Ads 468x60px

.

ගණිකා වෘත්තියේ නියැළෙන කාන්තාවන් 40,000ක් - සමලිංගික සේවනයේ යෙදෙන පුරුෂයන් 35,000ක්

මේවන විට ශ්‍රී ලංකාව තුළ ගණිකාවෘත්තියේ නිරතවන කාන්තාවන් 40,000ක් සහ සමලිංගික සේවනයේ යෙදෙන පුරුෂයන් 35,000ක් පමණ සිටින බවට දිස්ත්‍රික්ක කිහිපයක සිදු කළ සමීක්‍ෂණයක දී හෙළිව ඇත. ලිංගාශ්‍රිත හා ඒඩ්ස් රෝග මර්ධන ඒකකයේ අධ්‍යක්‍ෂ වෛද්‍ය නිමල් ඒකනායක මහතා සඳහන් කරන ලද්දේ දිස්ත්‍රික්ක 04ක් තුළ සිදුකරන ලද සමීක්‍ෂණයක දත්ත පදනම් කර ගනිමින් මෙම නිගමනයට එළෙඹි බවයි.


එසේම කොළඹ දිස්ත්‍රික්කයේ කාන්තාවන් 8,000ක් පමණ ගණිකා වෘත්තියේ නියැලෙන බවට අනාවරණය කර ගෙන තිබේ. මීට අමතරව අනුරාධපුර, නුවරඑළිය සහ මඩකලපුව වැනි දිස්ත්‍රික්කවල අදාළ සමීක්‍ෂණය සිදු කර දත්ත රැස්කරගෙන ඇති අතර ලබන වසරේදී තවත් දිස්ත්‍රික්ක 13ක් පුරා මෙම සමීක්‍ෂණය සිදුකිරීමට නියමිත බව ද වෛද්‍යවරයා සඳහන් කළේය.

ශ්‍රී ලංකාව තුළ සියයට 95ක් දෙනා එච්. අයි. වී. රෝගයට ගොදුරු වන්නේ අනාරක්‍ෂිත ලිංගික ක්‍රියාවන්හි යෙදීමෙන් බවද වෛද්‍ය නිමල් ඒකනායක මහතා පැවසීය. වසරකට ලිංගිකව සම්ප්‍රේෂණයවන රෝගවලට පුද්ගලයින් 10,000ත් 12,000ත් අතර දෙනා ගොදුරුවන බව වාර්තා වුවද එය වසරකට 60,000ත් 2,00,000ත් අතර සංඛ්‍යාවක් විය හැකි බවට අනුමාන කර ඇත.

එසේම ශ්‍රී ලංකාව තුළ එච්. අයි. වී. ආසාදිතයින් 1,388දෙනෙකු හඳුනාගෙන ඇති අතර ඉන් සායනවලට සහභාගීවන්නේ 775දෙනෙකි. පුද්ගලයින් 300දෙනෙකුට විශේෂ ප්‍රතිකාර ලබා දීමටද එච්. අයි. වී. ඒඩ්ස් මර්දන ඒකකය ක්‍රියාකර ඇත. ලිංගාශ්‍රිත හා ඒඩ්ස් රෝග මර්ධන ඒකකය විසින් ශ්‍රී ලංකාව තුළ සමලිංගික සේවනයේ යෙදෙන කාන්තාවන් පිළිබඳ මෙතෙක් සමීක්‍ෂණයක් සිදු කර නොමැත. වෛද්‍ය නිමල් ඒකනායක මහතා එයට හේතුව වශයෙන් කියා සිටියේ කාන්තාවන් අතර සිදුවන සමලිංගික සේවනයෙන් එච්. අයි. වී. රෝගය ව්‍යාප්ත නොවන බැවින් එළෙස සමීක්‍ෂණයක් සිදු කර නොමැති බවයි.
එසේම සමලිංගික සේවනයේ යෙදෙන කාන්තාවන්ද ඉතා විශාල පිරිසක් සිටින බවට තොරතුරු අනාවරණය කරගෙන ඇති අතර බොහෝවිට කාන්තා නේවාසිකාගාරයන්හි දී මෙම තත්ත්වය සුලබ ලෙසින් දැකිය හැකි බවද පැවසේ.
 
Related Posts with Thumbnails