Ads 468x60px

.

රටත්, ජනතාවත් ගොඩදැමිය හැක්‌කේ....


අපට මේ සතිය ආරම්භ කරන්නට සිදුව තිබෙන්නේද ගංවතුර නායයැම්, කොස්‌ගම පිපිරීම වැනි ආපදා අර්බුද රටේ උණුසුම් මාතෘකාවක්‌ බවට පත්ව තිබෙන පසුබිමකය. 

ආපදාවන්ට මුහුණපෑ හැම ප්‍රදේශයකම ජනතාවට තවමත් විසගත යුතු ප්‍රශ්න එමටය. රටේ දේශපාලනඥයන්ට, නොඑසේනම් ගහ මරාගෙන
ජනතාව විසින්ම පාර්ලිමේන්තුවට පත් කරනු ලැබූ ජනතා නියෝජිතයන්ට මේ ප්‍රශ්න දුහුවිලි අංශුවක්‌ තරම්වත් වටින්නේ නැත.

ඒ අයට වෙන් වෙන් වශයෙන් විසඳීමට ඇති ප්‍රශ්න රැසකි. ප්‍රධානම ප්‍රශ්නය වන්නේ ජනතාවගේ කවර ගැටලුවක්‌ වුව විසඳීමට ඔවුන් හමුවීමට යැමට හොඳ මට්‌ටමේ වාහනයක්‌ නැතිකමය. 


ඉතිං ඒ අය ඒ අවශ්‍යතාව සපුරාගෙන ප්‍රශ්න විසඳීමට පැමිණෙන තෙක්‌ ජනතාව ඉවසා සිටිය යුතුය. අවශ්‍යම වේ නම් "පටිය" තවත් ටිකක්‌ තද කරගත්තාට කමක්‌ නැත.

ගංවතුර අවසන්ය. නායයැම්ද අවසන්ය. එහෙත් මේ විපතට හසුවූ බොහෝ දෙනෙකුගේ ජීවිත තවදුරටත් නායයමින් තිබේ. දුක වේදනාව පීඩනය සැඩ ගංවතුරකටත් වඩා වේගයෙන් ඒ ජනතාව යටකරගෙන ගලා යමින් තිබේ. 


නායයැමට හසුවූ බොහෝ පිරිසක්‌ තවමත් සිය සාමාන්‍ය ජීවිතයට පැමිණෙන්නට දැඩි වෙහෙසක්‌ දරමින් සිටිති. නාය යැමට හසුවූයේ නැතත් අවදානම් යෑයි සැලකුනු ප්‍රදේශවලින් ඉවත් කළ ජනතාවද තවමත් තැන් තැන්වලය. 

මේ ප්‍රශ්න වියළි සලාක දීමෙන් හෝ දීමනා ලබාදීමෙන් විසඳිය හැකි ඒවා නොවේ. ඒ සඳහා විධිමත් වැඩපිළිවෙලක්‌ අවශ්‍ය වේ. සුනාමිය විපතේ සිට අද දක්‌වාමත් අපට නිවැරැදි ලෙස කළමනාකරණය කරගන්නට නොහැකි වූයේද එයමය.

ගංවතුර, නායයැම්වලින් අවතැන් වූ පවුල් සංඛ්‍යාව 98,075 කි. එම මුළු පිරිස හාර ලක්‍ෂ දාහතර දහස්‌ හයසිය හැත්තෑ හතකි. (414,677) කි. ප්‍රාදේශීය ලේකම් කොට්‌ඨාස 219 ක පිරිස මෙසේ අවතැන් බව අනාවරණය කරන්නේ ආණ්‌ඩුවේම සංඛ්‍යා ලේඛනය. 


මේ පිරිස අතරින් පවුල් 61,382 (හැට එක්‌ දහස්‌ තුන්සිය අසූ දෙකකට) ට අයත්වන සාමාජිකයන් 306773 (තුන් ලක්‍ෂ හය දහස්‌ හත්සිය හැත්තෑ තුනක්‌) තවමත් පොදු අවතැන් කඳවුරුවලය. 

එපමණක්‌ නොව විශාල පරිමාණයේ කර්මාන්තශාලා මධ්‍යම හා සුළු පරිමාණයේ කර්මාන්තශාලා, ස්‌වයං රැකියා මධ්‍යස්‌ථාන, ස්‌වයං රැකියාවල නියුක්‌ත වූවන්, නිෂ්පාදන ආයතන බොහෝමයක්‌ විනාශයට පත්ව තිබේ. රටේ ආර්ථිකයට ඉන් ලැබුණු සුළු දායකත්වය පවා මේ වන විට අහිමිව තිබේ.

ස්‌වාභාවික විපත් හා අනපේක්‍ෂිත සිදුවීම් හේතුවෙන් රටේ ආර්ථිකයට සිදුවන බලපෑම තවමත් බරපතළය. ගංවතුර හා නාය යැම් නිසා ඇතිවූ තත්ත්වය කළමනාකරණය කර ගැනීම සඳහා රුපියල් කෝටි 15,000 ත් 25,000 ත් අතර මුදලක්‌ වැයවිය හැකි බව මුදල් අමාත්‍යවරයා පසුගිය කාලයේ ප්‍රකාශ කර තිබිණි.

ස්‌වාභාවික විපත්වලින් ආපදාවට ලක්‌වන ජනතාවට වන්දි ලබාදීමට රුපියල් කෝටි 1000 ක රක්‍ෂණ ආවරණයක්‌ ලබාගෙන සිටින බවද ආණ්‌ඩුව ඒ දිනවල ප්‍රකාශ කළේය. මුදල් ඇමැතිවරයාගේ සංඛ්‍යාලේඛන හා අදාළ රක්‍ෂණ ආවරණයේ මුදල අතර පරතරය ගණනය කළවිට අර්බුදයේ තරම අවබෝධ කරගත හැකිය.

කොස්‌ගම පිපිරීමෙන් ඇතිවූ හානිය මේ වන විටද නිවැරැදිව තක්‌සේරු කර නැත. ඒ හේතුව නිසාම පොදු ජනතාවට සිදුවූ දේපළ හානියද මේ වනතෙක්‌ තක්‌සේරු කර නැත. බොහෝ අය තාවකාලික ස්‌ථානවල පදිංචිව සිටිති. නිවාස 350 කට ආසන්න සංඛ්‍යාවක්‌ විනාශ වී තිබේ. මුලින් කී රක්‍ෂණ ආවරණය මේ ආපදාවට අදාළ වන්නේ කෙසේද යන්න පැහැදිළි නැත.

දේශපාලනඥයන් රටේ ජනතාව මගහැර සිටින්නේ එවැනි තත්ත්වයක්‌ තුළය. දේශපාලනඥයන් තමන්ගේ සුපිරි දීමනා, වරප්‍රසාද ඒ ජනතාව වෙනුවෙන් කැප කළ යුතුය. කවර ව්‍යසනයකදී වුව රටත්, ජනතාවත් ගොඩදැමිය හැක්‌කේ උදාරතර දේශපාලනඥයන් සිටින්නේ නම් පමණි.
 
Related Posts with Thumbnails