Ads 468x60px

.

‘‘ දඩුගම් ඔයේ ජලයට ගොඩා මිශ‍්‍ර වෙලා . බීමට සුදුසු නැහැ’’ ජාතික ජල සම්පාදන හා ජලපවාහන මන්ඩලයෙන් නිවේදනයක්

පසුගිය ජුලි 08 වැනි සිකුරාදා දිනයේ  සිට දඩුගම් ඔයේ මසුන් හිටි හැටියේ ම මිය යමින් ඔය මතුපිට ජලයේ පා වෙමින් ඇති බවට වාර්තා වුණි. එහිදී සීදුව-කටුනායක නගර සභා බල ප‍්‍රදේශයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී ජයන්ත තිසේරා මහතා සඳහන් කලේ දඩුගම් ඔයේ ජලයේ ඇති ඔක්සිජන් ප‍්‍රමානය අඩු වීම මෙම තත්වයට හේතු වී ඇති බවයි. ඒ නිසා ඔහු මහජනතාවගෙන් ඉල්ලා සිටියේ  දඩුගම් ඔයේ ජලය පානය කිරීමෙන් සහ එම මැරුණු මසුන් අහාරයට ගැනීමෙන් වලකින ලෙසයි.

එලෙසම එහිදී ඔහු වැඩි දුරටත් අවධාරනය කලේ සීදුව හා ඒ ආශී‍්‍රත ප‍්‍රදේශ වල ජනයාට ජාතික ජල සම්පාදන හා ජලපවාහන මන්ඩලයෙන් ලබා දෙන නල ජලය පානයට ගැනීමට කිසිදු බියක් ඇති කර ගත යුතු නොමැති බවයි.

එහෙත් පසුගිය ජුලි 10 වැනි ඉරු දින වන විට දඩුගම් ඔයේ ජලය තද බොර පැහැයට හුරු අවපැහැයක් ගෙන තිබේ. මේ නිසා මේ වන විට ජාතික ජල සම්පාදන හා ජලපවාහන මන්ඩලයේ සීදුව ශාඛාවේ නිලධාරීන් නිවේදනය කර ඇත්තේ දඩුගම් ඔයෙන් සෘජුව ලබා ගන්නා ජලය සේම ජලපවාහන මන්ඩලයේ සීදුව ශාඛාව මඟින් නල මගින් ලබා දෙන ජලයද පානයට නොගන්නා ලෙසයි.  එයට හේතු ලෙස  එම නිළධාරීන් පවසන්නේ දඩුගම් ඔයේ ජලයට ගොඩා තොගයක් මිශ‍්‍ර වී ඇති නිසා මෙම ජලය අපවිත‍්‍ර වී ඇති බවයි. ජාතික ජල සම්පාදන හා ජලපවාහන මන්ඩලය මගින් සීදුව ප‍්‍රදේශයට සැපයෙන ජල යෝජනා ක‍්‍රමය සඳහා ජලය ලබා ගන්නේ දඩුගම් ඔයෙනි.

කලක සිට දඩුගම් ඔය ආශී‍්‍රතව හොර සුරා නිෂ්පාදනය කරන ස්ථාන ගනනාක්ම ඇති බවත් එම ස්ථානයන්ගෙන් පිට කෙරෙන ගෝඩා වැනි අහිතකර ද්‍රව්‍ය හා කෘතිම වරණක ද එලෙසම වෙනත් විෂ රසයනික ද්‍රව්‍යයද මෙලෙස විටෙන් විට ඔයේ ජලයට මුදා හරින බව ප‍්‍රදේශවාසීන් සදහන් කරයි.  එමෙන්ම ඔවුන් වැඩි දුරටත් පවසන්නේ එම හොරා සුරා නිෂ්පාදනය කරන ස්ථාන කි‍්‍රයාත්මක වන්නේ ප‍්‍රාදේශීය දේශපාලනඥයින්ගේ අනුදැනුම හා පුර්ණ සහයෝගය මත බවයි. එලෙසම දඩුගම් ඔය ආශී‍්‍රතව කි‍්‍රයාත්මක වන විවිධ වූ කර්මාන්ත ශාලා වලින් පිට කෙරෙන විෂ රසායන ද්‍රව්‍ය හා අප ජලය මගින්ද මෙම ඔයේ ජලය නිරන්තරයෙන් අපවිත‍්‍ර වී දූෂණයට ලක් වන බව ප‍්‍රදේශවාසීන් පෙන්වා දෙයි.

මේ පිලිබඳව වගකිව යුතු නිලධාරීන් හා බලධාරීන් නිද්‍රාශීලිව සිටින තාක් මෙම ගැටළුවට ස්ථිරසාර විසඳුම් නොලැබෙන බවත් එයින් ප‍්‍රදේශයේ ජනතාවට ඉදිරියේදී මීට වඩා වැඩි අවධානම් සහිත තත්වයන්ට මුහුණ දීමට සිදු වනු ඇති බවත් එම ගම් වැසි පිරිසගේ අදහසයි.

කෙසේ වෙතත් මේ වන විට සීදුව ප‍්‍රදේශයේ සෑම කොට්ඨාශයකටම අවශ්‍ය පානීය ජලය බවුසර් මගින් බෙදා හැරීමට ජාතික ජල සම්පාදන හා ජලපවාහන මන්ඩලයේ සීදුව ශාඛාව පියවර ගෙන ඇති බවද වාර්තා වේ.
 
Related Posts with Thumbnails