Ads 468x60px

.

පෙම්වතියගේ පවුලම මරා පෙම්වතාත් දිවි නසා ගනී

ප්‍රේම සම්බන්ධතාවක්‌ මුල්කරගෙන ඇතිවූ ආරවුලක්‌ මත තණමල්විල හම්බෙගමුව කොටවෙහෙරමංකඩ ප්‍රදේශයේ එකම පවුලේ මව, පියා, දියණිය වෙඩි තබා කෲර අන්දමින් ඝාතනය කළ පොලිස්‌ විශේෂ කාර්ය බළකායෙන් පලා ආ කොස්‌තාපල්වරයකු එම ගිනි අවියෙන්ම වෙඩි තබාගෙන සිය දිවි හානි කරගෙන ඇත.

මෙම ශෝකජනක සිද්ධිය වී ඇත්තේ පෙරේදා (7 වැනිදා) රාත්‍රී 8.30 ට පමණය. මෙහිදී වෙඩි ප්‍රහාරයට ලක්‌වූ 19 හැවිරිදි තරුණියක්‌ද බරපතල තුවාල ලබා රත්නපුර රෝහලට ඇතුළත් කර තිබේ. මෙහිදී සිය දිවි හානිකරගත් හිටපු පොලිස්‌ කොස්‌තාපල්වරයා අතින් ඝාතනයට ලක්‌ව ඇත්තේ ඔහුගේම කිට්‌ටුවන්ත ඥතීන් පිරිසකි. මෙම සිද්ධිය නිසා හම්බෙගමුව කොටවෙහෙර මංකඩ ප්‍රදේශයේ ජනතාව දැඩි කම්පාවට පත්ව සිටිති.

මෙහිදී ඝාතනයට ලක්‌ව ඇත්තේ පනස්‌හතර හැවිරිදි එස්‌. ඒ. ලීලාරත්න (පියා), හතලිස්‌පස්‌ හැවිරිදි එස්‌. කේ. මාලනී (මව) සහ විසිහතර හැවිරිදි එරන්දි උදේශිකා (සොහොයුරිය) නමැති තරුණියයි. මෙම ත්‍රිත්ව ඝාතනය සිදුකර සියදිවි හානිකරගෙන ඇත්තේ විසිදෙහැවිරිදි එන්. ධනුෂ්ක රුවන් නමැති පොලිස්‌ විශේෂ කාර්ය බළකායෙන් පලා ආ කොස්‌තාපල්වරයෙකි. බරපතල තුවාල ලබා රෝහල් ගතකර ඇත්තේ ලීලාරත්න මහතාගේ බාල දියණිය වන දහනව හැවිරිදි හර්ෂනී නිරෝෂා තරුණියයි.



හිටපු පොලිස්‌ කොස්‌තාපල්වරයා ලීලාරත්න මහතාගේ නිවසට කඩාවැදී ඇත්තේ රාත්‍රී 8.30 ට පමණය. පසුව ලීලාරත්න මහතාටත්, ඔහුගේ බිරිඳ සහ දියණියන් දෙදෙනාටත් වෙඩි තබා ඝාතනය කර නිවසේ සාලය මැද සිරුරු සියල්ල ගොඩගසා පලා ගොස්‌ තිබේ. පසුව ඔහුද සිය සොහොයුරාගේ නිවසට ගොස්‌ එහි පිටුපස ළිඳ අසලදී පපුවට වෙඩි තබා ගෙන සිය දිවි හානිකර ගෙන ඇත.

මෙම අපරාධයට හේතුවී ඇත්තේ ධනුෂ්ක රුවන් නමැති හිටපු පොලිස්‌ කොස්‌තාපල්වරයා සහ හර්ෂනී නිරෝෂා නමැති තුවාල ලබා දිවි ගලවා ගත් තරුණිය අතර පැවැති ප්‍රේම සම්බන්ධතාව ක්‌ බව පොලිසිය පවසයි. නෑකමට හර්ෂනී නිරෝෂාගේ මාමා වන ධනුෂ්ක රුවන් පදිංචිව සිට ඇත්තේ මෙම ත්‍රිත්ව ඝාතනය සිදු වූ නිවසට මීටර් 500 ක්‌ පමණ දුරින්ය. ධනුෂ්ක වසරකට අධික කාලයක්‌ තිස්‌සේ නිරෝෂා සමග ප්‍රේම සම්බන්ධතාවක්‌ ගොඩනඟා ගැනීමට දැඩි උත්සාහයක්‌ ගත්තේය. ඒ සම්බන්ධතාවට නිරෝෂා මුලින් අකමැතිවී ඇතත් ධනුෂ්කගේ දැඩි ඉල්ලීම නිසා අවසානයේ කැමැත්ත පළ කර ඇත.

එහෙත් නිරෝෂාගේ පවුලේ සාමාජිකයන් මේ සම්බන්ධතාවට දැඩි විරෝධය පළකර තිබේ. මෙම සම්බන්ධය මුල්කරගෙන දෙපාර්ශ්වය අතර නිතර නිතරම ආරවුල් හටගෙන ඇති බව පොලිසිය පවසයි. මෙම සිද්ධිය වූ පෙරේදා (7 වැනිදා) දහවල් පෙම්වතියගේ පියා වන ලීලාරත්න මහතා ධනුෂ්කගේ නිවසට ගොස්‌ ඔහුගේ මවුපියන් මුණගැසී මෙම සම්බන්ධතාව වහාම නතර කිරීමට පුත්‍රයාට අවවාද කරන ලෙස පවසා ඇත.

එදින රාත්‍රී 7.00 ට පමණ ධනුෂ්ක සිය පෙම්වතිය වූ නිරෝෂාගේ නිවසට පැමිණ තිබේ. එහිදී ධනුෂ්ක සහ ලීලාරත්න අතර උණුසුම් වචන හුවමාරුවක්‌ද ඇති විය. ලීලාරත්න බැණ වැදී ධනුෂ්ක නිවසින් පන්නා ගෙන ඇත. පසුව රාත්‍රී 8.30 ට පමණ ධනුෂ්ක නැවතත් මෙම නිවසට පැමිණ ඉදිරිපස දොරට තට්‌ටුකර තිබේ. එහෙත් නිවැසියන් දොර විවෘත කර නැත. එහිදී ධනුෂ්ක තමන් අත තිබූ ස්‌වයංක්‍රීය ගිනි අවියෙන් දොරට පිට පිට වෙඩි ප්‍රහාර එල්ලකර ඇත. වෙඩි ප්‍රහාර එල්ල කිරීමෙන් පසු කෝපයට පත්වූ ලීලාරත්න ධනුෂ්කට බැණ වදිමින් ඉදිරිපස දොර විවෘත කළේය.

ඒ සමගම ධනුෂ්ක ලීලාරත්නට වෙඩි ප්‍රහාර එල්ලකර ඇත. වෙඩි වැදුණු ලීලාරත්න නිවසේ සාලය මත ඇද වැටී තිබේ. නිවසේ සිටි පෙම්වතියගේ වැඩිමහල් සොහොයුරිය වන උදේශිකා මේ පිළිබඳව පොලිසියට දැනුම් දීමට සිය ජංගම දුරකථනය ක්‍රියාත්මක කිරීමට සූදානම්වනවාත් සමගම ධනුෂ්ක ඇයටද වෙඩි තබා ඇත. සිය සැමියා සහ දියණිය වෙඩි ප්‍රහාරයට ලක්‌ව වැටී සිටිනු දුටු පෙම්වතියේ මව වන මාලනී විලාප නඟමින් සාලයට දිව ආ අතර ධනුෂ්ක ඇයටද වෙඩි තබා තිබේ. පසුව එහි දිව ආ සිය ප්‍රේමවන්තිය වූ නිරෝෂාගේ ඉණෙන් පහළ කොටසට වෙඩි තැබූ ධනුෂ්ක අඳුරේම පලාගොස්‌ ඇත.





ඝාතනයට ලක්‌වූ ලීලාරත්න සහ මාලනී (පියා මව)
ඝාතනයට ලක්‌වූ එරන්දි උදේශිකා (සොහොයුරිය)



මෙම සිද්ධිය වූ ස්‌ථානයට නුදුරින් පිහිටි සොහොයුරකුගේ නිවසට දිව ගිය ධනුෂ්ක පිටුපස ළිඳ අසලට ගොස්‌ පපුව ප්‍රදේශයට වෙඩි තබා ගෙන තිබේ. වෙඩි ප්‍රහාරයෙන් ධනුෂ්ක එම ස්‌ථාන යේම මිය ගියේය. ඝාතන සඳහා යොදාගත් ස්‌වයංක්‍රීය ගිනි අවියද අසල තිබූ ළිඳට වැටී ඇත. මෙම වෙඩි තැබීම වන අවස්‌ථාවේ ලීලාරත්න මහතාගේ ඥති පුත්‍රයකු වන 10 හැවිරිදි දරුවකු නිවසේ සිටි අතර ඔහු වෙනත් කාමරයක සැඟවී දිවි ගලවා ගෙන ඇති බව පොලිසිය පවසයි.



ඝාතනය සිදුවන අවස්‌ථාවේ දිවි ගලවා ගත් ඥති දරුවකු වූ හෂාන් මධුසංඛ (10)


සිද්ධිය සැලවූ පසු එහි පැමිණි ප්‍රදේශවාසීන් තුවාල ලබා බරපතල තත්ත්වයෙන් සිටි නිරෝෂා බලංගොඩ රෝහලට රැගෙන ගොස්‌ තිබේ. පසුව ඇය රත්නපුර රෝහල වෙත මාරු කර යවා ඇත. මෙම කෲර ඝාතනය සිදු කළ ධනුෂ්ක නමැත්තා පොලිස්‌ විශේෂ කාර්ය බළකායෙන් පළා ආපසු කිසිදු රැකියාවක නිරත නොවී සෙල්ලක්‌කාර ජීවිතයක්‌ ගතකර තිබේ. ලීලාරත්න මහතා වැල්ලවාය විවිධ සේවා සමූපකාරයට අනුයුක්‌තව කොටවෙහෙරමංකඩ කාර්යාලයේ සේවය කරමින් සිටියේය. ඝාතනයට ලක්‌වූ එරන්දි උදේශිකා බාහිර උපාධියක්‌ හදාරමින් සිටි තරුණියකි.



තුවාල ලබා රත්නපුර රෝහලේ සිටින නිරෝෂා කොටවෙහෙර මංකඩ විද්‍යාලයේ අපොස උසස්‌ පෙළ හදාරමින් සිටියාය. ඝාතනයට ලක්‌වූ අයගේ මරණ පරීක්‍ෂණ ඊයේ (8 දා) දහවල් පැවැත්වීමට නියමිතව තිබිණි. සිද්ධිය සැලවීමත් සමඟම එම ස්‌ථානයට ගිය හම්බෙගමුව පොලිසියේ නිලධාරීන් පරීක්‍ෂණ කටයුතු ආරම්භ කර තිබේ.




 
Related Posts with Thumbnails