Ads 468x60px

.

ඉක්මනින් අපේ විවාහ උත්සවය ගන්නවා - චතුරිකා පීරිස්

“පුංචි තිරයේ දඟකාරිය” ලෙස ඇය හැඳින්වීම නිවැරැදිය. ඒ; සහජයෙන්ම ඇය සතු දඟකාර බව, කෙළිලොල් බව නිසාය. ඇය චතුරිකා පීරිස්. චතුරිකා කලා පරපුරක එක් පුරුකකි. චතුරිකාගේ රංගනයන් කලක් පුංචි තිරයෙන් නිතර දැකගත හැකි වුවද මේ දිනවල ඇයගේ රංගනයන් ඇතුළත් නිර්මාණ දැකගත හැකි වන්නේ ඉතා අඩුවෙනි. චතුරිකා පීරිස් රංගන ක්‍ෂේත්‍රය තුළ ඇත්තෙන්ම තාරකාවකි; නිහතමානී තාරකාවකි. ඇයගේ බැබළීමට එම නිහතමානිත්වය ද හේතු වී ඇත. අද තරුවක් සමඟ වරුවක් විශේෂාංගය වෙන්වන්නේ චතුරිකා පීරිස් සමඟ කළ කතාබහ වෙනුවෙනි.



චතුරිකා ඔබ මේ දිනවල පුංචි තිරයේ වැඩිපුර නොදකින්නේ ඇයි?
ඒකට හේතුව තමයි මම රංගනයෙන් දායකවුණු නිර්මාණ කීපයකම සංස්කරණ කටයුතු මේ දිනවල සිදුවෙමින් තියෙනවා. මගේ රංගනයන් වැඩිපුර මේ දවස්වල දකින්න නොලැබීමට එය එක් හේතුවක්. අනෙක් හේතුව තමයි, අපි නිෂ්පාදනය කළ ටෙලිනාට්‍ය කීපයකම රූගත කිරිම්වලට පසුගිය කාලයේ රටවල් කීපයකටම යන්න සිදුවීම. ඉදිරියේදී මම රඟපාන ටෙලිනාට්‍ය ගණනාවක්ම ප්‍රේක්ෂකයින්ට දැකගන්න ලැබේවි. ඒ අතුරින් ‘සිහින අරන් එන්න’, ‘සිකුරු සංග්‍රාමය’ කියන ටෙලිනාට්‍ය අපේ නිෂ්පාදන ආයතනයෙන් නිපදවූ ඒවා. ඊට අමතරව ඕස්ට්‍රේලියාවේ දී රූපගත කිරීම් සිදුකළ ‘මතක සුළඟ’, ‘සඳ නැති රැය’ වැනි ටෙලිනාට්‍ය ළඟදීම විකාශය වේවි.


මේ දිනවල ඔබ මොනවද කරන්නෙ?
‘රන්සිළු’ නිෂ්පාදන ආයතනය නිෂ්පාදනය කරන ටෙලිනාට්‍යයකත් අජිත් ප්‍රසන්න ගේ ‘බිඳුණු සිත්’ ටෙලිනාට්‍යයේත් රූපගත කිරීම් වලට සහභාගි වෙනවා. චිත්‍රපට දෙකකටත් මේ වන විට ආරාධනා ලැබිල තියෙනවා. තව මාස දෙක තුනකින් විතර ඒවායේ රූපගත කිරීම් ආරම්භ වේවි.


ඔබලාගේ නිෂ්පාදන ආයතනයෙන් නිපදවන ටෙලිනාට්‍යවල නවක රංගන ශිල්පීන්ට ශිල්පිනියන්ට තැනක් ලබාදෙනවද?
”සිහින කුමාරි” කරද්දි නවකයින්ට විශාල තැනක් දුන්නා. එහි ප්‍රධාන චරිත දෙකට තෝරාගත්තෙත් නවක ශිල්පීන්. සඳනි සුලක්ඛනා එහි රඟපෑවේ උප ප්‍රධාන චරිතයක්. නමුත් ඒ ටෙලිනාට්‍යයෙන් වඩාත්ම ඉස්මතු වුණේ සඳනි. කොහොම වෙතත් වර්තමානයේ ක්‍ෂේත්‍රයට එන නවකයින්ට අතදීම තරමක අවදානම් සහගත වැඩක්. ඒ මොකද ඔවුන් රූපගත කිරීම්වලට සහභාගි වීම පිළිබඳව කිසිම වගකීමක් ගන්නෙ නෑ. ඇතැම් අය එක දවසක් රූපගත කිරීම්වලට ආවොත් දවස් දෙකක් එන්නෙ නෑ. එහෙම වුණාම අපිව විශාල අපහසුතාවයකට පත්වෙනවා. ඒ නිසා දැන් අපි ආධුනිකයින්ට අවස්ථාව දීම ගැන දෙවරක් හිතනවා.


ඔබෙන් පසුව ආ පරපුර පිළිබඳ ඔබට මොනවගේ හැඟීමක් ද තියෙන්නේ?
මම ඔවුන්ට චෝදනා කරනව නෙමෙයි. මගෙන් පසුව ආ පරපුරේ හොඳ රංගන ශිල්පීන් ශිල්පිනියන් ඉන්නව. හැබැයි ඒ සීමිත පිරිසක්. දක්ෂතාව මෙන්ම විනයත් ඔවුන් ළඟ තියෙනව. ඔවුන් සමඟ වැඩ කිරීම පහසුයි. බොහෝ විට ඔවුන් සෑහෙන කාලයක් ක්ෂේත්‍රයේ රැඳී ඉඳල යම්කිසි තැනකට ආ පිරිසක්. එහෙම නැතිනම් කලාවට සම්බන්ධ පවුල් පසුබිමකින් හෝ හොඳ අධ්‍යාපනික පසුබිමකින් පැමිණි පිරිසක්. අන්න ඒ විදියට මේ ක්‍ෂේත්‍රයට ආව අය තමයි කිසියම් විනයක් ඇතිව වැඩ කරන්නෙ.

එහෙම නැති අය නිසා මේ ක්ෂේත්‍රයට සිදුවෙන්නේ විශාල හානියක්. මේ තත්ත්වයට ඇතැම් අධ්‍යක්ෂවරුත් වගකියන්න ඕන. ඇතැම් නවක ශිල්පීන් රඟපාන්න එන්නෙ පිටපත මොකක්ද කියල දන්නෙවත් නැතිව. මම ක්‍ෂේත්‍රයට ආවෙ නාලන් මෙන්ඩිස් මහතාගේ නිර්මාණවලින්. ඔහු ක්‍ෂේත්‍රයට එන ආධුනිකයින්ට බොහෝ දේවල් කියලා දුන්නා. ඔහු රංගනය පිළිබඳ පාසලක් වගේ. දැන් ඒ තත්ත්වය ගොඩක් අඩුයි.


ඔබ පුංචි කලෙ ඉඳලම දඟකාර චරිතයක් ද?
මම රඟ පෑ ඇතැම් ටෙලිනාට්‍යවල තිබුණු මගේ කෙළිලොල් බව, දඟකාරකම මගේ සැබෑ ජීවිතයේත් තිබුණා කිව්වොත් හරි. පාසල් යන කාලෙ මම බාහිර හැම වැඩකටම ඉදිරිපත් වුණු කෙනෙක්.


ඔබ රංගනයට එන්න කලින්..?
මම මුලින්ම සෙලින්කෝ ආයතනයේ රැකියාවක් කළා. කලකට පසුව මම Computer Graphics ඉගෙන ගන්න රැකියාවෙන් ඉවත් වුණා. ඉන්පසුවයි ටෙලිනාට්‍ය රංගනයට එක්වුණේ.


ඔබට හරියට කේන්ති යනව කියන්නෙ ඇත්තද?
නැහැ, නිකරුණේ කේන්ති ගන්න කෙනෙක් නෙමෙයි මම. හැබැයි ඉතින් වැරදි දෙයක් දැක්කොත් කේන්ති යනවා. ඒත් ඒක මට අදාළ දෙයක් නම් පමණයි. මම හරිම අකැමැතියි මිනිස්සු මාව අන්දන්න හදනවට. ඒකට මට හරියට කේන්ති යනවා.


ඔබ කේන්දර විශ්වාස කරනවද?
ඔව් තරමක් දුරට විශ්වාස කරනවා.


රොෂාන්ගෙයි ඔබගෙයි විවාහයට තව කලක් ගතවේවිද?
මෙහෙමයි. මේ දවස්වල අපි වැඩ කීපයක්ම පටන් අරගෙන තියෙන්නෙ. ඒ නිසා තරමක් කාර්යබහුලයි. ඒකයි අපේ විවාහ උත්සවය ප්‍රමාද වෙන්නේ. හැබැයි හැකි ඉක්මනින් අපේ විවාහ උත්සවය ගන්නවා.


ඇතැම් වෙබ් අඩවිවල නළු නිළියන් ගැන පළවෙන දේවල් ගැන ඔබ මොනවද හිතන්නෙ?
අනේ මම ඕව බලන්නෙ නෑ. ඕව ගැන හිතන්නෙත් නෑ. වෙබ් අඩවි පස්සෙ යනවට වැඩිය හොඳයි බණක් භාවනාවක් කරගෙන ඉන්න එක.

ඔබ ඇඟ හදාගන්න ‘ඩයට්’ කරන බව ඇත්තද?
මොන බොරුද? මම හොඳට කනවා. හොඳට එක්සයිස් කරනවා. ඉස්සර මම ඩයට් කළා. ඒ දවස්වල මගෙ කොණ්ඩෙ යන්න ගත්තා. ඒ නිසා ඩයට් කිරීම නැවැත්තුවා.


ඔබේ නංගි ‘පූර්ණිකා’ ඔබට අභියෝගයක් වේවිද?
අනේ නැහැ. නංගිගෙ රංගන ශෛලිය එකක්. මගෙ වෙනත් විදියක්. නංගිව රංගනයට ගෙනාවෙ මම; ඒ බොහොම අමාරුවෙන්. නංගි මට කවදාවත්ම අභියෝගයක් වෙන්නෙ නෑ. මම මගෙ නංගිටත් කවදාවත්ම අභියෝගයක් වෙන්නෙ නෑ.
 
Related Posts with Thumbnails