Ads 468x60px

.

මට හිතවත් හුඟ දෙනෙක් ඉන්න බව මට තේරුණා - රිතික්

රිතික් රෝෂන් ගේ 38 වැනි උපන් දිනය ජනවාරි 10දා යෙදී තිබුණා. චිත්‍රපට රූපගත කිරීමකදී සිදුවූ අනතුරකදී ඔහුගේ පිටකොන්ද තරමක ආබාධයකට ලක්වුණත් දැන් ඒ අපහසුතා මඟහැරිලා. මේ අනතුරෙන් පසුව දින 62ක පමණ කාලයක් විවේකයෙන් ගතකරන්නට රිතික්ට සිදුවුණා.


”මේ කාලයේදී මාව ටිකක් කෙට්ටු වුණා. ඉණ 29 1/2ක් දක්වා අඩුවුණා. ඒ දවස්වල මට අත් දෙකවත් උස්සගන්න බැරුවයි හිටියෙ. තාත්තා ඒ ගැන හරියට දුක්වුණා. ලෝකයේ ඉන්න දක්ෂ වෛද්‍යවරුන්ගෙ පිහිටෙන් මට සනීප වෙන්න පුළුවන් වුණා. ඒ අතරෙදි භෞත චිකිත්සක ප්‍රතිකාරත් ලැබුණා.”

රිතික් සිනාමුසු මුහුණින් කියා සිටියා. උපන් දිනය වෙනුවෙන් රිතික්ට බොහෝ දෙනෙකුගෙන් සුබපැතුම් හිමිවුණා. “මට හිතවත් හුඟ දෙනෙක් ඉන්න බව මට තේරුණා. ඒ ගැන සතුටුයි. ඒ වගේම දෙවියන්ට ස්තුතිවන්ත වෙන්න ඕනෙ, මාව ආයෙමත් සාමාන්‍ය ජීවිතයට එක් කළාට.” රිතික් නැවතත් කියා සිටියා.




එදා රැඟුම් රාණිගෙන් යළිත්


එදා ජනප්‍රියත්වයෙන් ඉහළටම පැමිණි සුපිරි නිළියන් තුන්දෙනෙකුගේ මනහර රැ¼ගුම් නැවතත් මෙදා බොලිවුඩ් තිරය මත සිතුවම් කරන්නට රාණි මුඛර්ජි සැරසෙනවා. ඒ, ළඟදීම රූපගත කිරීමට නියමිත ‘ආයියා’ චිත්‍රපටයෙන්. රාණි මේ චිත්‍රපටයේ මධුරි ඩික්සිත්, ශ්‍රී දේවි සහ ජූහි චව්ලා මීට කලකට ඉහත දී විවිධ චිත්‍රපටවල නිරූපණය කළ ගීතමය ජවනිකාවල කොටස් එකතු කරමින් එක් ගීතමය රංගනයක් ඉදිරිපත් කරන්නටයි සූදානම් වෙමින් සිටින්නේ.

චිත්‍රපටයේ අධ්‍යක්ෂ සචින් කුන්දල්කාර්ගේ මෙහෙයවීමෙන් නිරූපණය වන, මෙම රංගනයට එදා මධුරි ඉදිරිපත් කළ ‘ඒක් දෝ තීන්’ ගීතයේ කොටසක් ද ජූහි චව්ලා සහ ශ්‍රී දේවි නිරූපණය කළ තවත් ජනප්‍රිය ගීතමය ජවනිකාවල කොටස් ද මෙයට ඇතුළත් වන බවයි පැවසෙන්නේ. මේ නර්තන රංගන සඳහා එදා ඔවුන් භාවිතා කළ ඇඳුම් විලාසිතා ඒ අයුරින් ම නිර්මාණය කිරීමේ කාර්යය චිත්‍රපටයේ ඇඳුම් නිර්මාණ ශිල්පිනී නීටා ලූලාට පැවරී තිබෙනවා.


ගෝවින්දට දේශපාලනේ අරහං


ගෝවින්ද, ඉන්දීය පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස කටයුතු කළා. මේ වන විට ඔහු දේශපාලනයේ නියැළෙන්නේ නැහැ. ඒ වුණත් ඔහුගේ රසික පිරිස මෙන්ම ඡන්දදායකයන් බලාපොරොත්තුව සිටින්නේ ඔහු නැවතත් දේශපාලනයට එක්වේවිය කියලයි.

”ආයෙත් දේශපාලනයට එන්න මගේ බලාපොරොත්තුවක් නැහැ. දේශපාලනය මගේවත් මගේ පවුලේ අයගේවත් ලේවල නැහැ. ඒ නිසා මට මේ විෂය කවදාවත් තේරුණේ නැහැ. තේරුම් ගන්නත් බැරිවේවි. ඒ නිසා ආයෙ කවදාවත් මම ඡන්දය ඉල්ලන්න බලාපොරොත්තු වෙන්නෙ නැහැ.” ගෝවින්ද පැවසුවා.
ඔහු 2004 දී පැවැති ලෝක් සභා මැතිවරණයේ දී උතුරු මුම්බායි අසුන ජයගෙන කොංග්‍රස් මන්ත්‍රීවරයෙකු ලෙස තේරී පත්වුණා. ඒ මන්ත්‍රී ධූර කාලයෙන් පසුව ඔහු නැවතත් සිනමා ලොවට එක්වුණා. ගෝවින්ද බොලිවුඩ් චිත්‍රපට 120කට
වැඩි සංඛ්‍යාවක රඟපා තිබෙනවා.


 

යාෂ් චොප්රා ’වීර් සාරා’වලින් පසු....


ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්ෂ යාෂ් චොප්රා වසර 7කට පසුව නැවතත් චිත්‍රපටයක් අධ්‍යක්ෂණය කරන්නට සූදානම් වෙනවා. ඔහු ‘වීර් සාරා’ චිත්‍රපටය නිර්මාණය කිරීමෙන් පසුවයි මේ අලුත් චිත්‍රපටය ගැන හිත යොමුකර තිබෙන්නේ.මේ වනවිට තිර නාටකය ලියා ඇති මේ චිත්‍රපටයට තවමත් නමක් යොදා නැහැ. මෙහි රඟපාන්නේ ශාරුක් ඛාන්, කට්රිනා කායිෆ් සහ අනුශ්කා ශර්මා ඇතුළු තවත් ජනප්‍රිය නළු නිළියන් කිහිප දෙනෙක්. චිත්‍රපටයේ සංගීත අධ්‍යක්ෂණයට දැනටමත් ඒ.ආර්.රහ්මාන් තෝරාගෙන ඇතැයි පැවසෙනවා. දර්ශන රූපගත කිරීම් ඉන්දියාව මෙන්ම එංගලන්තය, තායිලන්තය වැනි රටවල දී සිදු කරන්නට අධ්‍යක්ෂවරයා තීරණය කර තිබෙනවා.

යාෂ් චොප්රා නිර්මාණය කළ චිත්‍රපටවලින් වැඩි සංඛ්‍යාවක් රසිකයන් අතර අතිශය ජනප්‍රියත්වයට පත්වුණා. මේ අලුත් චිත්‍රපටයත් එවැනිම සාර්ථකත්වයක් ලබනු ඇතැයි සිනමා විචාරකයන් පවසනවා.
 
Related Posts with Thumbnails