Ads 468x60px

.

අම්මයි තාත්තයි බේරන්න සිව්මස්‌ දරුවා වන්දි ගෙවයි

තංගල්ල කොට්‌ඨාස දූෂණ වැටලීම් අංශයේ නිලධාරීන් පිරිසක්‌ තිස්‌සමහාරාම නැදිගම්පල ප්‍රදේශයේ මත්කුඩු ජාවාරම්කරුවකු අත්අඩංගුවට ගැනීමට පෙරේදා (18 වැනිදා) රාත්‍රී ගිය අවස්‌ථාවේ සිදු වූ බව කියන පහරදීමකින් මත්කුඩු ජාවාරම්කරුගේ සිව්මස්‌ දරුවා මිය යැම පිළිබඳව පුළුල් පරීක්‍ෂණයක්‌ ආරම්භ කර ඇත. 


මත්කුඩු ජාවාරම්කරුගේ බිරිඳ සිව්මස්‌ දරුවාද රැගෙන පොලිස්‌ නිලධාරීන්ගෙන් මිදී පලායද්දී රැකසිටි ප්‍රදේශවාසීන් එල්ල කළ ප්‍රහාරයකින් දරුවා මිය ගිය බවට පැමිණිලි ලැබී තිබේ. එමෙන්ම මෙම කාන්තාව සිය දරුවා රැගෙන යද්දී පොලිස්‌ නිලධාරීන් සිදුකළ පහරදීමකින් එම දරුවා මිය ගිය බවටද චෝදනාවක්‌ එල්ලවී ඇත.

කාන්තාව සිය දරුවාද රැගෙන තරුණයන් දෙදෙනකු සමඟ යතුරුපැදියක නැගී පලායද්දී එම යතුරුපැදිය පෙරළීමෙන් දරුවා තුවාල ලබා මියගිය බවටද තොරතුරක්‌ පොලිසිය වෙත ලැබී තිබේ. එහෙත් දරුවා මිය ගියේ කුමන හේතුවකින් දැයි ඊයේ (19 දා) දහවල් වන තුරුම හෙළිවී නොතිබිණි.

තිස්‌සමහාරාම ප්‍රදේශයේ මහාපරිමාණ මත්කුඩු ජාවාරම්කරුවකු බව කියන "මංජු" නමැත්තා අත්අඩංගුවට ගැනීම සඳහා තංගල්ල කොට්‌ඨාස දූෂණ වැටලීම් අංශයේ නිලධාරීන් පිරිසක්‌ පෙරේදා (18 දා) සවස තිස්‌සමහාරාම නැදිගම්පල ප්‍රදේශයට ගොස්‌ ඇත.

ඒ අවස්‌ථාවේ මංජු නමැත්තා පලා ගොස්‌ ඇති අතර ඔහුගේ බිරිඳ සහ දරුවා පොලිසියට කොටුවී තිබේ. මෙම වැටලීම කළ අවස්‌ථාවේ ප්‍රදේශවාසීන් ද විශාල පිරිසක්‌ පොලිසියේ සහායට ඉදිරිපත් වී ඇත.

එහිදී මත්කුඩු ජාවාරම්කරුගේ බිරිඳ පොලිස්‌ නිලධාරීන්ගෙන් මිදී සිය දරුවාද රැගෙන පලාගොස්‌ ඇත. සිය සැමියාගේ හිතවතුන් දෙදෙනකු ද සමග යතුරුපැදියක නැගී මෙම කාන්තාව පලා යද්දී අතරමග රැක සිටි කිසියම් පිරිසක්‌ ඔවුන්ට පොලු මුගුරුවලින් පහරදී තිබේ.

එහිදී ඔවුන් ගමන්ගත් යතුරුපැදිය පෙරළී ගොස්‌ ඇත. ඒ අවස්‌ථාවේද සිව් මස්‌ දරුවා බරපතළ තුවාල ලැබූ අතර තිස්‌සමහාරාම රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මිය ගොස්‌ තිබේ.

මේ සම්බන්ධයෙන් දරුවාගේ මව තිස්‌සමහාරාම පොලිසිය වෙත පැමිණිල්ලක්‌ද කර ඇත. සිද්ධිය සම්බන්ධයෙන් පරීක්‍ෂණ පැවැත්වූ පොලිසිය සිවුදෙනකු ප්‍ර්‍රශ්න කිරීම සඳහා අත්අඩංගුවට ගෙන තිබේ.

දකුණු පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්‌පති ලලිත් ජයසිංහ මහතා කියා සිටියේ මෙම සිද්ධිය සම්බන්ධයෙන් පුළුල් පරීක්‍ෂණයක්‌ ආරම්භ කර ඇති බවයි.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් තංගල්ල කොට්‌ඨාස දූෂණ වැටලීම් අංශයේ නිලධාරීන් පිරිසකගේ සහ ප්‍රදේශවාසීන් කීපදෙනකුගෙන් ප්‍රශ්න කර ප්‍රකාශ සටහන් කරගෙන ඇත.

තිස්‌සමහාරාම පොලිස්‌ ස්‌ථානාධිපති ප්‍රසාද් ප්‍රනාන්දු මහතාගේ අධීක්‍ෂණයෙන් පරීක්‍ෂණ පැවැත්වේ.
 
Related Posts with Thumbnails