Ads 468x60px

.

හොට් ඇන්ඩ් ෆාස්ට් නිවුස් එකත් බ්ලොක් කරලද

හොට් ඇන්ඩ් ෆාස්ට් නිවුස් වෙබ් අඩවියද මේවනවිට ලංකාව තුල රජය විසින් පිවිසීමට බාධා කර ඇති බව විවිධ වෙබ් අඩවි හා මාධ්‍යය ඔස්සේ පැතිර යයි.මේ වනවිට ශ‍්‍රී ලංකා ගාඩියන්’, ‘ගොසිප් 9’,‘ලංකාවේනිව්ස්’, ‘පැපරාසිනිව්ස්සහ ශ‍්‍රී ලංකා මිරර්වෙබ් අඩවි වලට ශ‍්‍රී ලංකාවේ සිට පිවිසීමට කිසිදු ග‍්‍රාහකයෙකුට හැකියාවක් නොලැබේ.
රජයේ ප‍්‍රවෘත්ති අධ්‍යක්‍ෂ ජෙනරාල් නිකුත්කල නිවේදනයේ සදහන් වන්නේ
 
ඇතැම් වෙබ් අඩවි වල පළ කෙරෙන සමහර වාර්තා මගින් අපහාසයට සහ චරිත ඝාතනයට ලක්වූ විවිධ පුද්ගලයන්ගෙන් ජනමාධ්‍ය හා ප‍්‍රවෘත්ති අමාත්‍යාංශයට පැමිණිලි ගලා එමින් පවතී. මෙම වෙබ් අඩවි තෝරාගත් පුද්ගලයන් ඉලක්ක කරමින් අපහාසාත්මක අසත්‍යය හා හානිකර පුවත් පළ කරන බව නිරීක්‍ෂණය වී ඇත. ඇතැම් වාර්තා ඍජුවම එම පුද්ගලයන්ගේ පෞද්ගලිකත්වයට හානිකර වේ. හිතාමතා සිදුකරන මෙම චරිත ඝාතන වල ඉලක්ක බවට පත්වී ඇත්තේ අතිගරු ජනාධිපතිතුමා, ඇමැතිවරුන්, රජයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් හා වෙනත් ප‍්‍රභූ පුද්ගලයන් ය. මෙම වෙබ් අඩවි රටේ පවත්නා නීතිය උල්ලංඝණය වන පරිදි මෙම වැරදි ක‍්‍රියාවල නිරත වෙමින් සිටින බවට ප‍්‍රශ්නගත වෙබ් අඩවි වාර්තා පිළිබඳව කරනු ලැබූ විමර්ශණයේදී හෙළි වී ඇත.
 
මෙවැනි වෙබ් අඩවි ක‍්‍රියාත්මක කරන සහ පවත්වාගෙන යන පුද්ගලයන් රජය, රාජ්‍ය නායකයා සහ අනෙකුක් අදාල පුද්ගලයන් අවමානයට පත් කිරීමේ ද්වේෂ සහගත අරමුණින් මෙම ක‍්‍රියාවල නිරතවන බව පැහැදිලිය. මෙම වෙබ් අඩවිවල වාර්තාකරුවන්, කතුවරුන්, හිමිකරුවන්, ජනමාධ්‍ය ආචාර ධර්ම හෝ එම වෙබ් අඩවි වල ඉලක්ක බවට පත් වූ පුද්ගලයන්ගේ පුද්ගලිකත්වයට ඇති අයිතිය සහ ආරක්ෂාව පිලිබඳ හෝ නොසලකා ක‍්‍රියාකරන බව පෙනී යයි. වෙබ් අඩවියක පළ වූ වාර්තාවක අන්තර්ගතය යම් පුද්ගලයෙකුගේ පෞද්ගලිකත්වයට හානි කර වේනම් එවන් ප‍්‍රකාශණ වගකීම් සහගත මාධ්‍ය භාවිතාවක පිළිගත් ආචාර ධර්ම උල්ලංඝණය කිරීමක් සේ සැලකේ. එවන් අසත්‍ය මෙන්ම අපහාසාත්මක ප‍්‍රකාශනයන් අධෛර්යමත් කළ යුතු අතරම පොදු මහජන යහපත උදෙසා එවා වැලැක්වීමට ද පියවර ගත යුතු වේ.
ඉහත තත්ත්වය සැළැකිල්ලට ගෙන ශ‍්‍රී ලංකාව හෝ ඉන් පිටත සිට ප‍්‍රවෘත්ති පළ කෙරෙන වෙබ් අඩවි ජනමාධේ‍ය් පිළිගත් සදාචාරාත්මක ප‍්‍රමිතීන්ට සහ ශ‍්‍රී ලංකාවේ පවතින නීතියට අනුකූලව පවත්වාගෙන යන ලෙස ජනමාධ්‍ය හා ප‍්‍රවෘත්ති අමාත්‍යාංශය ඉල්ලා සිටී. ශ‍්‍රී ලංකාව හෝ ශ‍්‍රී ලාංකික ජනතාව පිලිබඳ පුවත් පළකෙරෙන සියළුම වෙබ් අඩවි හැකි ඉක්මනින් ජනමාධ්‍ය හා ප‍්‍රවෘත්ති අමාත්‍යාංශයේ ලියා පදිංචි කර ගැනීමට ක‍්‍රියාකරන ලෙසද ඉල්ලා සිටිනු ලැබේ. මේ පිළිබඳව වැඩිදුර විස්තර දුක 0094 11 2513943 ඔස්සේ අමාත්‍යාංශයේ අතිරේක ලේකම් (සංවර්ධන සහ සැලසුම්) කේ.ඩබ්.ටී.එන්. අමරතුංග මහත්මිය ඇමැතීමෙන් හෝ ෆැක්ස් අංක 0094 11 2512343 ඊමේල් - අමරතුංගමීඩියා ඇට් යාහූ ඩොට් කොම් හෝ සෙකටි‍්‍ර ඇට් මීඩියා ඩොට් ජී ඕවී ඩොට් එල්කේ සහ ඩබ්.ඩබ්.ඩබ්. මීඩියා ඩොට් ජී ඕවී ඩොට් එල්කේ වෙබ් අඩවිය මගින් ලබා ගත හැක.

සැබවින්ම පසුගිය සිකුරාදා රාත්‍රියේ හොට් ඇන්ඩ් ෆාස්ට් නිවුස් වෙබ් අඩවියට ශ්‍රී ලංකා ටෙලිකොම් තුලින් පිවිසීම බාධා කර තිබුන අතර සෙනසුරාදා වන විට යථා තත්වයට පත්ව තිබුණි.හොට් ඇන්ඩ් ෆාස්ට් නිවුස් ලංකාව තුල තහනමට ලක් කර ඇති බව විවිධ පුවත්පත් ද වාර්තා කොට ඇත. මෙම තහනම දැනට අපට බලපා නැතත් අපගේ වෙබ් අඩවිය "රාජ්‍යය විරෝධී" වෙබ් අඩවියක් ලෙස හංවඩු ගසනවාට අපගේ කිසිදු කැමැත්තක් නැත. 


මන්ද පක්ෂපාට භේදයකින් තොරව අගය කල යුත්ත අගය කිරීමටත් වංචා දුෂණ හෙළි කරීමටත් අප ක්‍රියාකර ඇති බැවිනි.ඒ බව පාඨක ඔබට අපගේ වෙබ් අඩවියේ මේතාක් පළවූ ලිපි කියවීමෙන් තේරුම්ගත හැක. මේ අතර ශ්‍රී ලංකාව හෝ ශ්‍රී ලාංකික ජනතාව සම්බන්ධයෙන් පුවත් පළ කරන වෙබ් අඩවි හැකි ඉක්මනින් ජනමාධ්‍ය සහ ප්‍රවෘත්ති අමාත්‍යංශයේ ලියාපදිංචි කරන ලෙස රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂකවරයා නිවේදනයක් නිකුත්කරමින් ප්‍රකාශ කොට ඇත.

ඒ අනුව තහනමට ලක්වූ වෙබ් අඩවි හා අනෙකුත් පුවත් වෙබ් අඩවි ඉදිරියට පවත්වාගෙන යන්නේනම් ඒවා ප්‍රවෘති අමාත්‍යංශයේ ලියාපදිංචි කල යුතුය. 
 
Related Posts with Thumbnails