජනතාවටය.

පෞද්ගලික බස්‌ ගාස්‌තුව සියයට තුනයි දශම දෙකකින් පමණක්‌ ඉහළ දැමිය හැකි බව බස්‌හිමියන්ගේ සංගමය සමග පෙරේදා (20 දා) පැවැති සාකච්ඡාවකදී ප්‍රවාහන ඇමැතිවරයා පවසා තිබිණි. 


එහෙත් ඒ වැඩිකිරීම පිළිගැනීමට බැරි බව පෞද්ගලික බස්‌ හිමියන්ගේ සංගමය එක හෙළා කියා සිටී. මස්‌ රාත්තලම ඉල්ලීමේ ක්‍රමවේදයක්‌ පෞද්ගලික බස්‌ හිමියන්ගේ සියලුම සංගමයන් අනුගමනය කළ පළමුවතාව මෙය නොවේ. 

බස්‌ ගාස්‌තුව "සියයට තුනයි දශම දෙකකින්" වැඩිවන විට ඊට සාපේක්‍ෂව පොදු ප්‍රවාහන සේවය භාවිත කරන ජනතාවගේ ආදායම "දශමයකින් වත්" වැඩි වන්නේ නැත. තුනයි දශම දෙක නොව සියයට සියයක්‌ වැඩි කළත් බස්‌ හිමියෝ මගී ජනතාවට ලබාදෙන (නොදෙන) පහසුකම් වැඩි කරන්නේද නැත. 

දැනටත් රටේ ජනතාව පුද්ගලික බස්‌ රථවලට නැඟ විඳින්නේ අපා දුකකි. යන ගමන යා යුත්තේ කොන්දොස්‌තරගේ කුණු බැණුම් අහමින්, වරෙක ඉදිරියටත්, වරෙක පසුපසටත් තල්ලු වෙමිනි. 

කිටි කිටියේ මගීන් පටවාගෙන යන අතරවාරයේ බස්‌ නැවතුම්වල අධික වේලාවක්‌ රස්‌තියාදු වීම, යන්නට පටන් ගත් මොහොතේ සිටම කොට කොටා යැම වැනි දුෂ්කරතා නොවිඳි මගියකු ගැන අපට කියාදෙන මෙන් අපි ගැමුණු විඡේරත්න මහතා ඇතුළු බස්‌ හිමියන්ගෙන් ඉල්ලා සිටිමු. 

කොන්දොස්‌තරගෙන් ඉතිරි සල්ලි ඉල්ලීම තරම් නරක අත්දැකීමක්‌ නැත. අප ඉල්ලන්නේ ණයට මුදලක්‌ නොව අපේ ඉතිරි මුදල් බව තේරෙන කොන්දොස්‌තරවරු ඇත්තේ අතළොස්‌සකි. කුණු දූවිලි, මලකඩ තිබෙන බස්‌ රථ බොහොමයකි. කන් අඩි පුපුරන සද්දේට බයිලා නොඇසෙන්නට කබල් බස්‌ රථවල බර බර සද්දය ඇහෙනවා නොඅනුමානය.

මගියා විඳින මේ දුක්‌ කන්දරාවට බදු බරත් එකතුවන විට පුද්ගලික බස්‌ වර්ජනය කළ යුත්තේ රටේ ජනතාවය. ඒ නිසා වැඩි කරන්නට නියමිත සියයට තුනයි දශම දෙක බස්‌ හිමියන්ට සෑහෙන ප්‍රමාණවත් බව අපේ හැඟීමය.
 
Related Posts with Thumbnails