Ads 468x60px

.

කරන්දෙණියේ ‘හිත හොඳ’ දොස්තර ඝාතනයේ සැකකරුවන් ඇල්ලූ මෙහෙයුම

කරන්දෙණිය දිස්ත්‍රික් රෝහලේ වෛද්‍යවරයකු වූ හතළිස් හැවිරිදි ප්‍රියංක ප්‍රසාද් ජයසිංහ මහතා ඉකුත් සැප්තැම්බර් 29 දා උදේ 6ට පමණ සිය ආදරණීය මෑණියන් වූ දීපානි ජයසිංහ මහත්මියගෙන් සමුගෙන කිරිපේද්දේ පිහිටි නිවෙසින් පිටත්ව තම මෝටර් රථයෙන් කොළඹ ගියේ සිය පෞද්ගලික බෙහෙත් ශාලාවට වුවමනා බෙහෙත් ඇතුළු ද්‍රව්‍ය රැසක් ගෙන ඒමටය.

ඒ වන විට මව විසින් උදේ කෑමට සකස්කර තිබූ මුං ඇට ටිකක්වත් කන්නේ නැතිව ඔහු පිටත් වූයේ යන වැඩ ටිකත් කරගෙන ඉක්මනින් සිය පෞද්ගලික බෙහෙත් ශාලාවට ඒමේ අරමුණිනි.


උදේ 6 ට කොළඹ ගිය ජයසිංහ මහතා සවස 6 වන විට පෞද්ගලික බෙහෙත් ශාලාව වෙත පැමිණියේය. ඉන් පසු සුපුරුදු පරිදි පැමිණෙන රෝගීන්ට ප්‍රතිකාර කරමින් සිටියේය.
අවසන් රෝගියාටද ප්‍රතිකාර කළ වෛද්‍යවරයා එම රොගියාට දීමට අවශ්‍ය බෙහෙත් සිය මෝටර් රථයේ වූයෙන් එය රැගෙන එන්නට වෛද්‍ය මධ්‍යස්ථානයට අනෙක් පැත්තෙන් වූ මෝටර් රථය ළඟට යමින් සිටියේය. ඒ අතර සිය ජංගම දුරකථනයට ආ පණිවුඩයකට කතා කළේය.

ඒ සමගම වැදුණු වෙඩි වරුසාවකින් ජයසිංහ මහතා බිම පතිත වූයේ ලේ විලක් මැදය. ඒ සමඟ ඔහුව ඔහු සේවය කළ රෝහලටම රැගෙන ගියද ඔහුගේ ජීවිතය බේරා ගන්නට කිසිවෙකුටත් පුළුවන්කමක් ලැබුණේ නැත.‘දිගාසි වෛද්‍ය මධ්‍යස්ථානය’ නමින් මෙම පෞද්ගලික බෙහෙත් ශාලාව පවත්වාගෙන ගියේ රෝහලට මීටර් හයසියයක් පමණ දුරින් ඇල්පිටිය – අම්බලන්ගොඩ ප්‍රධාන පාර ආසන්නයේය. මෙම ස්ථානයට පැමිණෙන රෝගීන්ට දොස්තර ප්‍රසාද් ජයසිංහගෙන් පමණක් නොව විශේෂඥ වෛද්‍යවරුන්ගෙන් වුවද ප්‍රතිකාර ගැනීමට පහසුකම් සලසා තිබුණේය. ඒ සඳහා අය කළේ ඉතාම අඩු මුදලකි.

එසේම සමහර රෝගීන්ට අවශ්‍ය ස්කෑනින් වාර්තාද මෙහිදී ලබාගත හැකිවූ අතර ඒවාටද අය කළේ ඉතාම අඩු මුදලකි. දුප්පත් රෝගීන් පැමිණි විට ඔවුන්ගෙන් මුදල් අය නොකර නොමිලයේම ප්‍රතිකාර කෙළේය. සමහර රෝගියෙකුට පෞද්ගලික බෙහෙත් අලෙවි සැලකින් බෙහෙතක් ගන්නට නියම කළ විට එය මිලදී ගන්නට තරම් වත්කමක් රෝගියාට නැත්නම් දොස්තර ජයසිංහ මහතා මුදල් නොගෙවා එම බෙහෙත ගන්නට තමන්ගේ හිතවත් ෆාමසියකට ලියූ තුªණ්ඩු කැබැල්ලක් බෙහෙත් තුණ්ඩුවට අමතරව රෝගියාට ලබා දුන්නේය. එය රැගෙන යන රෝගියාට ෆාමසියෙන් එම බෙහෙත් ලැබුණේ නොමිලයේය. ඒ බිල පසුව ගෙවා දමන්නේ දොස්තර ජයසිංහ මහතා විසිනි.

මේ හේතූන් සියල්ලම නිසා දොස්තර ජයසිංහ මහතාගේ ‘දිගාසි’ බෙහෙත් ශාලාවට එන රෝගීන් දිනපතාම වැඩි වුණේය. ඒ අතර මෙම චැනල් සේවාව දියුණු කරන්නට ඔහු තවත් උපකරණ ගෙන එන්නට සැලසුම් කළේය.දොස්තර ජයසිංහ මහතාගේ ඝාතනය සිදුවෙනවාත් සමඟම පොලිසියේ ඇස ගියේද මෙතනටය. මෙම ඝාතනය සිදු කරවූයේ ඔහුගේ නැඟීඒම වළක්වන්නටම බව පොලිසිය සැක කළේය. දොස්තර ජයසිංහ මහතා ජනප්‍රියවීමත් අහිංසක රෝගීන් වැඩි වැඩියෙන් ඔහු ළඟට පැමිණීමත් ගැන විරසක වූ කිසිවෙකු වෛද්‍යවරයාගේ ඝාතනය පිටුපස ඇතැයි පොලිසිය මුල සිටම සැක පහළ කළේය.

මේ අතර නොයෙකුත් කට කතා කරළියට ආවේය. ‘දොස්තර මහත්තයගෙ චරිතය හොඳ නෑ...’ ‘විවාහක කාන්තාවක් සමග අනියම් සම්බන්ධයක් තිබිලා..’ වැනි නොයෙකුත් ප්‍රබන්ධ කතා ඒ අතර විය. අද මේ ප්‍රදේශයේ ජීවත්වන ජනප්‍රිය ව්‍යාපාරිකයන්ගේ නම් පවා මේ ඝාතනයට ඈඳාගෙන කතා ආහ.
පොලිසිය මේ සියලු දෙය කෙරෙහි දැඩි අවධානයෙන් පරීක්ෂණ කටයුතු කළේය. මේ සඳහා විමර්ශන කණ්ඩායම් තුනක් යෙදූහ. පොලිස්පති තුමාගේ උපදෙස් පරිදි කොළඹ අපරාධ විමර්ශන ඒකකයේ කණ්ඩායමක් පරීක්ෂණ පවත්වනු ලැබීය.

දකුණු පළාත භාර නියෝජ්‍ය පොලිස්පති විජය අමරසිංහ මහතාගේ උපදෙස් පරිදි ඇල්පිටිය ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී එම්. එන්. සිසිර කුමාර මහතා විසින් තවත් කණ්ඩායමක් යොදවා තිබුණි. කරන්දෙණිය පොලිස් ස්ථානාධිපති කේ. එච්. සුජිත් ප්‍රියන්ත මහතා ඇතුළු තවත් කණ්ඩායමක් ද පරීක්ෂණ කරගෙන ගියහ.
මේ සියලු දෙනාගේ උත්සාහයේ ප්‍රතිඵලයක් හැටියට දොස්තර ජයසිංහ මහතා අමානුෂික ලෙස ඝාතනය කර දමා දින 30 ක් ගත වන්නට පෙර සැකකරුවන් සහ අවි ආයුධ අත්අඩංගුවට ගැනීමට පොලිසිය සමත් වූහ.
කරන්දෙණිය ප්‍රදේශයේම චැනල් සේවාවක් පවත්වාගෙන යන විත්තිකරුවන් හා දොස්තර ජයසිංහ අතර වරින් වර ගැටුම් ඇතිවූ බවට විමර්ශන කටයුතුවල දී සුජිත් ප්‍රියන්ත මහතාට දැන ගන්නට ලැබුණේය.

වරක් දොස්තර ජයසිංහගේ වෛද්‍ය මධ්‍යස්ථානයට ගල්ගසා තිබුණි. තවත් වරක් වෛද්‍යවරයාගේ මෝටර් රථයට සිමෙන්ති දියකර ගසා ඇත. තවත් විටක වෛද්‍ය මධ්‍යස්ථානය ඉදිරිපිට මල්වඩමක් තබා තිබුණි. පොල්වත්ත රෝහලේ රසායනාගාර කාර්මික නිලධාරිනියක් ලෙස සේවය කළ චින්තකගේ මවගේ කටයුතු විවේචනය කිරීමත් එම ආයතනයෙන් ලබා දෙන සමහර වෛද්‍ය වාර්තා වැරැදි බවට දොස්තර ප්‍රසාද් ජයසිංහ ප්‍රකාශ කර තිබීමත් වරින් වර ඇතිවූ මේ ගැටුම්වලට හේතුව වූ බව පරීක්ෂණවලදී අනාවරණය විය.
ඒ අනුව සැකකරුගෙන් කිහිප වරක් විමසීම් කළ පොලිසියේ ඇස ඊළඟට යොමුවූයේ චින්තක ලබාගත්
දුරකථන ඇමතුම් කෙරෙහිය.

සැකකරු විසින් කිහිප වරක් යුද හමුදා කපිතාන්වරයෙකුට දුරකථන පණිවුඩ ලබාගෙන තිබුණි. ඒ පිළිබඳව ඔහුගෙන් හා හමුදා කපිතාන්වරයාගෙන් වෙන් වෙන්ව කරන ලද ප්‍රශ්න කිරීම්වලදී ලද තොරතුරු පරස්පර විය. මේ නිසා මේ දෙදෙනා අතර කෙරෙන දුරකථන සංවාද රහසිගත ලෙස ලබා ගන්නට පොලිසිය කටයුතු යෙෙදුවේය. ඒ අතර යුද හමුදා කපිතාන්වරයා හා හමුදා සෙබළුන් දෙදෙනෙකු අතර සිදුවූ දුරකථන සංවාද කිහිපයක්ද විමර්ශනයට ලක් කෙරිණි. යුද හමුදාවේ එවැනි නිලතල දරන දෙදෙනෙකු අතර එතරම් කතාබහක් ඇතිවිය නොහැකි බව පොලිසිය විශ්වාස කළේය. මේ නිසා ඒ පණිවුඩ කෙරෙහි පොලිසිය දිගින් දිගටම විමර්ශනය කළේය.

ඝාතන සිද්ධියට පෙර හා ඉන් පසුව මොවුන් අතර කෙරුණු දුරකථන පණිවුඩ කෙරෙහිත් මේ අය මේ ප්‍රදේශවල ගැවසී ඇති බවට සොයාගත් තොරතුරුත් මත පොලිසියේ උසස් නිලධාරීන්ගේ උපදෙස් මත මේ පරීක්ෂණ සිදු කිරීම පැවරුණේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් වෙතය. ඔවුන් ඉතාම දක්ෂ ලෙස හා සූක්‍ෂ්ම ලෙස මෙම විමර්ශන කටයුතු සිදු කරනු ලැබීය.ඒ පරීක්ෂණවලට අනුව දොස්තර ප්‍රසාද් ජයසිංහ කෙරෙහි සැකකරුවන් ඇතිකරගත් වෛරය නිසා තම ඥාතියෙකු වූ කපිතාන්වරයාට මේ කොන්ත්‍රාත්තුව බාරදුන් බවත් ඔහු විසින් මේ ඝාතනය සඳහා යුද හමුදාවේම සේවය කරන සෙබළුන් දෙදෙනකු යොදාගත් බවත් සොයා ගත්හ.

මේ වන විට සැකකරු පදිංචි ප්‍රදේශය වූ කරන්දෙණිය අතහැර බද්දේගම ප්‍රදේශයට පදිංචිය සඳහා ගොස් තිබුණේය. ඔහු පොලිස් අත්අඩංගුවට පත්වන්නේ එම ප්‍රදේශයේ සිටියදීය. දොස්තර ඝාතනය සඳහා ඝාතකයන් පැමිණි බව කියන ඩිස්කවරි වර්ගයේ යතුරු පැදිය සොයා ගැනුණේ වාකරේ ප්‍රදේශයේ තිබියදීය. ඝාතනයට සම්බන්ධ එක් හමුදා සෙබළෙකු සේවය කරන්නේ එම ප්‍රදේශයේ බව දැන ගන්නට තිබේ. මේ වන විට ඝාතනය සිදු කළ මෙම හමුදා සෙබළුන් දෙදෙනාම සැඟවී ඇති බවට තොරතුරු ලැබී ඇත. මේ ඝාතකයන් දෙදෙනාම මීටියාගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවන් බව කියති.

සැකකරුගේ ඥාාතියෙකු බව කියන හමුදා කපිතාන්වරයා කුරුඳුගහහැතැප්ම ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. ඔහු අත්අඩංගුවට ගෙන ඇත්තේ දඹුල්ල යුද හමුදා කඳවුරේ සේවය කරමින් සිටියදී බව දැන ගන්නට ඇත. මේ වන විට දොස්තර ඝාතනය සඳහා යොදාගත් බව කියන 9ර්ර් වර්ගයේ රිවෝල්වරයද සොයා ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සමත් වී තිබේ. ඊට අමතරව මෙවැනි අපරාධ සඳහා යොදා ගන්නට ඇතැයි සැක කෙරෙන ටී 56 වර්ගයේ ගිනි අවි දෙකක්ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත.

මෙම අවි ආයුධ අත්අඩංගුවට ගැනීමට හැකිවීම අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන්ගේ ප්‍රාතිහාර්්‍ය පෑමක් වැනි දෙයක් බවත් මේ සියල්ල මෙතරම් හොඳින් සිදු කෙරුණේ එම නිලධාරීන්ගේ දක්ෂතාවය හා කැපවීම හා උනන්දුව මත බවත් උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය.දොස්තර ප්‍රසාද් ජයසිංහ මහතාගේ ඝාතනය දැනගත් සැණින් කරන්දෙණිය ආසනයේ ශ්‍රී. ල. නි. ප. ප්‍රධාන සංවිධායක හා නැවත පදිංචිකිරීමේ අමාත්‍ය ගුණරත්න වීරකෝන් මහතා එහි පැමිණ සිටි අතර ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාටත් ජනාධිපතිතුමාටත් මේ පිළිබඳව දන්වා තිබුණි. මේ නිසා මේ අමානුෂික ඝාතනයේ ඝාතකයන් සොයා ගන්නට සියලු දෙනාම දැඩි ඕනෑකමකින් පසුවූහ.

1971 ජනතා විමුක්ති පෙරමුණු කැරැල්ල පැවැති සමයේ සෑම අතින් වෙඩිහඬ ඇසෙන කාලවකවානුවක මෙළොව එළිය දුටු දොස්තර ප්‍රසාද් ජයසිංහ මහතාට වෙඩි වරුසාවක් මැද අවසන් සුසුම් පොද වා තලයට එක් කරන්නටද දෛවය විසින් නියම කර තිබෙන්නට ඇත. ඝාතකයන් පොලිස් අත්අඩංගුවට ගත් පුවත සැලවීමත් සමගම කරන්දෙණිය ප්‍රදේශය පුරා පෝස්ටරයක් අලවා තිබුණි.වෛද්‍ය ප්‍රසාද් ජයසිංහ මහතාගේ ඡායාරූපය සහිත එම පෝස්ටරයේ මෙසේ මුද්‍රණය කර තිබුණි.

“පොලිස් දෙපාර්තමේන්තුවේ උත්සාහයෙන් සොයාගත් වෛද්‍ය ප්‍රියංක ප්‍රසාද් ජයසිංහ මහතාගේ සැබෑ මිනීමරුවා හඳුනාගත්තාද?කට කතා සහ මඩ ප්‍රචාරය කළ නූගත් ඔබ සැමට ශාප වේවා.... ශාපම වේවා !” -- කරන්දෙණිය මල් ශාලාව එසේම මේ වන විට ප්‍රදේශයේ ස්ථාන කිහිපයක පොලිස් ආරක්ෂාව යොදවා ඇති අතර විශේෂ කාර්ය බළකායේ යතුරු පැදි ආරක්ෂක කණ්ඩායම් ද යොදවා තිබේ.සැකකරුවන් මේ ප්‍රදේශයේ අය නිසා කිසියම් සිද්ධියක් ඇතිවේය යන සැකය මත පොලිසිය මෙම ආරක්ෂක කටයුතු දියත් කර තිබේ.



 
Related Posts with Thumbnails