Ads 468x60px

.

කුසපබා ගැන මහාචාර්ය සුනිල් ආරියරත්න ගෙන් අහන්න


2012 වසරේ මුලින්ම අපේ රටේ තිරගත වෙන චිත‍්‍රපටය පිළිබඳව ඊ.ඒ.පී. මණ්ඩල යට තීරණයක් ගැනීමට බැරි තරමට චිත‍්‍රපට කිහිපයක් ඒ සඳහා තරග වැදී තිබුණි. එයින් ජය හිමිකර ගැනීමට ඉතා කෙටි කලකින් රූගත කිරීම් අරඹා කෙටි කලකින් අවසන් කළ ”කුසපබා” චිත‍්‍රපටයට හැකිවිණි. ඒ අනුව සිංහල සිනමාවට අවුරුදු 65 ක් සපිරෙන ජනවාරි මස 21 වැනි දින ”කුසපබා” චිත‍්‍රපටය වැල්ලවත්තේ සැවෝයි ප‍්‍රමුඛ ඊ.ඒ.පී. මණ්ඩලයේ සිනමා ශාලා 50 ක එකවර තිරගත කිරීමට කටයුතු යොදා තිබේ.

 ”කුසපබා” චිත‍්‍රපටයේ අධ්‍යක්ෂවරයා වන්නේ සිනමා නිර්මාණ 16 කටත් වැඩි සංඛ්‍යාවක් අධ්‍යක්ෂණය කර තිරගත කළ සම්මානනීය අධ්‍යක්ෂවරයකු වන මහාචාර්ය සුනිල් ආරියරත්න ප‍්‍රවීණ පද රචකයකු, ගත් කතුවරයකු, විශ්ව විද්‍යාල ඇදුරෙකු වශයෙන් විවිධ පැතිකඩ ඔස්සේ තම හැකියාවන් පෙන්නුම් කළ මහාචාර්ය සුනිල් ආරියරත්නයන් සමග අපේ කතා බහ ආරම්භ කළේ ”කුසපබා” චිත‍්‍රපටය සමග සිනමාවේ අනාගතය කෙසේද යන්න විමසා බැලීමේ අරමුණිනි. මේ එහි සටහනයි.

ලාංකීය සිනමා ක්ෂේත‍්‍රය වෙනස් අතකට හරවන නිර්මාණයක් වන බවට මතයක් පැතිරෙන ”කුසපබා” චිත‍්‍රපටය ලබන 2012 වසරේ ජනවාරි මාසයේ තිරගත කරන්නයි හදන්නේ. ඉතා කෙටි කලකින් රූගත කර කෙටි කලකින්ම ප‍්‍රදර්ශනය කරන්නත් ලැබී තිබෙනවා. මේ පිළිබඳව අධ්‍යක්ෂවරයා ලෙස ඔබට මොකද හිතෙන්නේ?
අපි මෙය කෙටි කාලයකින් කළ බව ඇත්ත. මේකට හේතුව වුණේ අපි දින 40 කටයි මෙය සැලසුම් කර තිබුණේ. හරියටම දින 40 තුළ අපට කරන්න හැකිවුණා. චිත‍්‍රපටයක බැරුරුම් කාර්යය තමයි රූගත කරන එක. අපේ වාසනාවට අව්වෙන්, වැස්සෙන් පීඩා සිද්ධ වුණේ නෑ. ඒ හින්දා කරන්න ලැබුණා. මෙහි විධායක අධ්‍යක්ෂ ආචාර්ය සෝමරත්න දිසානායක හා රේඛීය නිෂ්පාදක රේණුකා බාලසූරිය යන දෙදෙනාම සිනමාව පිළිබඳ විශාල අත්දැකීම් සම්භාරයක් තිබෙන දෙදෙනෙක්. සහාය අධ්‍යක්ෂ තිස්ස මඩවලත් සමග මේ තිදෙනාට පුළුවන් වුණා දවස් 40 කාලය තුළ මෙය නිමා කරන්න.දැන් මේ මොහොතේ අපි අවසාන පිටපත දකින්න තමයි බලාපොරොත්තුව ඉන්නේ. අපිට කිසිම හදිස්සියක් තිබුණේ නෑ. මෙය පෙන්වන්න.නමුත් අපි මෙය හරියටම සැලසුම් සහගතව වැඩ කළ හින්දා තමයි මේ චිත‍්‍රපටය කෙටි කලකින් රූගත කිරීම් කරලා කෙටි කලකින් ප‍්‍රදර්ශනය කරන්න පුළුවන් වුණේ.

ඔබේ ”කුස පබා” චිත‍්‍රපටයට නිෂ්පාදකවරු ලෙස දායක වී තිබෙන්නෙත් අපේ චිත‍්‍රපට අධ්‍යක්ෂවරු ඔවුන්ගේ චිත‍්‍රපටත් තිරගත වීමට තිබෙනවා. ඒ සියල්ලට පෙර ඔබේ චිත‍්‍රපටය තිරගත වෙනවා. එය ප‍්‍රශ්නයක් නොවේද?
ඇත්තෙන්ම නැහැ. මේක ඇත්තටම බොහෝ දෙනා කියා සිටියේ ශ්‍රී ලංකා සිනමා සංසදය මෙය කරන්න හදන කොට මේක නොකෙරෙන වැඩක් කියලයි. මේ වගේ වැඩක් කවදාවාත් සිනමා කර්මාන්තයේ කරන්න බැහැ කියලා තමයි බොහෝ දෙනාගේ අසුබ අනාවැකිය බවට පත්වෙලා තිබුණේ. මේ යෝජනාව ශ්‍රී ලංකා සිනමා සංසදයට කළේ, ප‍්‍රවීණ චිත‍්‍රපට නිෂ්පාදකවරයකු වන ලංකාවේ වැඩිම චිත‍්‍රපට ගණනක් නිෂ්පාදනය කළ සුනිල් ටී. ප‍්‍රනාන්දු. ඔහු තමයි මෙය යෝජනා කළේ. ඒ විතරක් නොවෙයි අපි දිගින් දිගට එක් එක් අධ්‍යක්ෂවරුන්ට ලබාදී චිත‍්‍රපට කරමු කියලයි ඔහු පැවසුවේ.

සිනමාව පවතින්නේ චිත‍්‍රපට හැදුණු තරමටයි. අද චිත‍්‍රපට හැදෙමින් පවතිනවා. නමුත් නිෂ්පාදකවරුන්ගේ ලොකු හිඟයක් තිබෙනවා. සංසදය වසරකට එක් චිත‍්‍රපටයක් හෝ කරන අරමුණින් තමයි ”කුසපබා” ආරම්භ කළේ. සුනිල් ටී. ගේ යෝජනාව හැමෝම පිළිගත්තා. මෙයට ස්වෙච්ඡුාවෙන් ඉදිරිපත් වුණා. සංසදයේ සාමාජිකයෝ මුදල් දාන්න. මුලින්ම නීතියක් සම්මත කරගත්තා. සංසදයේ නොවන මුදල් ආායෝජකයන් මෙයට සම්බන්ධ කරගන්නේ නෑ කියලා. පිට ආයෝජකයෝ දෙදෙනෙක් මුදල් දාන්න ඉදිරිපත් වුණා. ඔවුන් වදයක් වෙන තරමටම අපට ළං වුණා. නමුත් අපි සංසදයෙන් පිට කාටවත් ඒ අවස්ථාව දුන්නේ නෑ.
මෙය ශ්‍රී ලංකා සිනමා ඉතිහාසයේ පළමු වතාවට සිද්ධ වෙන දෙයක්. මෙය සාර්ථක වුණොත් මුදල් ආපසු ලැබුණොත්  අනිවාර්යෙන්ම වෙනත් අධ්‍යක්ෂවරයෙක් හරහා මුදල් ආයෝජනය කර තව චිත‍්‍රපට නිර්මාණය වේවි.

ලාංකීය සිනමාවට අවුරුදු 65 ක් පිරෙන 2012 ජනවාරි 21 වැනිදාට තමයි මෙය තිරගත කරන්න හදන්නේ. එදා ”කඩවුණු පොරොන්දුව” චිත‍්‍රපටයේ මංගල දැක්ම එක සිනමා ශාලාවකයි පෙන්වූයේ. මෙදා ඔබ එකවර සිනමාශාලා 50 ක මංගල දැක්මට ලෑස්ති වෙනවා. මෙයත් මෙරට ප‍්‍රථම වරට සිදුවෙන දෙයක්. එහෙම නේද?
ඔව්. 1947 ජනවාරි 21 වැනිදා ”කඩවුණු පොරොන්දුව” චිත‍්‍රපටය ප‍්‍රදර්ශනය කළේ කිංස්ලි සිනමා හලේ එක පිටපතයි. නමුත් අවුරුදු 65 ක් යන විට අලූත්ම සිංහල චිත‍්‍රපටය ”කුස පබා” සිනමා ශාලා 50 ක එකවර තිරගත කරන්න අපට පුළුවන් වී තිබෙනවා. ඇත්තටම මෙය ක‍්‍රමයෙන් වැඩි වී ගිය ප‍්‍රදර්ශන රටාවක කූටප‍්‍රාප්තිය ලෙසයි දකින්නේ. මගේ ප‍්‍රථම චිත‍්‍රපටය පිටපත් 12 ක් තමයි මුලින් පෙන්වූයේ. ඊට පස්සේ ක‍්‍රමයෙන් මගේ අනෙක් චිත‍්‍රපටවල පිටපත් ගණන වැඩිවුණා. මේ වැඩිකිරීමටත් සෝමරත්න හා රේණුකා තමයි සම්බන්ධ වුණේ. යුද්ධ කාලේ පවා මඩකලපුව, ති‍්‍රකුණාමලය ප‍්‍රදේශවලත් ඔවුන්ගේ චිත‍්‍රපට දෙමළ උප සිරැුසි සහිතව ප‍්‍රදර්ශනය කළා.

එදා මුලින් සිනමා ශාලා 12 ක පෙන්වුවත් දෙවැනි වටය, තුන් වැනි වටය යනාදී වශයෙන් තව සිනමා ශාලා තිබුණා. එහිදී නිෂ්පාදකවරයාට මුදල් ලැබුණා. අද පළමු වටයේ සිනමා ශාලා පෙන්වූවාට පසු දෙවැනි වටයට චිත‍්‍රපට ශාලා ඇත්තේ නැති තරම්. අනෙක නිෂ්පාදකවරයාට ලැබෙන ආදායම දෙවැනි වටයේදී නැති තරම්. ඒ නිසා නිෂ්පාදකවරයා වටහා ගෙන තිබෙනවා මංගල දැක්ම පවත්වා පළමු වටයේදීම පේ‍්‍රක්ෂකයන් අතරට චිත‍්‍රපටය ගෙන ගොස් මුදල් උපයා ගැනීමට හැකි බව. ඒ පරමාර්ථය ඇතිවයි වැඩි පිටපත් පළමු වටයේදීම බෙදා හරින්නේ. ඒ අත්හදා බැලීමේ කූට ප‍්‍රාප්තිය තමයි ”කුසපබා” චිත‍්‍රපටය.

නමුත් අද වන විට චිත‍්‍රපටයක් ප‍්‍රදර්හනය කිරීම විශාල බැ?රුම් කටයුත්තක් බවටයි පත්වී තිබෙන්නේ. මේ පිළිබඳ බොහෝ චෝදනා එල්ල වී තිබෙනවා. මේ ප‍්‍රදර්ශන රටාව තුළ නිෂ්පාදකවරුන්ට මුදල් ලැබෙන්නේ නැති බවටත් චෝදනා තිබෙනවා. ඔබ මේ තත්ත්වය දකින්නේ කොයි ආකාරයටද?
සිනමාශාලා ගොඩාක් තිබෙන කාලයේදී අපට පුළුවන් වුණා ප‍්‍රදර්ශන මණ්ඩල 5 ක චිත‍්‍රපට පෙන්වන්න. තිස් වසරක යුද්ධය කාලයේ මේ තත්ත්වය මුළුමනින්ම බිඳ වැටුණා. ප‍්‍රධාන පෙළේ සිනමා ශාලා වැසී ගියා. සමහර ඒවා හරක් ගාල් බවට පත්වුණා. සමහර ඒවා සුපර් මාර්කට් වුණා. සමහර ඒවා අත්තිවාරමත් නොපෙනෙන තරමට පොළොවට සමතලා වෙලා. ඒ හින්දා අද තිබෙන්නේ සිනමාශාලා ටිකයි. ප‍්‍රදර්ශන මණ්ඩල වැඩිිවීම සිනමාවට හොඳ නැති බවයි අද අපගේ විශ්වාසය. ඒ හින්දා නැවත මේ සිනමා ශාලා වර්ගීකරණයක් කරලා මේ ප‍්‍රදර්ශන මණ්ඩල පිළිබඳ නැවත සිතා බැලිය යුතකාලය එළැඹිලා තිබෙනවා.
අපි සිනමාව දෙස බලන්නේ සුබවාදීවයි. මේ සිනමාව කවදාවත් බිඳ වැටෙන කලාවක් නොවෙයි. යම් යම් අවස්ථාවල කඩා වැටුණු අවස්ථා නැතුවා නොවෙයි. නමුත් අද අපට ලොකු අවස්ථාවක් ලැබී තිබෙනවා චිත‍්‍රපට නිෂ්පාදකවරුන්ට හා අධ්‍යක්ෂවරුන්ට. එකක් තමයි මේ රටේ ලබාගත් නිදහස මිනිසුන්ට බියක් නැතිව දිවා රාතී‍්‍ර එළියට බැහැලා ඇවිදින්න පුළුවන් වී තිබෙනවා.

සිනමා සංස්කෘතිියක් අතීතයේ අපට තිබුණා. පවුල් පිටින් චිත‍්‍රපට නැරඹීම ජීවිතයේ එක අංගයක් බවට පත්වී තිබුණා. ඒක සම්පූර්ණයෙන්ම විනාශ වීම සිදුවුණා. 1971 කැරැල්ල. ඊට පස්සෙ 89 කැරැල්ල, ඉන් පස්සේ අඛණ්ඩ යුද පසුබිම. දැන් නැවතත් රට යථා තත්ත්වයට පත්වෙලා. මිනිසුන්ට දැන් නිදහස තිබෙනවා. දැන් ඒ හින්දා සිනමාවට නරඹන්නන් ක‍්‍රමයෙන් වැඩිවන ආකාරයක් අපට පෙනෙනවා.
දෙවැනි කාරණය තමයි රූපවාහිනී මාධ්‍යය පැමිණීමත් සමග මිනිසුන් එය වටා රොක්වීම, එදා ”දිමුතු මුතු” ටෙලිනාට්‍යය යන කාලේ පවුල්පිටින්  ඒ වටා රොක්වුණා.

එතැ්න සිට සෑහෙන කාලයක් ඒ ආකර්ෂණය තබා ගන්න ටෙලි නාට්‍යයට හැකිවුණා. අද ඒක බින්දුවටම වැටිලා. හොඳ ටෙලිනාට්‍ය 1-2 ක් තිබෙනවා. නමුත් ඒවාත් බලන්නේ නෑ. දැන් මේ ටෙලිනාට්‍ය කියන නමම මිනිසුන්ට අපි‍්‍රය වෙලා.මම රූගත කිරීම් කරන දවස්වල සමහරු මගෙන් ඇහුවේ ”සර් ටෙලියක් ගහනවද” කියලයි. මට ලජ්ජාවක් ඇතිවුණා. මම කවදාවත් ටෙලිනාට්‍ය කරලා නෑ. මෙතරම් දැවැන්ත කැමරාවක් ළඟ ඉදිද්දීත් මිනිසුන් අහන්නේ ඔවුන් ඒක විතරය දන්න දේ.චිත‍්‍රපට කරනවා කියන එක මිනිසුන්ගේ ඔලූවේ නෑ. ඒ තරමටම බාල තත්ත්වයට ටෙලිනාට්‍ය පත්වෙලා. මේ හින්දා මිනිසුන් එයින් ඈත් වෙලා. ඒ අය යළි වේදිකාවට, සිනමා ශාලාවලට රොක්වෙන බවක් පෙනෙනවා.

අද පැරැණි වේදිකා නාට්‍ය යළි නිෂ්පාදනය කරනවා. කොයි තරම් නාට්‍ය දැන්වීම් පුවත්පත්වල පළවෙනවාද? එහෙම වෙන්නේ ටෙලිනාට්‍යවලින් මිනිසුන් ඈත්වීම හින්දයි. අද වේදිකාවටත් හොඳ කල දසාවක් ලැබිලා. සිනමාශාලා වර්ගීකරණය කරලා. මේ තිබෙන මණ්ඩල තරගය අඩු කරලා හැම චිත‍්‍රපටයක් දෙසම වාණිජ මට්ටමට ගෙන ඒමට අවශ්‍ය කාලය දැන් එළැඹි තිබෙනවා.

පේ‍්‍රක්ෂකයෝ චිත‍්‍රපට බලන්න කැමැති වුණත් සමහර නිර්මාන බංකොලොත් නේද? නිර්මාණකරුවන් තමන්ගේ වගකීම හරිහැටි ඉටුකර නෑ නේද?
ඒක තමයි වැදගත්ම දේ. මේ චිත‍්‍රපටවල ප‍්‍රමිතියක් ඇති නොකළොත් යළිත් අර්බුදයකට ලක්වෙන්න පුළුවන්. ”අබා, මහින්දාගමනය” චිත‍්‍රපට හරහා කවදාවත් චිත‍්‍රපට නොබලපු විශාල පිරිසක් සිනමා ශාලාවලට ආවා. මේ අය අපට සිනමා ශාලාවල රඳවා ගත හැකි පිරිසක්. ඒ පිරිස තවත් චිත‍්‍රපට කිහිපයකින් නැතිකර දමන තත්ත්වයක් තිබෙනවා. එකට චිත‍්‍රපට කිරීම තමයි අමාරු. මිනිස්සු විකට චිත‍්‍රපටයකටවත් අද හිනාවෙන්නේ නැත්නම්, ඒක සාර්ථක නැහැනේ. ඒ හින්දා ප‍්‍රමිතියකින් තොර මේ චිත‍්‍රපට හින්දා, අර වෙනත් අධ්‍යක්ෂවරු, නිෂ්පාදකවරු ඉතා මහන්සියෙන් ඒකරාශී කරගන්නා නරඹන්නන් මේ අය විනාශ කර දමනවා. ඒක තමයි අපේ සිනමාවේ තිබෙන ලොකුම ඛේදවාචකය.

 
Related Posts with Thumbnails