Ads 468x60px

.

ගුරුවරයාගෙන් වේවැල කැඩෙනතුරු පහර කෑ සිසුහු දෙදෙනා රෝහලේ

ගලේවෙල කලාප අධ්‍යාපන බල ප්‍රදේශයේ පාසලක්‌ වන පල්ලෙපොල අකුරම්බොඩ මධ්‍ය මහා විද්‍යාලයේ අපොස සා. පෙ. ඉගෙනුම ලබන සිසුන් දෙදෙනකුට එම විද්‍යාලයේ ගුරුවරයකු වේවැල කැඩෙනතුරු අමානුෂික ලෙස පහරදී ඇතැයි එම දරුවන්ගේ දෙමාපියන් මහවෙල පොලිසියට පැමිණිලි කර ඇත.

මෙවර අපොස (සා. පෙළ) විභාගයට සූදානම් වී සිටි ඩිල්ෂාන් පුවක්‌පිටිය හා ශානුක කරුණාරත්න යන සිසුන් දෙදෙනා මෙම විදුහලේ නේවාසිකාගාරය අසලින් යන විටදී එහි ජනෙල් වීදුරු බිඳ දමා ඇති බවට චෝදනා එල්ල කර මෙසේ පහරදී ඇති බව මොවුන්ගේ දෙමාපියෝ මහවෙල පොලිසියේ ළමා හා කාන්තා කාර්යාංශයට කර ඇති පැමිණිල්ලේ සඳහන් වේ. ගුරුවරයාගේ චෝදනාව පදනම් විරහිත යෑයිද එම දෙමාපියෝ පවසති. පහර කෑමට ලක්‌වූ ශානක හා ඩිල්ෂාන් සිසුන් දෙදෙනා පෙරේදා (24) මාතලේ මූලික රෝහලෙහි 13 වාට්‌ටුවට වැඩිදුර ප්‍රතිකාර සඳහා ඇතුළත් කර ඇත.

මෙම පහරදී ඇතැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් අප අකුරම්බොඩ විදුහලේ විදුහල්පතිවරිය වන යසෝමා දිසනායක මහත්මියගෙන් විමසීමක්‌ කළ විට ඒ මහත්මිය කියා සිටියේ මෙම සිදුවීම වන අවස්‌ථාවේදී තමන් විදුහලේ නොසිටි බවත්ය. කෙසේ නමුත් පහරදීමක්‌ සම්බන්ධයෙන් දෙමාපියන් තමන්ට පැමිණිලි කර ඇති බවත් මේ සම්බන්ධයෙන් පොලිසිය ක්‍රියාමාර්ගයක්‌ ගනු ඇතැයි කියා සිටියේය.
 
Related Posts with Thumbnails