Ads 468x60px

.

සනත්-මුරලි ලක්ෂ ගණනකට විකිණෙති

ප්‍රථම වතාවට පැවැත්වෙන බංග්ලාදේශ ප්‍රිමියර් ලීග් විස්සයි20 ක්‍රිකට් තරගාවලිය සඳහා ඊයේ පැවැත්වුනු වෙන්දේසියේදී සනත් ජයසූරිය ඩොලර් 110,000ක මුදලකටද (රාජ්ෂාහි) මුත්තයියා මුරලිදරන් ඩොලර් 100,000ක මුදලකටද (චිතගොං) අලෙවි විණි.


වැඩිම මුදලකට අලෙවි වූයේ හිටපු පාකිස්තාන නායක ෂහිඩ් අෆ්රිඩි ය.
පෙබරවාරි 10 සිට 28 දක්වා පැවැත්වෙන තරගාවලියේ අනුග්‍රාහකයින් හය දෙනාගෙන් පස් දෙනෙකු අතර පැවැති උණුසුම් ලන්සු තැබීමකින් පසුව අෆ්රිඩි ඩොලර් 700,000කට ඩකා කණ්ඩායමට අලෙවි කෙරිණි. කෙසේ වෙතත්, තුන් ඉරියව්වෙන්ම කැපී පෙනෙන ක්‍රීඩක අෆ්රිඩි ට ක්‍රීඩා කිරීමට හැකිවනුයේ තරගාවලියේ අවසන් දින දෙකේදී පමණි. ඔහු, එංගලන්තයට එරෙහිව එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පැවැත්වෙන තරගාවලියේ පාකිස්තාන කණ්ඩායම නියෝජනය කරමින් සිටීම ඊට හේතුවයි.

පෙබරවාරි 14 වැනිදා සිට තරගාවලියට සහභාගි වන බටහිර ඉන්දීය කොදෙව් පිතිකරු ක්‍රිස් ගේල් දෙවැනියට වැඩිම මුදලකට අලෙවි වූ ක්‍රීඩකයා විය. බැරිසල් කණ්ඩායම ඩොලර් 551,000ක මුදලකට ඔහුව මිලදී ගත්තේය. ගේල්ගේ සගයන් වන මාලන් සැමුවල්ස් හා කිරන් පොලාඩ් ඩොලර් 360,000 හා 300,000තට පිළිවෙලින් රාජ්ෂාහි හා ඩකා කණ්ඩායම් විසින් මිලදී ගනු ලැබිණි.

පාකිස්තානයේ ෂොයිබ් මලික් (චිතගොං - ඩොලර් 150,000), කොදෙව් පිලේ ඩ්වේන් බ්‍රාවෝ (චිතගොං - 150,000), ඔස්ට්‍රේලියාවේ බ්‍රැඩ් හොග් (බැරිසල් - ඩොලර් 140,000) වැඩි මිලට විකිණුනු සෙසු ක්‍රීඩකයෝ වූහ.එංගලන්තයේ දඟ පන්දු යවන ක්‍රීඩක මොන්ටි පනීසාර් හා හිටපු දකුණු අප්‍රිකානු පිතිකරු හර්ෂල් ගිබ්ස් ට මේ වෙන්දේසියේදී ඉල්ලුමක් නොතිබිණි. කිසිම ඉන්දියානු ක්‍රීඩකයෙක් වෙන්දේසියට ඇතුළත් නොකෙරිණි.
.
 
Related Posts with Thumbnails