Ads 468x60px

.

කරන්දෙණිය කැළඹූ වෛද්‍යවරියාගේ ඝාතනයේ කොන්ත්‍රාත්තුව හෙළිවෙයි

කරන්දෙණිය දිගාසි වෛද්‍ය මධ්‍යස්‌ථානය වෙත රෝගීන් විශාල ප්‍රමාණයක්‌ පැමිණීම තම ආදායම පහත වැටීමට හේතු වූ නිසා ප්‍රියංක ප්‍රසාද් ජයසිංහ මහතා ඝාතනය කිරීමට යුද හමුදාවේ කපිතාන්වරයෙකුට තමන් කොන්ත්‍රාත්තුවක්‌ ලබා දුන් බව කරන්දෙණිය රෝහලේ වෛද්‍යවරයා වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ප්‍රධාන සැකකරු රහස්‌ පොලිසිය හමුවේ පාපොච්චාරණය කර ඇත.

මෙම ඝාතන කොන්ත්‍රාත්තුව ලබා ගත් යුද හමුදා කපිතාන්වරයා ද මේ වන විට රහස්‌ පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.ඝාතන කොන්ත්‍රාත්තුව ලබා දුන් පුද්ගලයා කරන්දෙණිය ප්‍රදේශයේම පෞද්ගලික වෛද්‍ය මධ්‍යස්‌ථානයක්‌ පවත්වාගෙන යන අයෙකි.වෛද්‍යවරියක වන මොහුගේ මවද එම වෛද්‍ය මධ්‍යස්‌ථානයේ සේවය කරන අතර වෙනත් වෛද්‍යවරුන්ද එම මධ්‍යස්‌ථානය වෙත ගෙන්වා රෝගීන්ට ප්‍රතිකාර කිරීම කරගෙන ගොස්‌ ඇත.


වෛද්‍ය ප්‍රියංක ප්‍රසාද් රණසිංහ මහතා පවත්වාගෙන යන "දිගාසි" වෛද්‍ය මධ්‍යස්‌ථානය ද ඒ ආසන්නයේම පිහිටි අතර ඊට රෝගීන් විශාල වශයෙන් ගොස්‌ තිබේ.මේ හේතුව නිසා ප්‍රධාන සැකකරු පවත්වාගෙන ගිය පෞද්ගලික වෛද්‍ය සායනයට රෝගීන් පැමිණ ඇත්තේ සුළු වශයෙනි. දිනෙන් දිනම තමන්ට ලැබෙන ආදායම අඩුවීම නිසා මෙම සැකකරු වෛද්‍ය ප්‍රියංක ප්‍රසාද් රණසිංහ සමඟ දැඩි වෛරයකින් පසු වූයේය.
පසුව මොහු කිට්‌ටුවන්තම හිතවතකු වන හමුදා කපිතාන්වරයාට මේ බව පවසා තමන්ට උපකාරයක්‌ කරන ලෙස ඉල්ලා තිබේ.


ඒ අනුව වෛද්‍ය ප්‍රියංක ප්‍රසාද් මහතා ඝාතනය කිරීමට මොවුන් සැලසුම් කර ඇති බව පරීක්‍ෂණවලින් අනාවරණය වී ඇත.කපිතාන්වරයා රාජකාරි කරන කඳවුරේම සෙබළුන් දෙදෙනකු මෙම ඝාතනය සඳහා යොදාගෙන ඇති අතර පසුව ඔවුන්ට මුදලක්‌ ලබා දීමට ද පොරොන්දු වී තිබේ.මෙම සෙබළුන් දෙදෙනා එක කුස උපන් සොහොයුරන් දෙදෙනෙකි. කපිතාන්වරයාගේ උපදෙස්‌ මත වෛද්‍ය ප්‍රියංක ප්‍රසාද් මහතා කරන්දෙණිය මහඒදණ්‌ඩ "දිගාසි" වෛද්‍ය මධ්‍යස්‌ථානය ඉදිරිපිට සිටියදී එහි පැමිණි හමුදා සෙබළුන් දෙදෙනා ටී 56 ගිනි අවියකින් වෙඩි තබා වෛද්‍යවරයා ඝාතනය කර පලා ගොස්‌ තිබිණි. ඝාතනය සඳහා ආයුධ ලබාදී ඇත්තේද කපිතාන්වරයාම බව අනාවරණය විය.


මෙම ඝාතනය සිදු වූයේ ඉකුත් සැප්තැම්බර් මස 29 වැනිදා රාත්‍රි කාලයේදීය.වෛද්‍යවරයාට වෙඩි තබා ඝාතනය කර පලා ගිය හමුදා සෙබළුන් වන සොහොයුරන් දෙදෙනා මේ වන විට අතුරුදන්ව ඇති අතර ඔවුන් අත්අඩංගුවට ගැනීම සඳහා රහස්‌ පොලිසිය පරීක්‍ෂණ ආරම්භ කර තිබේ.ඝාතනය සඳහා යොදාගත් බවට සැකකරන ගිනි අවි තුනක්‌ද රහස්‌ පොලිසිය භාරයට ගෙන ඇත.මෙම ඝාතනයට සම්බන්ධ ප්‍රධාන සැකකරු අධිකරණය වෙත ඊයේ (31 දා) ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි.

 
අසරණ රෝගීන්ට ඉතාම සාධාරණ මුදලක්‌ ලබාගෙන වෛද්‍ය ප්‍රතිකාර කිරීම නිසා මෙම වෛද්‍යවරයා කරන්දෙණිය ප්‍රදේශයේ ජනතාව අතර ඉමහත් ප්‍රසිද්ධියට ලක්‌ව සිටියේය.මාසයක්‌ තිස්‌සේ රහස්‌ පොලිසියේ විශේෂ කණ්‌ඩායම් කීපයක්‌ කරන්දෙණිය ප්‍රදේශයේ කළ පරීක්‍ෂණවලින් අනතුරුව මෙම ඝාතනයේ සුල මුල හෙළිදරව් කරගෙන ඊට සම්බන්ධ ප්‍රධානම සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගැනීමට හැකි වූ බව ජ්‍යෙෂ්ඨ පොලිස්‌ නිලධාරියෙක්‌ කියා සිටියේය.
රහස්‌ පොලිසිය මේ සම්බන්ධයෙන් වැඩිදුර පරීක්‍ෂණ පවත්වා ගෙනයයි.

 
Related Posts with Thumbnails