Ads 468x60px

.

තට්ටු 45 ක සෙලෙස්ටියල් කුළුණත් රජයට ගැනීමේ සූදානමක්

සෙලින්කෝ සමූහ ව්‍යාපාරය අර්බුදයට පත්වීමත් සමග අතරමග වැඩ නතර වුණු කොල්ලුපිටියේ සමුද්‍රාසන්නයේ ඉදිවෙමින් තිබූ සුඛෝප භෝගී සෙලෙස්ටියල් නිවාස සංකීර්ණය හා හෝටල් ව්‍යාපෘතිය රජයට පවරා ගැනීමට සූදානම් වේ.මේ පිළිබඳව කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ පැවසුවේ මෙම ව්‍යාපෘතියේ වැඩ අවසන් කිරීමේ අමුණෙන් මෙය රජයට පවරා ගන්නා බවත් මෙම නිවාස සංකීර්ණයේ නිවාස මිලදීගෙන තිබෙන අයට රජය විසින් වන්දි ලබාදෙන බවයි.


මෙම ව්‍යාපෘතියේ වැඩ අළුතින් ආරම්භ කිරීම සඳහා නිළධාරීන්ගෙන් සමන්විත කමිටුවක් පත්කර තිබෙන බවත් මෙහි ඉදිකිරීම් පමා වුවහොත් එහි යකඩ දිරාපත්වී ප්‍රයෝජනයට ගත නොහැකි තත්ත්වයට පත්වනු ඇති බවත් අමාත්‍යවරයා මෙහිදී කීය.“මෙම ව්‍යාපෘතිය ඉක්මනින්ම අවසන් කිරීමට අපට අවශ්‍ය වී තිබෙනවා. මොකද මෙහි යකඩ මලකඩ කමින් තිබෙනවා.“යනුවෙන් බැසිල් රාජපක්ෂ අමාත්‍යවරයා සඳහන් කළේය.

මෙහි නිවාස මිලදීගෙන තිබෙන අයට වන්දි ගෙවීම සඳහා අරමුදලක් පිහිටුවීමට රජය සැලසුම් කර තිබේ.
තට්ටු 45 කින් යුක්තව සැලසුම් කර තිබෙන සෙලෙස්ටියල් රෙසිඩන්සීස් ගොඩනැගිල්ල සෙලින්කෝ හෝම්ස් ඉන්ටර්නැෂනල් ලෝටස් ටවර් සමාගමට අයත් එකකි.පාඩු ලබන ආයතන රජයට පවරා ගැනීම සඳහා රජය ගෙන ඒමට සූදානම් වන හදිසි පනත යටතේ සෙලෙස්ටියල් ව්‍යාපෘතිය රජයට පවරා ගැනීමට නියමිත බව අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පසුගියදා නිළධාරීන්ට උපදෙස් ලබාදී තිබුණේ සෙලෙස්ටියල් ව්‍යාපෘතිය යටතේ කාමර 360 ක සුඛෝපභෝගී හෝටලයක් තනන ලෙසත් එම ව්‍යාපෘතියේ වැඩි වාසි රජයට ලැබෙන ලෙස කටයුතු කරන ලෙසයි.
 
Related Posts with Thumbnails